2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

කොවිඩ් 19ට එරෙහි ලොව පළමු DNA එන්නත ඉන්දියාවෙන්!

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 190

නව කොරෝනා වෛරසයට එරෙහි ලොව පළමු DNA එන්නත ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පිහිටි (සයිඩුස් කැඩිලා) ඖෂධ නිෂ්පාදන සමාගම  නිපදවා ඇත. ZyCoV-D යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම නව කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතයට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පසුගිය 20දා සිට අනුමැතිය ලබාදී තිබේ. මාත්‍රා තුනකින් සමන්විත මෙම එන්නත වයස අවුරුදු 12න් ඉහළ සියලුම දෙනාට ලබාදිය හැකිවීම විශේෂත්වයකි.

ඩී.එන්.ඒ. එන්නතක් ලෙස සැලකෙන්නේ, කෙළින්ම (කොවිඩ් 19) වයිරසයේ ඩී.එන්.ඒ. අණු යොදා ගනිමින් නිපදවන එන්නතකි. මෙම එන්නත ශරීරගත කළ විට, වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලෙස නිර්මාණය වන ප්‍රෝටීන බොහෝම ඉක්මනින් සහ සාර්ථකව වර්ධනය වෙයි. ඒ අනුව මෙම නව එන්නත (ඩෙල්ටා) ඇතුළු විකෘති කොරෝනාවලට සාර්ථක එන්නතක් යැයි කියන්නේ නිෂ්පාදකයන්ය.

ZyCoV-D යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම එන්නත නිපදවා ඇති (සයිඩුස් කැඩිලා) ඖෂධ නිෂ්පාදන සමාගම ඉන්දියාවේ පිහිටියත් මෙය ජාත්‍යන්තරයට ඖෂධ නිපදවන ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමකි. එපමණක් නොව, (සයිඩුස් කැඩිලා) ඖෂධ නිෂ්පාදන සමාගම, මෙම ඩී.එන්.ඒ. එන්නත නිපදවා ඇත්තේ ඉන්දීය ජෛව තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟද එක් වෙමිනි. වාර්ෂිකව මෙම එන්නතෙන් මාත්‍රා මිලියන 100ත් 120ත් අතර ප්‍රමාණයක් නිපදවීමට සයිඩස් කැඩිලා සමාගම අපේක්ෂා කරයි.

සායනික අත්හදා බැලීම් යටතේ අවුරැදු 12ට වැඩි, 28,000 කට එන්නත් මාත්‍රා තුනම ලබා දුන් බවත්, එන්නත් ලබාගත් කිසිවකුට (කොවිඩ් 19) විකෘති ප්‍රභේදයක් හෝ ආසාදනය නොවුණු බවත්, එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කරමින්, ඉන්දීය ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කර තිබේ. රටපුරා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 28,000ක් පමණ මේ එන්නතේ සායනික අත්හදාබැලීම්වලට සම්බන්ධ වී තිබූ අතර එහිදී පෙන්වා ඇති ඵලදායිතාව 66.6% කි.

ඒ අනුව, ඉන්දියාවේ අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ඉදිරියේදී ලැබෙනු ඇත්තේ මෙම සයිඩුස් කැඩිලා සමාගමේ නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත් මෙම ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙය සියයට සියයක් ඉන්දියාව තුළ ඉන්දීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන දෙවැනි ප්‍රතිශක්තිකරණ එන්නතය. මේ වනවිට ඉන්දියානුවන්ට ලැබෙන එන්නත්වලින් එකක් වන (කොවැක්සින්) ඉන්දීය තාක්ෂණයෙන් නිෂ්පාදිත පළමු එන්නතය. (කොවැක්සින්) එන්නත ඉන්දීය රජයට අයත් (භාරත් බයෝටෙක්) සමාගමේ නිෂ්පාදනයකි.

මෙතෙක් නිපදවා ඇති සාර්ථක එන්නත් දෙකක් ලෙස සැලකෙන (ෆයිසර්) සහ (මොඩර්නා) එන්නත් එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් වර්ග දෙකකි. මෙතෙක් නිපදවා ඇති එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් දෙක වන්නේද මේවාය. එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත්වල ඇත්තේ, (කොවිඩ් 19) වයිරස විෂබීජයේ ජානවලින් සකසනු ලැබූ කේතයකි. සිරුරට එන්නත් කෙරෙන්නේ එයයි.

(ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා) පමණක් නොව, රුසියාවේ (ස්පුට්නික් 5) සහ චීනයේ (සයිනෝෆාම්) එන්නත ද නිපදවා ඇත්තේ (කොවිඩ් 19) වයිරසය සිරුරට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඊට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය, එන්නත හරහා කල්තියා සිරුරේ ඇති කිරීමට සැලැස්වීමටය. එවිට වයිරසය යම් හෙයකින් සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්තිය කලින්ම නිර්මාණය කෙරෙයි.

ඒ සියලුම ආකාරයන්ට වෙනස් ලෙස කෙළින්ම (කොවිඩ් 19) වයිරසයේ ඩී.එන්.ඒ. අණු යොදා ගනිමින් නිපදවන මෙම නව එන්නත ශරීරගත කළ විට, වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලෙස නිර්මාණය වන ප්‍රෝටීන බොහෝම ඉක්මණින් සහ සාර්ථකව වර්ධනය වන බව පර් යේෂණ මගින් තහවුරුවී හමාරය. එසේම මේ එන්නත වෛරසයේ විවිධ විපරීත මාදිලි සඳහාද ප්‍රතිරෝධී බව සනාථ කර ඇත.

මේ ලිපිය ලියන මොහොත වනවිට ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව   21 කෝටි 44 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොවපුරා සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව  4,472,529 +අධිකය. ඉන්දියාවෙන් නිල වශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන මිලියන 32+ (32,557,767 +)  කි. මෙය දෙවැනි වන්නේ එක්සත් ජනපදයේ නිල වාර්තාවට පමණි. එසේම ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. එහි නිල සංඛ්‍යා ලේඛනය අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 436,396 + අධිකය. ඊට ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජනපදය සහ බ්‍රසීලය පමණි.

මේ වසර අවසානය වනවිට සියලුම ඉන්දියානුවන් එන්නත් කිරීම ඉන්දීය රජයේ ඉලක්කයයි. නමුත් එහි වේගය අඩාල වී ඇත්තේ එන්නත් වැඩසටහනේ මන්දගාමී බව, එන්නත් හිඟවීම සහ එන්නත ලබාගැනීමට ඇතැමුන් තුළ පවතින දෙගිඩියාව හේතුවෙනි. ජනවාරියේ පටන් ආරම්භ වූ එන්නත් වැඩසටහන මගින්, තවමත් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ ඉන්දියාවේ ජනගහනයෙන් 3.5%කට පමණි. 15%කට පළමු මාත්‍රාව ලැබී තිබේ.

ඉන්දියාව මේ වනවිට එන්නත් වර්ග තුනක් භාවිත කර ඇත. කොවිෂීල්ඩ්, කොවැක්සින් සහ ස්පුට්නික් V එම එන්නත් වර්ග තුනයි. කලින් කී ලෙස ඒ අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් දෙකක්ද තිබේ. එනම් කොවිශීල්ඩ් සහ කොවැක්සින් යන දෙවර්ගයයි. දැන් මේ මාත්‍රා 3කින් යුත් ලොව පළමු කොවිඩ්  ඩීඑන්ඒ එන්නත සමඟ එරට නිෂ්පාදිත එන්නත් ගණන 3කි. ඒ අතරින් වැඩිම බලාපොරොත්තු තැබිය හැකි එන්නත ලෙස මේ නව එන්නත දැනටමත් පිළිගැනීමට ලක්ව හමාරය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05