මෝචරියට ඇති වී ඇති තදබදය හේතුවෙන් ඔබේ මරණය වළක්වා ගන්නේ නම් මැනවි.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට බොහෝ ජනතාව ආසාදිතයන් ලෙස වාර්තා වෙද්දී මේ සටහන තම මුහුණුපොතේ තබන්නේ කොවිඩ් ආසාදිතයන්, කොවිඩ් රෝගීන් සමඟ නිතරම ගැවසෙන මේ වසංගතයේ දරුණුකම තම ඇස් මත්තේම දකින රාජ්‍ය නිලධාරිනියකි.
ඇය පුෂ්පා රම්‍යානි ද සොයිසාය. කොළඹ ජාතික රෝහලේ පුහුණු හෙද නිලධාරිනියක වන ඇය ජාතික රෝහලට ගෙන එන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන හෙද නිලධාරිනියකි. මේ වන විටත් ඇය ඇතුළු සමස්ත හෙද නිලධාරීන් කණ්ඩායම තමන්ට නියමිත කාල පරාසයටත් එහා ගොස් පැය විසි හතර පුරා මේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් තම මහන්සිය, කාලය හා ශ්‍රමය වැය කරති. අවදානම ගැන නොතකා අවදානමක් ගෙන කටයුතු කරන මොවුන්ට ඇති අත්දැකීම් බොහෝය.
දවසින් දවස කොළඹ ජාතික රෝහලට කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩියි. දැන් නම් අපේ හිතට පුදුමාකාර වේදනාවක් දැනෙනවා. මේ දවස්වල අපි මුහුණ දෙන්නේ කොවිඩ් ප්‍රශ්නවලටමයි. පහුගිය දවසක කොවිඩ් ආසාදිත වූ අම්මා කෙනෙක්ව කවුරුන් හෝ ජාතික රෝහලට ඇතුළත් කරලා තිබුණා. රෝහලේ ඉන්න කාලය පුරාවට ඇය ගැන කවුරුවත් හොයලා බලලා තිබුණේ නැහැ. ඇය වැඩිය කවුරු ගැනවත් කිව්වේ නැහැ. තම දරුවන් සියල්ලෝම විදෙස්ගතව ඉන්නා බව පමණක් ඇය කියා තිබුණා. මාසයක් යනතුරු ඇය ගැන කවුරුවත් හොයලා බැලුවේ නැහැ. කොවිඩ් රෝගය සුව වුණත් වෙනත් රෝග හේතුවෙනුත්, යන්නට තැනක් නොමැතිකම හේතුවෙනුත් ඇයට රෝහලේම නතර කර ප්‍රතිකාර ලබා දෙන්න අපිට සිදු වුණා. මාසයකට පමණ පසුව විදෙස් රටක සිටින ඇයගේ දරුවකු රෝහලට කතා කොට මේ අම්මා ගැන තොරතුරු අසා අම්මා මිය ගියාද.. යැයි අසා තිබුණා. ඇය ජීවතුන් අතර ඉන්නා බව රෝහලෙන් දැනුම් දුන්නා. ඔවුන් බලාපොරොත්තු වුණු සුබ ආරංචිය එය වුණේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වුණේ අම්මා මැරිලා කියන ආරංචිය ලැබෙන තුරුයි. අම්මාව ගිහින් දමන්න තැනක් නැහැ. ඒ නිසා තාමත් ඒ අම්මා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අම්මාට මොකද වුණේ කියලා බලන්නවත් ඒ විදෙස් රටවල ඉන්න දරුවන්ට ඕන වුණේ නැහැ. හොඳට උගන්වා පිටරට යැවූ දරුවන්ට අම්මාව අමතක වුණා. කොවිඩ් රෝගයෙන් සනීප වුණත්, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබමින් තවමත් ඒ අම්මා දරුවන්ගේ ඇස් දකින තුරු ඒ කටහඬ ඇහෙන තුරු රෝහලේ ඇඳකට වී බලාගෙන ඉන්නවා.
අම්මා.. තමන්ගේම ලේ කිරට පෙවූ අම්මා... දුක් මහන්සියෙන් දරුවන් උස් මහත් කොට ගුවන් යානයක නැගී ලෝකය ජය ගන්නට ගිය දරුවන්ගේ දියුණුව දැක සතුටු වුණු අද කොවිඩ් මාරයාද ජය ගෙන ජීවිතයේ තනි වුණු ඒ ආදරණීය අම්මාගේ ආදරය ලබන්නට තරම් ඒ දරුවන් පින් කර නොමැත.
මෙසේ තමන් අත්විඳි ඒ සංවේදී සිදුවීම පිළිබඳව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා දේශයට අදහස් දක්වමින් පැවසීය.
විදෙස්ගතව සිට දරුවන් සුර සැප විඳිද්දී අම්මාවරු, පියවරු තනිවම කොවිඩ් මාරයාත් සමඟ පොර බඳිති. එවැනි තවත් අම්මා කෙනකු පිළිබඳ සංවේදී පුවතක් කොළඹ ජාතික රෝහලෙන් අපට ඇසුණි. හුදෙකලාව ඇයද තම දරුවන් වෙනුවෙන් විඳි අප්‍රමාණ දුක් කන්දරා මතකයට නංවා ගනිමින් බලා සිටින්නීය.
තවත් අම්මා කෙනකු කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළත් කළා. දින දහයකට පසුව රෝහලෙන් අම්මාව නිවෙසට ගෙන යාමට අවසරය හිමි වුණා. ඉතිරි දවස් හතර නිවෙසේ සිටීම අනිවාර්ය වෙනවා. අම්මාව නිවෙසට ගෙන යන්නට අවසරය ලැබුණත් කිසිම දරුවකු ඒ අම්මාව ගෙනියන්න කැමැති වුණේ නැහැ. අම්මා ලබා දුන් නිවෙසක ලිපිනයට දියණියකට ඇමතුමක් රෝහලෙන් ලබා දී තිබුණත් මට පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා අම්මාව මට බාරගන්න බැහැ කියලයි ඒ දියණිය කිව්වේ. යැයි පුෂ්පා රම්‍යාණි ද සොයිසා එම සංවේදී කතා පුවත දේශය පිටු අතර දිගහැරියාය.
රෝහල් කාර්ය මණ්ඩලය එතැනින් මේ මවගේ දරුවන් සෙවීම නතර කළේ නැත. ඇගේ පුතාටද රෝහලෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. අපේ ගෙදර පොඩි දරුවෝ ඉන්නවා. අම්මව ගෙනත් තියාගන්න බැහැ යැයි ඇමතුමට පිළිතුරු සැපයූ ඒ අජාසත්ත පුතුද දුරකථනය විසන්ධි කළේය. උස් මහත් වුණු දරුවන් තිදෙනකුගේ අම්මා කෙනකු වූ ඇයගේ බාල පුතාගේද ප්‍රතිචාරය වූයේ එයමය. දරුවන් අම්මාගේ කුසට බර වැඩි නොවුවද දරුවන්ගේ ලෝකයට මේ අම්මා බර වැඩි විය. තවමත් රෝහලේ වෙනත් වාට්ටුවක ප්‍රතිකාර ලබන ඇයද දරුවන් එනතුරු බලා සිටින්නීය.
අජාසත්ත දරුවන් සිටින ලෝකයක දෙනෙත අඳ වුණු අම්මා තාත්තා බලාගන්නා සාම කුමාරවරුද මෙලොව සිටිති. තම ආදරණීය වියපත් පියාණන්ට කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් අසරණ වුණු පුතෙක් පියා සමඟ රෝහලේ නතර විය. දින ගණනාවක් අවසානයේදී කොවිඩ් රෝගයෙන් සුවපත් වූ පියා නිවෙසට ගියද පුතුට නිවෙසට යාමට නොහැකි විය. කොවිඩ් ආසාදිතයකු වූ ඔහුව මාරයා රුගෙන ගියේය.
