2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

ඇෆ්ගනිස්තානයේ මොකද වෙන්නේ?

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 413

එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ආක්‍රමණයකින් බලයෙන් පහකර වසර 20 කට පසු, තලිබාන් සටන්කාමීහු පසුගිය ඉරිදා යළි ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කරගැනීමට සමත්වූහ. මේ වන රටේ බලය තහවුරු කරගෙන සිටින ඔවුන්  යුද්ධය අවසන්ව ඇති බවත් තම සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාව සමග සාමකාමී සබඳතා පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත්, ඉතා ඉක්මනින් රජයක් පිහිටුවා රට සාමාන්‍ය තත්ත්වයට පත්කරන බවත් ප්‍රකාශ කර තිබේ. “ඉස්ලාමික් එමිරේට්ස් ඔෆ් ඇෆ්ගනිස්තාන්” යනුවෙන් තම පාලනය නම්කර ඇති ඔවුන් වෙනත් පුද්ගලයන්ගේ අවශතා වෙනුවෙන් ඇෆ්ගන් ජනතාවගේ ඉඩම් භාවිතා කිරීමට මින්පසු කිසිවකුටත් ඉඩ නොතබන බවද, තමන් මිලියන 6ක ජනතාවක් සිටින කාබුල් නගරයේ නීතිය හා සාමය ස්ථාපනය කරමින් සිටින බවද එම සංවිධනයේ දේශපාලන මාධ්‍ය ප්‍රකාශක විදෙස් රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. තලිබාන් සංවිධානය  අගනගරය වන කාබුල් අත්පත් කරගන්නට පසුගිය ඉරිදා වනතුරු සටන්කළ අතර පාලක රජයට පරාජය භාරගන්නට සිදුවිය. යුද සටන් තාවකාලිකව නවතා තම රජය තලිබාන් සංවිධානයට සාමකාමී ලෙස පවරන්නට කැමති බවට ජනාධිපති අශ්රෆ් ඝානි ප්‍රකාශ කර තිබිණි. අනතුරුව තලිබාන් නියෝජිතයන් ජනපති මන්දිරයට ගොස් බලය අත්පත් කරගැනීමේ අවසන් සාකච්ඡාව පැවැත්වීය. ජනපතිවරයා අවසන් වරට ජාතිය අමතමින් විශේෂ වීඩියෝ ප්‍රකාශයක්ද ලබාදුන් අතර එහිදී බලය අත්හරින්නට එකඟවූ බවද නිවේදනය කළේය. 

තලිබාන්වරුන් කාබුල් නගරයේ බලය තහවුරු කර ගැනීමට පැය කිහිපයකට පෙර ජනාධිපති අශ්රෆ් ඝානි ටජිකිස්තානය වෙත පළාගොස් තිබේ. තමාගේ තීරණය දුෂ්කර එකක් වූ නමුදු ලේ වැගිරීම් වැළැක්වීම සඳහා තමා ඉවත්වීමට තීරණය කළ බවත් ඇෆ්ගනිස්ථානයට දීර්ඝායුෂ පතන බවත් ඝානි තම සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර තිබේ.

2001 සැප්තැම්බර් 11දා අල් කයිඩා සංවිධානය මගින් ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එවක සිටි ඇමෙරිකානු ජනාධිපති ජෝජ් බුෂ් අල්කයිඩා සංවිධානය විනාශ කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළේය. එම සංවිධානය ඇෆ්ගනිස්තානයේ රැකවරණය ලබාගෙන සිටි අතර ඔසාමා බින් ලාඩන්ගේ මූලස්ථානය පැවතියේද එහිය. ඒ හැර අන්තවාදී ඉස්ලාමීය සංවිධාන රුසකටද ඇෆ්ගනිස්තානයේ රැකවරණය ලැබිණි. ඔසාමා බින් ලාඩන් සොයා ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. වසර අවසානය වනවිට තලිබාන් හමුදාව පරාජය කරමින් ඇෆ්ගනිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නිර්මාණය කිරීමට ඇමෙරිකාව පියවර ගත්තේය. එම ආක්‍රමණයේදී සිවිල් වැසියන් 11 ලක්ෂයකගේ පමණ දිවි අහිමි විය.

