හුස්ම ගැනීම තරම් වටිනා යමක් ජීවිතයේ කිසි දිනක කිසිවකු නොකරනු ඇත. හුස්ම යනු ජීවිතයයි. අප මේ ගත කරමින් සිටින්නේ වෛරසයක් හේතුවෙන් හුස්ම හිරවී මිනිසුන් මිය යන භයානක කාල පරිච්ඡේදයකි. එනිසාම කළු කඩවල ලක්ෂ ගණනින් හුස්ම අලෙවි වන බව අපට දැනගන්නට ලැබේ. මේ විමසීම ඒ පිළිබඳවය.
වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මෙරට කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව සිටින රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ගෙවුණු සතිය වන විට 06 ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා විය. වසංගතය ආරම්භයේ දී මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 22ක් පමණ වූ නමුත් ගෙවුණු සතියේ එක් දිනක දී ඔක්සිජන් ටොන් 120ක් භාවිත කිරීමට සෞඛ්‍ය අංශවලට සිදුවී තිබිණි. ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන රෝගීන් බහුතරයකට ඔක්සිජන් අවශ්‍ය වීම මීට හේතුව බව කියැවිණි. කෙසේ වෙතත් මේ වන විට අප වෙත වාර්තා වන තොරතුරු අනුව දැනට ශ්‍රී ලංකාව තුළ ඔක්සිජන් නිපදවන සමාගම්වල දෛනික නිෂ්පාදනය ටොන් 78කි. එම නිසාම මේ වන විටත් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට රජය කටයුතු කරමින් සිටියි.
කළුකඩ ඔක්සිජන් අලෙවිය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ මෙවන් තත්ත්වයක් තුළය. මේ පිළිබඳ පළමුවරට ප්‍රසිද්ධ මාධ්‍යයට හෙළිදරව් කළේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. වීරසූරිය මහතාය. මේ වන විට මෙරට ජනතාව වෙළෙඳපොළේ ඇති ඔක්සිජන් සිලින්ඩර මිලට ගෙන තමන් නිවාසවල ගොඩගසා ගන්නා තත්ත්වයක් උදා වී ඇතැයි ඔහු සඳහන් කළේය. එහෙත් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් ලක්ෂයක් දක්වා වූ ඉහළ මිල ගණන්වලට නිවෙසට ගෙන ගියද ඵල රහිත බව ඔහු කියා සිටියේය. අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ ඔක්සිජන් ලබාදීමේ නිසි ක්‍රමවේදය නොදැන සිදු කරන මෙම කටයුත්තෙන් රෝගී ජීවිත අවදානමට ලක්විය හැකි බවයි. ඔක්සිජන් පුද්ගලයකුට වැඩිපුර ලබා දුන්නොත් එම පුද්ගලයාට නිව්මෝනියා තත්ත්වය ඇති විය හැකි බවද ඒ මහතා අනතුරු අඟවයි.
දැනට ඇති තොරතුරු අනුව ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සඳහා ඔක්සිජන් කිලෝග්‍රෑම් 47ක් අඩංගු සිලින්ඩරයක් රුපියල් ලක්ෂ එකහමාරක මුදලකට අලෙවි කිරීමට විවිධ පාර්ශ්ව කටයුතු කරමින් සිටියි. මෙම අලෙවිය සහ මිලදී ගැනීම් දැනට සිදුවන්නේ තරමක් රහසිගතවය. එසේම මෙම කළුකඩ ඔක්සිජන් වෙළෙඳාම ප්‍රකටව ඇත්තේ සාමාන්‍ය ජනතාව අතර නොව ධනවත් ව්‍යාපාරිකයන් සහ ප්‍රභූ පවුල් අතර බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් දැනට මෙරට ඔක්සිජන් අලෙවිය සඳහා අවසර ඇති සමාගම් සංඛ්‍යාව සීමිතය. ඔවුනට පවා ඔක්සිජන් සිලින්ඩරයක් විකිණීමට මිල නියම කර ඇත්තේ රුපියල් අසූ දහසකි. එම නිසාම මෙය පැහැදිලිවම ජාවාරමක් බව අවබෝධ වෙයි. එහෙත් මෙය තවම ඇත්තේ ආරම්භක අවස්ථාවේය. එම නිසාම මෙම තත්ත්වය පාලනය කිරීම බලධාරීන්ගේ වගකීමකි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ මෙසේ ඔක්සිජන් අලෙවි කිරීම නීතිවිරෝධී බවයි. ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ. එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන පරිදි ලියාපදිංචි නොවූ කිසිවකුට ඔක්සිජන් විකිණීම සඳහා මෙරට නීතිමය අවසර හිමි නොවේ. කවුරුන් හෝ එසේ සිදු කරයි නම් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට අධිකාරියට හැකියාවක් ද තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව මෙම ලිපිය ලියන මොහොත වන විටත් නීතිය ක්‍රියාත්මක වූ බවක් නම් අපට වාර්තා නොවේ. එහෙත් මේ මොහොතේ පවා ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යාම මත සමාජ මාධ්‍ය ඔස්සේ නීතිවිරෝධී ආකාරයෙන් පිරිසක් ඔක්සිජන් වෙළෙඳාමේ යෙදෙන බවට අප සතුව තොරතුරු තිබේ.
