යම් අයෙක් කොවිඩ් මර්දන එන්නත ලබා නොගතහොත් ඔහුට හෝ ඇයට කුමක් සිදුවේද? යන්න පිළිබඳ සොයා බැලීම අපි තීරණය කළෙමු. සෞඛ්‍ය විද්‍යාත්මක මෙන්ම සාමාජීය වශයෙන්ද මේ සම්බන්ධව සොයා බැලීම අපගේ උත්සාහය විය. මේ වනවිටත් ලොවපුරා බිලියන දෙකකට අධික ජනතාවක් කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන සිටිති. තව බිලියන ගණනාවක් ජනතාව එන්නත ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙති. ඒ අතර එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන සුළුතරයක්ද නැතුවා නොවේ.
එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීම සෞඛ්‍ය ආචාරධර්ම අනුව සිදුකළ නොහැකි දෙයකි. එම නිසාම ඕනෑම අයකුට එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට අභිමතයක් තිබේ. එහෙත් සමස්ත ලෝකය වසංගතකට මුහුණදීමට ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම සමාජ වගකීමක් බවට පරිවර්තනය වී තිබේ. මේ වනවිට කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට එකම ක්‍රමය එන්නත්කරණය බව මුළුමහත් ලෝකම පිළිගෙන හමාරය. එන්නත්කරණය තුළින් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කළ හැකි බවත් මරණ සංඛ්‍යාව පාලනය කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. ඒ අනුව යමෙක් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු හෝ ඇය අනියමින් වසංගතයේ ව්‍යාප්තියට සහයෝගය ලබාදෙන බව තහවුරු කළ හැකිය.
කෙසේ වෙතත් මෙහිදී මතක තබා ගතයුතු කරුණු කිහිපයකි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයද මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදීම පැහැදිලි කිරීම් සිදුකොට තිබේ. කොවිඩ් 19 යනු ආසාදනය වීමේ ප‍්‍රවණතාව අධික ඉක්මනින් පැතිර යන වෛරසයකි. ඒ නිසාම ඔබ කොතරම් ශක්තිමත් ජවසම්පන්න පුද්ගලයකු වුවත් වයස් සීමාව කුමක් වුවත් අනපේක්ෂිත මොහොතකදී ආසාදිතයෙක් විය හැකිය. එසේම කොවිඩ් 19 හේතුවෙන් බරපතළ රෝගාබාධ සහ දිගුකාලීන සංකූලතා ඇතිවීම සිදුවේ. තවද අප කවුරුත් දන්නා පරිදි මෙම වෛරසය හේතුවෙන් මරණය පවා සිදුවිය හැකිය. එම තත්ත්වය තුළ එන්නත ප්‍රතික්ෂේප කිරීමෙන් යමකුට මුහුණ දීමට සිදුවන භයානක අත්දැකීම මරණය යැයි ප්‍රත්‍යක්ෂ කොට කිව හැකිය. ඒ අනුව යම් අයෙක් කොවිඩ් මර්දන එන්නත ලබා නොගතහොත් ඔහුට හෝ ඇයට කුමක් සිදුවේද? යන පැනයට “මරණය” යන්න සාධාරණය පිළිතුරක් ලෙස භාර ගැනීමට සිදුවෙයි.
එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් යමෙක් මරණ පවා නොතකා හරින බව කියයි නම් අප ඔහුට සිහිපත් කළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ පවුල සහ හිතවතුන්ට ඇති අවදානම පිළිබඳවයි. වෛරසය ආසාදනය වී ඇති අවස්ථාවක ඔබට ඉතා සුළු රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත් ඔබගේ ආදරණීයයන්ව සහ ඔබ අවට සිටින පිරිස ඔබ නිසාවෙන් ආසාදිතයන් බවට පත්වෙති. එවන් විටෙක ඔබගේ ජීවිතය ආරක්ෂා වී ඔබ නිසා ආසාදිත වූ ආදරණීය අයකුට ජීවිත අහිමි විය හැකිය. මේ මොහොතේ කුමන හෝ හේතුවක් මත එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින අයකුට තමා නිසාවෙන් තවත් අයකුගේ ජීවිතය අහිමි වුවහොත් විශාල මානසික පීඩනයක් ඇතිවිය හැකිය. ඒ අනුව එන්නත ප්‍රතික්ෂේප නොකිරීම තවත් සාධාරණ හේතුවක් ලෙස ඔබගේ හෘද සාක්ෂිය ඔබට ඉදිරිපත් කරනු ඇත. එසේ නමුත් සෞඛ්‍ය නිර්දේශ මත එන්නත ලබාගැනීම නුසුදුසු යැයි දන්වා ඇති අය විෂයෙහි මෙම කරුණ අදාළ කරගත යුතු නොවේ.
මේ අතර එන්නත්කරණය සඳහා ජනතාව පෙළඹවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. එන්නත ලබා නොගන්නා අයට ඇතැම් සමාජ වරප්‍රසාද අහිමි කිරීමට රටවල් කිහිපයක්ම කටයුතු කර තිබේ. ඒ සම්බන්ධව විවිධ තර්ක ඇතත් ශ්‍රී ලංකාවේද එන්නත් ලබා නොගන්නා අය ඉලක්ක කරගත් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පෙනී යයි. ඒ හා සම්බන්ධව පුවත් අවස්ථා කිහිපයකදීම වාර්තා විය. ආසන්න වශයෙන් වාර්තා වූ එවන් තත්ත්වයක් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස්වලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථා කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන්ට පමණක් සීමා කිරීමයි. මේ සම්බන්ධව දැඩි පරීක්ෂාවට ලක්කරන බවත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග එක්ව අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදුකරන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර තිබිණි.