දශක දෙකක කාලයක් පුරා ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් කටයුතු සිදු කළ අතර ඇෆ්ගන් නව රජය බිහි කිරීමට හා ඇෆ්ගන් රාජ්‍ය හමුදාව පුහුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.26ක් පමණ වැය කිරීමට එක්සත් ජනපදයට සිදු විය. එම කාලය තුළ ඇමෙරිකානු හමුදාව මගින් 300,000ක පමණ ආරක්ෂක හමුදාවක් පුහුණු කරනු ලැබීය. එහෙත් එම හමුදාවට තලිබාන් සංවිධානයෙන් ඇෆ්ගනිස්තානය රැක ගැනීමට නොහැකි වී තිබේ. ඇෆ්ගන් හමුදාව හා තලිබාන් සංවිධානය අතර නිරන්තර සිවිල් යුද්ධයක් පැවතියේය. එය සමථයකට පත් කර ගැනීමට අවස්ථා කිහිපයකදීම සාකච්ඡා වට පැවැත්විණි. 2020 වසරේ දෝහා කටාර්හි පැවැති සාකච්ඡා වටයේදී 2021 වසරේ මාර්තු මාසය වන විට ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකානු හමුදා ආපසු කැඳවන බවට එකඟතාවකට එළැඹ තිබිණි. ඒ අනුව එරට සිටි 13,000 ක් වූ ඇමෙරිකානු හමුදාව 8,600 දක්වා අඩු කිරීමට ඇමෙරිකාව 2020 පෙබරවාරි මාසයේදී තලිබාන් සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කළේය. මෙම ගිවිසුම අනුව තලිබාන් සිරකරුවන් 5000 කට තලිබාන් සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසු වූ ඇෆ්ගන් ආරක්ෂක භටයන් 1000 ක් හුවමාරු කර ගැනීමද ඇතුළත් විය. තලිබාන් ත්‍රස්තවාදීන් ඇමරිකානු හමුදාවන්ට පහර නොදෙන අතර ඇෆ්ගන් භූමිය ජාත්‍යන්තර ත්‍රස්තවාදය සඳහා භාවිත නොකරන බවට එහිදී ඔවුහු සහතික වූහ.

ඇමෙරිකානු හමුදා ක්‍රමක්‍රමයෙන් ඇෆ්ගනිස්තානයෙන් නික්මයාම ඇරඹුණේ ඇෆ්ගන් රජය සහ තලිබාන් සංවිධානය අතර, සාම වැඩපිළිවෙළක් සකස් කර දීමෙන් අනතුරුවය. කෙසේ නමුත් එම සාම වැඩපිළිවෙළ අසාර්ථක කරමින් තලිබාන් සටන්කාමීහු සාම ගිවිසුම උල්ලංඝනය කරමින් යළි සටන් බිමට අවතීර්ණ වූහ. පසුගිය මාස දෙකක කාලය තුළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් රටේ නගරවල බලය තමන් වෙත නතුකර ගැනීමට සමත් වූ අතර ලක්ෂ තුනක් වන ඇෆ්ගන් හමුදාවෙන් ඔවුන් වෙත දැඩි පීඩනයක් එල්ල නොකෙරුණු බව පැහැදිලිය.

තලේබාන් සංවිධානය එක්සත් ජනපද හමුදාවන්ට ප්‍රහාර එල්ල නොකළ නමුදු ඇෆ්ගන් රජයේ හමුදාවන්ට දිගින් දිගටම පහර දුන්නේය. සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ විනිසුරුවන් ඝාතනය කළේය. ඔවුන් යළි සටන් ඇරඹීමට එක්සත් ජනපද හමුදාව පිටත්වන තෙක්ම බලා සිටියේ නැත. 

තලිබාන් සංවිධානය යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් හට බොහෝ දෙනකුගෙන් චෝදනා එල්ල විය. තලිබාන්වරු කාබුල් නගරය අත්පත් කර ගත් දිනට පසුදින ජාතිය ඇමතූ බයිඩන් කියා සිටියේ ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ මෙහෙයුමක් ආරම්භ කළේ ත්‍රස්තවාදය විනාශ කිරීමට මිස ජාතියක් ආරක්ෂා කිරීමට නොවන බවයි. සැප්තැම්බර් 20 ප්‍රහාරයට වගකිවයුතු ඔසාමා බින් ලාඩන් සොයා ගැනීම ඇමෙරිකාවේ අරමුණ වූ බවත් ඔහු සොයා ගත් බවත් පැවසූ බයිඩන් තමන්ට ඇෆ්ගනිස්තානයේ රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණක් නොවූ බවත් තලිබාන්වරු තම ජනතාවට එරෙහිව නැගී සිටියහොත් සියලු බලය යොදවා එයට එරෙහිව කටයුතු කිරීමට පසුබට නොවන බවත්, හමුදා යළි කැඳවීමට ගත් තම තීරණය නිවැරදි බවත් ප්‍රකාශ කළේය. 

ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ සිටි කාලය තුළ එරට ජනතාවට කිසියම් සහන කාලයක් උදාවී තිබිණි. තලිබාන් පාලනය යනු සම්මත ලෝකයේ මානව හිමිකම් පිළිබඳ කිසිදු තැකීමක් නැති ගෝත්‍රවාදි පාලනයකි. වසර විස්සකට ඉහත එරට ජනතාව අත්විඳි දැඩි පාලන ක්‍රමයට යළි ඔවුනට නතු වීම  සිදුවනු ඇත. විශේෂයෙන් ස්ත්‍රීන් කෙරෙහි ඔවුන්ගේ ක්‍රියා කලාපය ඉතා කනගාටුදායකය.

1996 සිට 2001 දක්වා, තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන භූමියෙන් හතරෙන් තුනකම බලය අල්ලාගෙන සිටි අතර, ෂරියා හෙවත් ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කළේය. 1994 ඇෆ්ගන් සිවිල් යුද්ධයේ කැපී පෙනෙන කණඩායමක් ලෙස තලිබාන්වරු ඉස්මතු වූ අතර එහි සාමාජිකයෝ බොහෝ දුරට නැගෙනහිර හා දකුණු ඇෆ්ගනිස්ථානයේ පෂ්තුන් ප්‍රදේශයේ සාම්ප්‍රදායික ඉස්ලාමීය පාසල්වල අධ්‍යාපනය ලැබූ සහ සෝවියට් සමයේ සටන් කළ සිසුහු වූහ. මොහොමඩ් ඕමාර්ගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපාරය ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වූ අතර මුජාහිදීන් යුද නායකයන් වෙත තිබූ බලය ඔවුන් සතුවිය. 1996 ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය පිහිටුවන ලද අතර ඇෆ්ගන් අගනුවර කන්දහාර් බවට පත් කෙරිණි.  සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු 2001 දෙසැම්බර් මාසයේදී ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් පසුව එය පෙරළා දමන තුරු රටේ බොහෝ ප්‍රදේශවල පාලනය ඔවුන් සතු විය. එහි උච්චතම අවස්ථාව වන විට තලිබාන් රජයට විධිමත් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් හිමිවූයේ පාකිස්තානය, තුර්ක්මෙනිස්තානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලින් පමණි. මෙම කණ්ඩායම පසුව ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී ඇමරිකානු සහය ලද කර්සායි පරිපාලනය සහ නේටෝව මෙහෙයවන ජාත්‍යන්තර ආරක්‍ෂක ආධාර බලකායට එරෙහිව සටන් කළ කැරලි ව්‍යාපාරයක් ලෙස සංවිධානය විය. 1996දී ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගත් තලිබාන් සංවිධානය වසර පහක් ඇෆ්ගනිස්තානය පාලනය කළේය.

1996 සිට 2001 දක්වා කාලය තුළ තලිබාන් සංවිධානය (වෛද්‍යවරියන් හැර) කිසිදු ස්ත්‍රියකට රුකියාවක නිරත වීමට හෝ අධ්‍යාපනය ලැබීමට අවසර නොදුන් අතර කාන්තාවන්ට දැඩි සීමා පනවා තිබිණි. බුර්කාව ඇඳීම අනිවාර්ය විය. පිරිමින්ට පවා ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, හැසිරීම්, ආගමික කටයුතු සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සෑම අංගයක්ම දැඩිව නිරීක්ෂණය කෙරිණි. කාන්තාවන් සම්බන්ධයෙන් තම ආකල්ප වෙනස් වී ඇතැයි තලිබාන් නායකයන් ප්‍රකාශ කළද පසුගිය 20 වසර පුරා කාන්තාවන් සමානතාත්මතාව සඳහා දරන ලද උත්සාහය යළි ආපස්සට හැරෙනු ඇතැයි ඇෆ්ගන් කාන්තාවන් බියට පත්ව සිටින බව පැවසේ. තලිබාන් සංවිධානයේ නායක මුල්ලා ඕමාර් විසින් 2001 වසරේ දී ඇෆ්ගනිස්තානයේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුතු බෞද්ධ සහ අනෙක් ආගම්වලට අයත් සිද්ධස්ථාන සහ පිළිම විනාශකර දමන ලෙස සිය කැරලිකාර කණ්ඩායම්වලට අණ ලබා දුන්නේය. ඒ අනුව ඔවුන් සියවස් ගණනක් පැරණි බාමියාන් බුද්ධ ප්‍රතිමාද විනාශ කර දැමුවේ තලිබාන් කොතරම් ම්ලේච්ඡ සංවිධානයක්ද යන්න ලොවට පෙන්වා දෙමිනි.