සමාජ මාධ්‍යයේ අප කළ සොයා බැලීමකට අනුව පෙනී යන්නේ මුහුණුපොතේ අලුතින් නිර්මාණය කරගත් පිටු කිහිපයක් සහ සෞඛ්‍ය කරුණු පිළිබඳ දැනගැනීමට සකස් කර තිබූ සමූහ කිහිපයක් උපයෝගී කරගෙන මෙම ව්‍යාපාරය සිදුවන බවයි. එම කූඨ වෙළෙන්ඳන් විසින් පළ කරන දැන්විම්වල කිලෝග්‍රෑම් 47 ඔක්සිජන් සිලින්ඩරයක මිල සඳහන් වන්නේ රුපියල් හැත්තෑ පන්දහසක් ලෙසය. එහෙත් මිලදී ගැනීමට උත්සාහ කරන පාරිභෝගිකයන් පවසන්නේ ඔක්සිජන් හිඟය හේතුවෙන් නව තොගයේ මිල ගණන් වැඩි වී ඇති බවයි. ඒ අනුව නව තොගයක් බව පවසමින් ඔවුහු Oxygen 47kg සිලින්ඩරය, Medical Regulator සහ Oxygen Mask එක යන ත්‍රිත්වයම රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලකට අලෙවි කරති. ගනුදෙනුව සිදුවන්නේ දුරකථන මාර්ග හරහාය. ඒ අනුව අදාළ ස්ථානයටම භාණ්ඩ රුගෙන ඒමට ඔවුහු කටයුතු කරති.
කෙසේ වෙතත් මෙය ආරම්භක අවස්ථාවේ පවතින ව්‍යාපාරයක් බව පැහැදිලිය. එසේම ව්‍යාපාරිකයෝ මේ මොහොතේ වසංගතය හේතුවෙන් අසරණ වූ ජනතාව මනා ලෙස රවටමින් සිටිති. ඉතා කඩිනමින් බලධාරීන් මීට මැදිහත් නොවුණහොත් තත්ත්වය තවත් බරපතළ වනු ඇත. එසේ නමුත් මෙවන් කූඨ ව්‍යාපාරවලට හසු නොවී මේ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කිරීම මහජනතාවගේ ද වගකීමකි. ඔක්සිජන් සම්බන්ධව ප්‍රමිතීන් ද ඔක්සිජන් ලබාදෙන නිසි ක්‍රමවේදයද නොදැන මෙවන් ව්‍යාපාරිකයන්ට හසුවීමෙන් අවදානමට ලක්වන්නේ ඔබගේම ජීවිතයයි. එනිසාවෙන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමනය කරමින් මේ අසීරු අවස්ථාවේ ඔබේ හුස්ම රුකගැනීමට කටයුතු කළ යුතුය.
කොවිඩ් ආසාදිතයන්ට ඔක්සිජන් අවශ්‍ය වන්නේ ඇයි?
අපගේ ජීවයේ පැවැත්ම තහවුරු වී ඇත්තේ ඔක්සිජන් හේතුවෙනි. ජීවියකු ලෙස අපගේ සිරුරේ සියලු පද්ධති සකස් වී ඇත්තේ සෛලවලිනි. සෛලයක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය ජනනය වනුයේ ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන්‍් හරහාය. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය සලකන විට වඩාත්ම වැඩි ඔක්සිජන් අවශ්‍යතාවයක් පවතින්නේ අපගේ මොළයට සහ හදවතටයි. ඔක්සිජන් නොමැති වූ විට මෙම ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙයි. එවිට මරණය අප කරා එළඹෙයි. සරලවම කිවහොත් ඉන්ධන නොමැති වූ විට වාහනයක ක්‍රියාකාරීත්වය නතර වන්නේ යම් සේද ඔක්සිජන් නොමැති වූ විට මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය නතර වෙයි.
අපගේ පෙනහලුවල ඔක්සිජන් ධාරිතාවය ලීටර් 7.5ක් පමණ වේ. එහෙත් හුස්මක් හරහා අප වාතය ලබාගන්නේ මිලිලීටර් 450ක් 500ක් පමණ ප්‍රමාණයකි. පෙනහලු මේ තරම් විශාල ඔක්සිජන් ධාරිතාවයක් අතිරික්තයක් ලෙස පවත්වාගෙන යන්නේ අප මහන්සි වී යම් කටයුත්තක් කරන විට ඊට අවශ්‍ය ශක්තිය ජනනය කිරීම වෙනුවෙනි. සරලව පැහැදිලි කරන්නේ නම් පෙනහලුවල කුඩා කාමරවල ඔක්සිජන් ගබඩා වී තිබේ. එම කාමරවල බිත්ති හරහා ඔක්සිජන් විසරණය වී රුධිර පද්ධතියට එකතු වේ. කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේදී වෛරස ආසාදනය හේතුවෙන් පෙනහලු ඉදිමීමකට ලක්වේ. එවිට අප පෙර කී පෙනහැල්ලේ ඔක්සිජන් ගබඩා වී ඇති කාමර දියරයකින් පිරී යයි. සාමාන්‍ය ව්‍යවහාරය පරිදි නම් ඒ සෙමය. කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේදී මේ ආකාරයට පෙනහලු සියයට පනහක් පමණ පිරී යන විට මිනිසකුට එය දරාගැනීමට නොහැකි තත්ත්වයක් බවට පරිවර්තනය වේ.
එවන් විටෙකදී අපි වැඩියෙන් වේගයෙන් හුස්ම ගැනීමට උත්සුක වෙමු. අනෙක් පසින් වැඩියෙන් ඔක්සිජන් ලබාගැනීමට දරණ උත්සාහය නිසා සිරුරේ ඔක්සිජන් අවශ්‍යතාවය තවත් ඉහළ යයි. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාව නූතනයේ විශ්වාස කරන්නේ මෙම තත්ත්වය එක්තරා උපරිම අවස්ථාවකට පැමිණ පහව යනු ඇති බවය. කෘත්‍රිමව ඔක්සිජන් ලබා දී සිරුරේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් උත්සාහ කරන්නේ මෙම තත්ත්වය හේතුවෙනි. එහෙත් සාමාන්‍ය රෝගියකුට ඔක්සිජන් ලබාදෙන පරිමාවට සහ පීඩනයට වඩා වැඩි පීඩනයකින් සහ පරිමාවකින් කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ලබාදීම අවශ්‍ය වේ. ඒ අනුව මිනිත්තුවකට ඔක්සිජන් ලීටර් 60ක් කොවිඩ් රෝගියකුට ලබාදීම අවශ්‍ය වෙයි. සාමාන්‍ය රෝගියකුට මිනිත්තුවකට ඔක්සිජන් ලීටර් දෙකත් පහළොවත් අතර ප්‍රමාණයක් ලබාදීම රෝහල් තුළ සිදුවේ. ඒ අනුව රෝහල් තුළ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යාමට හේතුව පැහැදිලි වෙයි.
චමිඳු නිසල් ද සිල්වා