ඊට අමතරව එන්නත් ලබාගත් බවට සහතික කෙරෙන ස්මාට් කාඩ්පත ලබාදීමට කටයුතු කිරීම සහ පොදු ස්ථානවල ගැවසීමේදී එය අනිවාර්ය කරන බවද දැනට බලධාරීන් සඳහන් කර තිබේ. ඒ අනුව පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ‘කොරෝනා’ එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ඉදිරියේදී ඉතා වැදගත් වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේය. කොරෝනා එන්නත ප‍්‍රතික්‍ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේදී ප‍්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබුණි. එසේම විවිධ උත්සවවලට සහභාගි වීමට යද්දී කොරෝනා එන්නත් සහතිකය අනිවාර්යවන බවද ඔහු කීවේය. මීට අමතරව කොරෝනා එන්නත ප‍්‍රතික්‍ෂේප කරන පුද්ගලයන් පිළිබඳව අදාළ සෞඛ්‍ය නිලධාරීන්ට සහ පොලීසියට දැනුම් දෙන ලෙසද එහි වැදගත්කම පහදාදී එන්නත ලබාදීම සිදුකළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ එන්නත ලබා නොගත් පිරිස්වලට සමාජීය වශයෙන් අර්බුදය රැසකට මුහුණ දීමටද සිදුවන බව පැහැදිලි වෙයි. එසේම විවිධ වෘත්තීන් සඳහා එන්නත අනිවාර්ය සාධකයක් වනු ඇතැයි පෙනෙන්නට තිබේ. පදික වෙළෙඳුන් සහ සංචාරක වෙළඳුන් වැනි ජනතාව අතර ගැවෙසන පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පසුගියදා පවසා තිබුණි. එසේ නොවුණහොත්, ඔවුන්ගේ මෙන්ම සෙසු පුද්ගලයන්ගේ ජීවිතද අවදානමට ලක්වනු ඇති බව ඔහු සඳහන් කරයි. මේ ආදී යෝජනා රැසක් විවිධ පාර්ශව වෙතින් බලධාරීන්ට ඉදිරිපත් වෙමින් තිබේ. ඒ අනුව ඉදිරියේ එන්නත ලබාගැනීම යම් පමණකට අනිවාර්ය වන බව පෙනීයයි. එසේම මෙම තත්ත්වය ඔබ සමාජීය කටයුතුවලට මැදිහත් වනවිට ඔබ එන්නත ලබා ගත්තාද නැද්ද යන්න පිළිබඳ සෙසු පිරිසක් සැකිලිමත් වනු ඇත. ඒ අනුව එන්නත ලබා නොගන්නන්හට සාමාජීය වශයෙන් යම් යම් අවස්ථා අහිමි වී යාමටද ඉඩකඩක් තිබේ.
ජාත්‍යන්තර වශයෙන් සැලකූ විට එන්නත් ලබා ගැනීම ඇතැම් රටවලට ඇතුල්වීමේදී මේ වනවිටත් අනිවාර්ය කර තිබේ. එසේම ඇතැම් රටවල් එන්නත් ලබාගැනීමට ජනතාවට දැඩිව බල කරමින් සිටියි. කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සිරගෙට යවන බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටේ අනතුරු ඇඟෙව්වේ ඒ අනුවය. “ඔබට එකක් තෝරාගන්න පුළුවන්: එන්නත ලබාගන්න නැතහොත් ඔබව මම සිරගෙට යවනවා,” ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා පවසා තිබුණි. මේ අතර ඉතාලිය වැනි රටවල් පවා ග්‍රීන් පාස් ක්‍රමය භාවිතා කරමින් එන්නත ලබානොගත් පිරිස් පොදු ස්ථානවලින් ඉවත්කර තැබීමේ ක්‍රමයක් භාවිතා කළේය. ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබානොගන්නා රාජ්‍ය සේවකයන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් ඇති බව කැනඩා රජයද නිවේදනය කර තිබුණි. රාජ්‍ය සේවකයන්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශවලටද එය අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කොට තිබුණි. මේ ආදී සිදුවීම් රැසක් ලොවපුරා වාර්තාවෙයි.
අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ ශ්‍රී ලංකාව යනු ඉතිහාසයේ පටන් එන්නත්කරණය හරහා විශාල සාර්ථකත්වයක් අත්පත් කරගත් රටක් බවයි. එම නිසාම යම් අයෙක් කොවිඩ් මර්දන එන්නත ලබා නොගතහොත් ඔහුට හෝ ඇයට කුමක් සිදුවේද? යන්න පිළිබඳ සොයා බැලීම පවා අනවශ්‍ය කටයුත්තකි. බුද්ධිමත් ජනතාවක් ලෙසින් ඒ සම්බන්ධ පැහැදිලි අවබෝධයක් මෙරට ජනතාවට තිබේ. තවදුරටත් මිථ්‍යා මතවල සහ ප්‍රබන්ධවල එල්ලී සිටින අයට පමණක් අපි මෙය සිහිපත් කරමු. අහේතුකව ඔබ කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ නොදැනුවත්වම මනුෂ්‍ය ඝාතනයක් ඔබ අතින් සිදුවිය හැකිය. පරිස්සම් වන්න. එන්නත ලබාගැනීම හෝ නොගැනීම ඔබගේ අයිතියකි. ඔබගේ මෙන්ම අන් අයගේ ජීවිත සුරක්ෂාව ඔබ සතු වගකීමකි.
චමිඳු නිසල් ද සිල්වා