ඇෆ්ගනිස්තාන පාලනය යළි තලිබාන්වරුන් අතට පත්වීමත් සමග ජනතාව කෙසේ හෝ එරටින් පළා යෑමට උත්සාහ කළහ. ගුවන් තොටුපළ ජනයාගෙන් පිරී ගියේය. තදබදය නිසා කිහිප දෙනකුම මරණයට පත් වූ අතර විශාල පිරිසක් ගුවන්යානාවල පියාපත්වල පවා එල්ලී ගමන් ගමන් කිරීමට උත්සාහ කළහ. එහි ඛේදනීය ප්‍රතිඵලය වූයේ එලෙස එල්ලී ගමන් කළ ඇතැම් පුද්ගලයන් ගුවනේදී ඉන් ඇද වැටී මරණයට පත්වීමය. තලිබාන් පාලනයක් යටතේ තම රටේ සිටිනවාට වඩා ගුවන්යානයෙන් වැටී මියයෑම සැපතක් යැයි ඔවුන් ඇතැම් විට සිතුවා විය හැකිය. දේශසීමා අසල සිටින ජනයා අසල්වැසි රටවල් වෙත පළායමින් සිටිති. කාබුල්හි පොදු උද්‍යාන අවතැන් කඳවුරු බවට පත්ව තිබේ. ආහාර සැපයුම් මාර්ග අවහිර වී ඇති බැවින් ආහාර සහ ඉන්ධන හිඟයක් ඇතිව තිබේ. නව පාලනය යටතේ තම ඉතුරුම් රාජසන්තක වනු ඇතැයි බියෙන් ජනතාව බැංකුවල තැන්පත් කර තිබූ සියලු මුදල් ආපසු ගැනීමට කටයුතු කළ බැවින් බැංකු අසල විශාල පෝලිම් දැකිය හැකි විය. වාර්තාවන අන්දමට තවමත් ඇෆ්ගනිස්තාන ගුවන්තොටුපළේ සිටින ඇමෙරිකානු හමුදාව දිනකට 5000ත් 9000ත් අතර සිවිල් වැසියන් පිරිසක් එරටින් ඉවත් කරමින් සිටී.

පසුගිය කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහය පළ කළ ජනතාව ප්‍රචණ්ඩත්වයට බිය වී පලායන හෙයින්, සියලුම රජයේ සේවකයන් සඳහා පොදු සමාවක් ලබාදෙන බවත් යළි සේවයට වාර්තා කරන ලෙසටත් තලිබාන් සංවිධානය නිවේදනය කර තිබේ. කාන්තාවන්ටද සේවයට යන ලෙස ඔවුන් ඉල්ලා ඇත. එමෙන්ම සිය සාමාජිකයන්ට විනය පවත්වා ගැනීමට නියෝග කර ඇති අතර කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ගොඩනැගිල්ලකට ඇතුළු නොවන ලෙසට හා තානාපති කාර්යාල වාහන වලට බාධා නොකරන ලෙසත් සාමාන්‍ය ජනතාවට සුපුරුදු ලෙස පරිදි තම කටයුතු කරගෙන යන ලෙසත් නියෝග කර ඇතැයි වාර්තා වේ. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරභාරයේ සිටි සියල්ලන් මේ වන විට නිදහස් කර තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇෆ්ගනිස්තානයේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව 7 කණ්ඩායමේ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කර තිබේ. කඩිනමින් ඇෆ්ගනිස්ථානයෙන් විදේශිකයන් සහ සෙසු පිරිස් ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය සහ රට සහ කලාපය තුළ මානුෂීය අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගතහැකි පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා