ශ්‍රී ලංකාව නැවත වතාවක් ලොක් වඩුන් තත්ත්වයකය. කොවිඩ් තුන්වැනි රැල්ල උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. අලුත් ප්‍රභේද ගණනාවක් රට තුළ ව්‍යාප්තව පවතින බව වෛද්‍ය විශේෂඥයෝ කියා සිටිති. ජාතික ආපදා අවස්ථාව තුළ ඉතාම සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතුය. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු අතර මුඛ ආවරණ පැළැඳීම හා නිතර අත සෝදා ගැනීම අවශ්‍යම කෙරේ. මෙම අවවාද ජනතාවට නිතර ලැබෙන බව නිසැකය. එහෙත් එය අමතක කරන, සුළුකොට තකන ස්වභාවය තුළ වෛරසයේ ව්‍යාප්තිය තියුණුය.
සමාජයේ පහළ ස්ථරය තුළ පමණක් ව්‍යාප්තියක් ලෙස ආරම්භක රුළිවලදී නිරීක්ෂණය විය. ජනාකීර්ණ තැන්වල ගැවසෙන පොදු ප්‍රවාහනය භාවිතා කරන පිරිසට වැඩි අවදානමක් බව පෙනිණි. ස්වභාවය වෙනස් වෙමින් තිබේ. වෛරසය සියලුම තැන් ආක්‍රමණය කර ඇත. ඉතාම ප්‍රවේසමෙන් ජීවත්විය හැකි පසුබිමක් සහිත අය පවා කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටිති. මෑතක සිදුවූ ශෝක ජනක සිදුවීම් එයට හොඳ උදාහරණයකි.
• පාලනය ගැන ඉන්දියාවෙන් අදහසක්
පසුගිය 2020 සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ දිනකට වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීය. ලෝකයේ දෛනික වාර්තාවන රෝගීන් වැඩිම රට වශයෙන් ඉතිහාසයට එක්විය. එය පළමු රැල්ලයි.
එහෙත් මාස හතරක් ඇවෑමෙන් මෙම වසරේ ජනවාරි වනවිට රෝගීන් වාර්තාවීම අඩුම තැනට වැටිණ. ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීහු විස්මයට පත්වූහ. එයට හේතුව පළමු වටයේ සිට සෞඛ්‍ය සිරිත්වලට නැඹුරු කිරීම බව එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සෞඛ්‍ය නිරීක්ෂණ වැඩසටහන අනාවරණය කළේය. අගමැතිවරයා ඇතුළු සියළු දෙනා මුව ආවරණ පැළඳ පෙනී සිටි අතර මුමුබායි ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගරවල පොලිසිය මුව ආවරණ පැළඳ නැති ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන සියලුදෙනාට ඉන්දීය රුපියල් දෙසීයක් බැගින් දඩ නියම කර ඇත. එය ඉතා අසීරු කර්තව්‍යයක් වූ අතර මහපාරේදී මාර්ග නීති නොතකන සමාජයක් මුව ආවරණ පැළඳ, නිතර අත සෝදන තැනට හැරවීම ඉතා දුෂ්කර වූ බව දක්වයි. එහෙත් දඬුවම පමණක් නොව හැම අවස්ථාවකම නොමිලේ මුව ආවරණ බෙදාහැර තිබේ. ජනවාරිය ගෙවෙන විට මුම්බායිහි මුව ආවරණ දඩවලින් එකතු කරගත් මුදල ඇමරිකානු ඩොලර් 37,000ක් බව දැක්වෙයි. අනිවාර්ය මුව ආවරණ හා භාවිතා නොකරන අයට දඩ නියම කිරීම සියයට අනූ පහක් සාර්ථක වූ බව ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ස්වාධීන ආර්ථික ප්‍රතිපත්ති සමීක්ෂණ ආයතනයක් කරන ලද වාර්තාවකින් තහවුරු කර තිබේ.
• ප්‍රසිද්ධ චරිත සමාජයට නිකුත් කළ පණිවුඩය
සමාජ සම්බන්ධතා පණිවුඩය නිකුත් කරන්නට ප්‍රයෝජනයට ගෙන ඇත. අත සෝදා ගැනීම හා මුව ආවරණණ පැළැඳීම ගැන ඉන්දීය රජය අනුග්‍රහය දක්වන ලද පණිවුඩයක් එරට සෑම ජංගම හා ස්ථාවර දුරකතන ඇමතුමක නාද වෙන කාලය තුළ ඇසෙන්නට සලස්වා තිබුණි. ජනතා ආදරය දිනාගත් බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් කොවිඩ් රෝගයට ගොදුරුවිය. ඔහු සුවපත් වූ අතර ඔහු ඇතුළු ජනකාන්ත පුද්ගලයන් ගේ හඬ ජනතාව වෙත අදහසක් දෙන්නට භාවිතා කර තිබේ.
තවත් පැත්තකින් සලකා බලන පර් යේෂකයෝ ඉන්දියාවේ පවතින කාලගුණය ව්‍යාප්තිය මැඩ පවත්වන්නට සාධකයක් වූ බව පෙන්වා දෙති. අධික හිරු රුස් සහ අඩු සුළං ප්‍රවාහය කොවිඩ් විෂබීජ වැඩි වේලාවක් පවතින්නට ඉඩ නොදී ස්වභාවිකවම වනසන හේතුවක් බව දක්වයි. PLOS one නමැති සඟරාවක් සිය ගණනක් විද්‍යාත්මක ලිපි ඇසුරෙන් මතයක් පළකරන අතර වඩාත් උණුසුම හෝ අධික ශීතල කොවිඩ් -19 වයිරසය පැතිරීම අඩාල කරන එක හේතුවක් බව කියා සිටී. වියලි හා සීතල දේශගුණය කොවිඩ් වෛරසයට හිතකර බව දක්වන කලින් තිබුණ අදහසට හාත්පසින්ම වෙනස් මතයකි.
ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය වේගයෙන් අඩුවෙන තවත් එක වාසනාවන්ත හේතුවක් ගැන පර් යේෂකයෝ කියති. එය ඉන්දියාවේ අවාසියකට යොමු වී තිබුණ කරුණු වාසියට බලපෑ ස්වභාවයකි. මැලේරියාව, ඩෙංගු, ටයිපොයිඩ්, කොලරා වැනි රෝග ඉතාම බහුල අතර මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට පිරිසිදු පානීය ජලය නැත. සනීපාරක්ෂාව හා ශක්ති ජනක ආහාර හිඟය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජනයා තුළ ස්වභාවයෙන්ම ප්‍රතිශක්තිකරණය ඉහළ මටට්මක පැවැතිය හැකි බවද වෛද්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරති. මැලේරියාව, ටයිපොයිඩ් හෝ ඩෙංගු සිය ජීවිත කාලය තුළ නොවැළඳුණු ඉන්දියානුවකු නැති තරම් බව ශබ්සවර් රිසර්ච් පදනමේ ප්‍රධානියකුද දක්වා තිබේ. ඔහුට අනුව සෑම ඉන්දියානුවකු තුළම ස්වභාවික ප්‍රතිශක්තිකරණ බලය ප්‍රමාණයටත් වඩා ඇත.
• දෙවැනි රැල්ලට පසු ඉන්දියාව
පළමු වටෙය්් වාසිදායක තත්ත්වයක සිටි ඉන්දියාව දෙවැනි වාරයේදී බලවත් අපහසුතාවයකට පත් වූ බව පෙන්වා දිය යුතුය. රෝහල් පිරිණ. ඔක්සිජන් හිඟය දරුණු තත්ත්ව ඇති කළේය. දිල්ලි මහාධිකරණය අගමැති නරේන්ද්‍ර මෝදි සිඟමන් යැද, හොරකම් කර හෝ වෙනයම් ක්‍රමයකින් දැඩි සත්කාර අංශවල සිටින රෝගීන්ට ඔක්සිජන් සැපයිය යුතු බවට නියෝගයක් නිකුත් කළේය. ඉන්දිය විදේශ අමාත්‍යවරයා ජගත් ප්‍රජාවට ආයාචනයක් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රටවල් ගණනාවක් ඔක්සිජන් ඇතුළු ඖෂධ සැපැයීය. දැන් තත්ත්වය නැවත වරක් සාමාන්‍ය වී තිබේ. ඉන්දිය අගමැතිවරයා ඉකුත් අගෝස්තු 15 වැනිදා හැත්තෑ පස්වැනි නිදහස් දිනයේ ජාතිය අමතමින් කොවිඩ් වැළැඳී ජීවිතක්ෂයට පත් පිරිසගේ වේදනාව කිසි දිනක අමතක නොකරන බව කියා සිටියේය.
ඉකුත් අඟහරුවාදා 24 වැනිදා අවසන් පැය විසි හතර තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 25,467 ක් වූ අතර එය 2020 මාර්තු මාසයෙන් පසු අඩුම ආසාදිතයන් ප්‍රමාණයයි. දිල්ලි නගරයෙන් විසි පස්දෙනකු හා මරණ දෙකක් පමණක් ලේඛන ගත වී තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ කරන ප්‍රමාණය අඩුකර නැත. රෝහල් කාර්ය මණ්ඩලයේ අවධානය එලෙසමය. දැඩි සත්කාර ඒකක අවදියෙන් සිටී.
කෙසේ වෙතත් ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ආපදා කළමනාකරණ ජාතික ආයතනය ලබන සැප්තැම්බර් හා ඔක්තෝබර්වල ඉන්දියාවේ කොවිඩ් තුන්වැනි රුල්ලක් ගැන අනතුරු අඟවයි. දෙවැනි අවස්ථාවේදී මතු වූ අභියෝග ගැන දන්නා බව අඟවන එම මධ්‍යස්ථානය සියලු කටයුතු සඳහා සූදානමක් ඇති බව කියා සිටී. රෝහල්, වෛද්‍යවරු, ස්වසන යන්ත්‍ර හා ඔක්සිජන් රටපුරා සූදානම් කර තිබේ. එන්නත්කරණය වේගවත් කර ඇති නමුත් එය නොලැබුණ කුඩා දරුවන් මෙවර ආසාදනය විය හැකි බව ඉන්දීය බලධාරීහු කල්පනා කරති. දරුවන් ආරක්ෂා කරගැනීම ප්රමුඛ කාර්යය බව ප්‍රකාශයට පත් කර ඇත.
• මෙතැනින් ඔබ්බට ශ්‍රී ලංකාව
කොවිඩ් වසංගතය භයානක අන්දමට පැතිරෙන ආකාරය ගැන ලංකාවේ ජනතාව භීතියට පත්ව ඇති වකවානුවකි. අනේක වාරයක් ප්‍රකාශ කර ඇති නමුත් තවමත් මූලික ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකෙරේ. රට වහන සේ බලකරන නමුත් දැන් තවමත් සමහර කොටස් මහ පාරේය. හැම තැනෙකම පැතිරී ඇති බව අවබෝධ වනවිට මරණ බය දැනෙන තත්ත්වයකය. කොටියා ආවෝ කියා හැමදාමත් කරන ලද විහිළුව නොසලකා හැර ඇති ජනතාව අද භීතියෙන් පෙළෙමින් සිටිති. ආණ්ඩුව හා විපක්ෂය මෙම තීරණාත්මක අවස්ථාවේදී වහා සංවිධානගත විය යුතුය. කැබිනට් මණ්ඩලය තුළ හෝ එකඟතාවයක් නැති රටක ජාතික ආණ්ඩු හදා විසඳුම් සෙවීම විහිළුවකි. ඒවා පැත්තකට කළ යුතු යෝජනාය. එක හඬක් එක පිළිවෙළක් අවශ්‍ය කර තිබේ. හරි හෝ වැරදි තීරණ අධිෂ්ඨානශීලීව ඉදිරියට ගැනීම ප්රමාණවත්ය.
කරන ලද වැරදි හෝ අතපසුවීම් පාඩමකි. එහෙම කළා නම් මෙහෙම වෙන්නේ නැතැයි කියන්නට අපහසුවක් නැත. සීමිත සම්පත් ප්‍රමාණයක් ඇති රටක අසීමිතව බලාපොරොත්තු තබාගත යුතු නොවේ. ජනතාව තුළ ඇති වගකීම ඉතාම වැදගත්ය. සමාජ දුරස්ථභාවය තරයේ මතක තබාගත යුතු බව කියා සිටියදී පෙළපාලි හා විරෝධතා සංවිධානය කළ පිරිස් අතපසු වූ පැති ගැන වේදනාව මතක තබාගත යුතුය. ආණ්ඩුව පෙරුළීම හෝ තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනම කාරණයකි. මෙය ඉතාම භයානක අවස්ථාවක් වන අතර ගැලවීමෙන් මෙහා පිළියමක් නැත. කැපවීම අවශ්‍යය. රටක් තිබුණහොත් ජාතිය ආරක්ෂාවන බව ත්‍රස්තවාදී අරගල කාලයේ හඬ බව මතකය. දැන් ජනතාවක් ඉතිරි වුවහොත් දේශපාලනය කරන්නට හැකිය. ප්රජාතන්ත්රවාදයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ මානව අයිතිවාසිකම්වලින් ජනතාව වෙනුවෙන් කළ හැකි දේ ඉතාම සීමිතය.
සාරා කන්දෙගොඩ