කොවිඩ් 19ය වසංගතය මෙරටට පැමිණිදා සිට වැඩියෙන්ම බැටකෑවේ බස්නාහිර පළාතය. එයට හේතුව වන්නේ වැඩිම ජනගහනයක් ජීවත්වීමත් පරිපාලාන දිස්ත්‍රික්කය බස්නාහිර පළාතේ පිහිටා තිබීමත්ය. මේ නිසා වැඩිම ජනගහනයක් එක්රොක් වන නිසා වැඩිම රෝගීන් සංඛ්‍යාවකුත් වැඩිම මරණ සංඛ්‍යාවකුත් වාර්තා වන්නේ මෙකී පළාතෙන්ය. එහෙත් වර්තමාන ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ මේ වාර්තා සියල්ල කනපිට හැරී ගියේ සිතාගත නොහැකි අයුරෙනි.
ඩෙල්ටා ප්‍රභේදයේ ඉක්මන් පැතිරීම නිසා මේ මස මුල්දින කිහිපයන්වල විශේෂඥවරුන් සඳහන් කර සිටියේ ඒ සඳහා සූදානමක් අවශ්‍ය බව කියාය. එය දිගින් දිගටම කිව්වත් ඊට වගකිවයුතු පාර්ශ්වවලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ජනතාව සුපුරුදු ලෙසින් සාමාන්‍ය ලෙස ජීවත් වුණා මිස ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නැත. කෙසේ වෙතත් ඒ නිදහස හමුවේ උද්ඝෝෂණ රුල්ලක්ද ක්‍රියාත්මක වුණ අතර කිසිවකු මෙකී ඩෙල්ටා ප්‍රභේදය හමුවේ සිදුවන අසරණකම පිළිබඳ තැකීමක් සිදුකළේ නැත. ඒ නිසා අවසානයේ සිදුවූයේ අද රට මුහුණ දී ඇති තැනට පත්වීමය.
පෞද්ගලික ඇන්ටිජන් මාෆියාව නවතී.
කෙසේ වෙතත් බොහොමයක් රෝගීන් වාර්තාවීම සැලකිය යුතු ලෙස ඉහළ යන්නට පටන්ගත්තේ රෝග ලක්ෂණ ඇති අය විශාල වශයෙන් පෞද්ගලික රෝහල් වෙත ගොස් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකරන්නට ගත් නිසාය. මේ නිසා බොහොමයක් කොවිඩ් රෝගීහු ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙතත් පෞද්ගලික රෝහල් වෙතත් යොමුවන්නට වූහ. පරීක්ෂණ තත්ත්වය ඉහළ යාම හේතුවෙන් අවසානයේ පෞද්ගලික රොහල්වල ඇන්ටිජන් පරීක්ෂණවල ගණන්ද හිතු මනාපයට එම රෝහල් පාලනය විසින් ඉහළ දැමූ අතර ඇතැම් රෝහල්වල රුපියල් 3000 - 5000 අතර මිලකට ඉහළ ගියේය. මේ නිසා රජය වහාම ගැසට් පත්‍රයක් හරහා ඇන්ටිජන් කිරීම සඳහා රුපියල් 2000ක මුදලක් පමණක් අයකරන ලෙසට නියෝග කළේය. එසේම පී.සී.ආර්. මිලද රුපියල් 6500 කට සීමා කළේය. මේ නිසා බොහොමයක් රෝහල් මෙම පරීක්ෂණ අත්හරින තැනට පත්විය.
ඊට අමතර පෞද්ගලික රෝහල්වලට බරපතළ පැමිණිලි ප්‍රමාණයක්ද එල්ල විය. එනම් නිරෝධායනය නීතිය අනුව යම් අයකු කොවිඩ් රෝගියෙක් නම් රජයට දැනුම් දිය යුතුය. එහෙත් පෞද්ගලික රෝහල් අදාළ තොරතුරු සඟවා රෝගීන් නිවෙස්වල රඳවා රහසිගතව ප්‍රතිකාර කරන තැනට පත්වීමත් සමඟ ඇතැම් රෝගීන්ගේ තත්ත්වය බරපතළ වී රජයේ රෝහල් වෙත යොමු කෙරිණි. මේ නිසා අවසානයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් වහාම එම ක්‍රමය නවත්වන ලෙස ඉල්ලා සිටියහ. ඒ නිසා ඇන්ටිජන් පරීක්ෂණ නවතාලීමට මෙයද එක් හේතුවක් බව සඳහන් වේ.
බස්නාහිර දත්ත වෙනස්
සෑමදිනම රාත්‍රියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්කරන ලබන දත්ත මේ රටේ මහජනතාවට ලැබෙන නිල දත්ත වේ. එම දත්ත දැක බොහෝ ජනතාව පුදුම වුවත් බොහොමයක් විපක්ෂයේ අය පවසා සිටියේ මේ ඇත්ත දත්ත නොවන බවය. කෙසේ වෙතත් මීට පෙර නිවැරදි නොවන දත්ත ඉදිරිපත් කිරීම නිසා වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ඉන් ඉවත්වන්නට පවා සිදුවිය. කෙසේ වෙතත් ඉන් වෙනසක් වූයේ නැත. රාත්‍රියට ලබාදෙන තොරතුරු අනුව රෝගීන් සංඛ්‍යාව දෙසීය තුන්සීය ලෙස සටහන් වුවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හරහා නිකුත් කරන දත්ත අනුව රෝගීන් 2000ක් පමණ වූහ. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළදී එය අනාවරණය විය. එහෙත් තවමත් එලෙස දත්ත විකෘති වීම ගැන නිසි පිළිතුරක් වගකිවයුතු පාර්ශ්වයකින් නැත.
සුවවිරුවෝ, රණවිරුවෝ ලෙඩවෙති.
මේ වනවිට බස්නාහිර පළාත තුළ විශාල අභියෝගය වී ඇත්තේ රෝහල් ධාරිතාව ඉක්මවා යාමය. මේ නිසා විශාල රෝහල් කාර්ය මණ්ඩලයක් ඒ වෙනුවෙන් යොදන්නට සිදුවී ඇති අතර අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කාර්ය මණ්ඩලය අවශ්‍යව ඇත. එහෙත් කනගාටුවට කරුණ නම් බොහොමයක් රෝහල් කාර්ය මණ්ඩල විශාල ලෙස කොවිඩ් රෝගයට ගොදුරු වීමය. කණිෂ්ට සේවක මණ්ඩලවල සිට හෙදියන් වෛද්‍යවරුන් දක්වාම රෝගය බහුල ලෙස ව්‍යප්තවන බව සඳහන් වේ. මෙයට හොඳම උදාහරණය වන්නේ කොළඹ ජාතික රෝහලය. එහි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 250 කට වඩා රෝගී වී සිටිති.
මේ අතර ආරක්ෂාව සඳහා සහාය දක්වන පොලිසීයේ නිලධාරීන් අතරද විශාල වශයෙන් රෝගය පැතිර යන්නට පටන්ගෙන ඇති බව සඳහන් වේ. මේ නිසා පොලිස් ස්ථානවල රාජකාරිවලට බාධා එල්ල වී ඇති බවද සඳහන් වේ. ඒ ඇතැම් නිලධාරීන් නිරෝධායනය වන නිසාය.
කෙසේ වෙතත් බස්නාහිර තත්ත්වය ඉතාම තීරණාත්මක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය. එය ප්‍රධාන හේතුව වී ඇත්තේ දෛනිකව රෝගීන් වාර්තාවන ප්‍රමාණය නිසාය. ඒ නිසා රෝහල් කාර්යමණ්ඩල වෙත එය දරා ගැනීමට නොහැකි වී ඇති බවද සඳහන් වේ. ඒ නිසා ඔවුන් සඳහන් කරන්නේ විශේෂයෙන් කොළඹ සහ ගම්පහ නගරවල තත්ත්වය ඉතා තීරණාත්මක බවය. ඒ නිසා හැකි උපරිමයෙන් නිවෙස්වලට වී සිටින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගයාන් ගාල්ලගේ