කොවිඩ් රෝගයෙන් ජීවිත බිලි ගන්නේ වැඩිහිටි පුද්ගලයන්ගේ පමණක් නොවේ. වයස අවුරුදු විසි තුනක් වුණු අවිවාහක තරුණයෙක්ද කොවිඩ් ආසාදිතයෙක් විය. ඔහු තම සහෝදරියගේ නිවෙසේ ජීවත් වුණු තරුණයෙකි. තම මළණුවන්ට කොවිඩ් යැයි දැනගත් මොහොතේ සිට අපිට බයයි. ගෙදරින් යන්න.. යැයි පවසමින් සහෝදරිය එක කුස උපන් සහෝදරයාව පලවා හැරියාය. කිසිදු රෝග ලක්ෂණයක් නොමැති මේ තරුණයාට යන්නට තැනක් නැත. එකම සහෝදරිය තමන් කොවිඩ් රෝගියකු හේතුවෙන් නිවෙසින් පන්නා දමද්දී ඔහු තවත් කාව විශ්වාස කරන්නද? නමුත් අවසානයේදී ඔහුට විශ්වාසය ඇති පිරිසක් මතකයට නැගුණි. ඔහු කොළඹ ජාතික රෝහලට පැමිණියේය. සත්‍ය සිදුවීමම සැල කළ ඔහු මාව රෝහලේ නතර කර ගන්න යැයි වැඳ වැටී අයැද සිටියේය. තමන්ගේම, තම ලෙයින්ම තමන්ව ප්‍රතික්ෂේප වෙද්දී දෙවිවරු වන් සෞඛ්‍ය අංශයෙන් ඔහුට පිහිටක් ලැබුණේය. මේ වෙද්දී ඔහු කොවිඩ් රෝගී අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මේ වන විට ජාතික රෝහලේ ඇති තවත් ගැටලුවක් වන්නේ ඇතැම් කොවිඩ් රෝගීන් රෝහල්ගත වී සුව වීමෙන් පසුව යැවීමට තැනක් නොමැති වීමය. ඇතැම් නිවෙස් මොවුන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයට අද මනුස්සකම ගිලිහී තිබේ.
බරපතළ ලෙස හදිසි අනතුරකට පත්වුණු තරුණයකු හදිසි අනතුරු අංශයට පසුගියදා රුගෙන ආවා. රුකියාව අහවර කොට තමන්ගේ මෝටර් බයිසිකලයෙන් නිවෙස බලා යද්දී ඔහු මේ අනතුරට මුහුණ පා තිබුණා. පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයකු බව තීරණය කරලා තිබුණා. ඔහුට කුඩා දියණියක්ද සිටියා. අනතුර සැලවීමත් සමඟ දරුවා හඬමින් රෝහලට ආවා. ඔහුව ඇයට දකින්න ලැබුණේ නැහැ. ඔහු මිය ගියේ කොවිඩ් ආසාදිතයකු ලෙසින්. එදා නිවෙසින් එළියට ආ ඔහුගේ මුහුණ අවසානයේ දකින්නවත් බිරිඳට හැකි වුණේ නැහැ.
කොවිඩ් නිසා දරුවන්ට දෙමව්පියන් අහිමි විය. දෙමව්පියන්ට දරුවන් අහිමි විය. ඒ අතර ඇතැමුන්ගේ මනුස්සකම කොරෝනා උදුරා ගත් අතර ඇතැම්හු කොරෝනා සමඟ පොර බඳින ජීවිතවලට යෝධ හයියක් වූහ.
මනුෂ්‍යත්වය රුකගන්න. ඔබට ලබා දී ඇති වරමක් ලෙස මේ කාලය හඳුනා ගන්න.
(පුෂ්පා රම්‍යානි ද සොයිසාගේ මුහුණු පොතෙනි.)