2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

කැලේට ගිය ගැරඬිගල සෙල්ලිපි සහ ගල් ඇඳන්

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 539

ගලේවෙල සිට මාතලේටත්, ආඬියාගල හරහා කලාවැවටත් ප්‍රධාන මාර්ග දෙකක් වැටී තිබේ. මේ අවට පුරාණ නටබුන් රාශියක් පැතිර තිබෙන්නේ බොහෝ දෙනාගේ ඇසට ලක් නොවෙමිනි. ඒ අතරින් වටිනා සෙල්ලිපි ඇතුළු නටබුන් සපිරි ගැරඬිගල වැඩිදෙනෙක් නොදන්නා තැනකි.

ගලේවෙල සිට ආඬියාගල පාරේ කි.මී. 3ක් ගොස් දමුණුමුල්ල ගමට පැමිණිවිට ගැරඬිගල රජමහා විහාරයට ගමන් කළ හැකියි. මාතලේ කන්දපල්ල කෝරළේට අයත් එම ලෙන් විහාරයත් එයට යාබදව පිහිටි ගල්ඇදන් සහිත පර්වතයත් එකම පර්වතයක් ආශ්‍රය කරගෙන පිහිටා තිබේ. අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපි තුනක් ද විහාරයට නුදුරින් කඳුවැටියේ පිහිටා ඇත. ගැරඬියකු මෙන් පර්වතය මත කෙටූ කටාරම පිහිටි නිසා ගැරඬිගල නම ලැබී ඇතැයි කියැවේ. තවත් කතාවකට අනුව පර්වතයේ ගැරඬියන් අධිකව වාසය කර තිබේ. කි.මී. 1ක් පමණ දිගකින් යුක්තව ඇදී යන පර්වතය උසින් මීටර 200ක් පමණ වේ. වනතුරු අතරින් දිස්වන පර්වත තලාව අලංකාර දසුනක් මවාපායි. 

• ලෙන් වෙහෙර

විහාර බිමේ කටාරම් කෙටූ පිළිම ගෙය, බෝධිය, දාගැබ ආදී පූජනීය අංග දැකගත හැකියි. මෙහි පිළිම ගෙය ඇතුළත පිළිම මෑතකදී ඉදිකළ ඒවායි. විහාර බිමේ අනුරාධපුර යුගයට අයත් ගල්කණු කැබලි, පියගැටපෙළ ආදී සාධක පවතී. මෙහි කටාරම් කෙටූ ලෙන් පහක්, කටාරම් කෙටූ ලෙන් පිළිමගෙය සහ පර්වත ලිපි දෙකක් පුරාවිද්‍යා ස්මාරක ලෙස 2008 ජූනි 6දා නම්කර තිබේ.

පියගැට නැගීමෙන් පර්වතය මත පිහිටි දාගැබට පිවිසීමට  පුළුවන. එය මතට ගලේවෙල අවට වැව්, වනාන්තර හා කුඹුරු සහිත තැනිතලාවේ රමණීය දර්ශනයක් දැකගත හැකියි. ලෙන් විහාරයේ නූතන නවීකරණ නිසා පුරාණ අගය වැනසී ගොසිනි. විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ මිල්ලවානේ චන්දවිමල හිමියෝ වෙති. උන්වහන්සේ ප්‍රදේශයට ආගමික සහ ශාසනික මෙහෙයක් ඉටුකිරීමට පෙරමුණ ගෙන සිටිති. 

මෙහි පර්වතය මත පිහිටි බොහෝ දුරට ගෙවීගිය පර්වත ලිපි තුනක් මහාචාර්ය සෙනරත් පරණවිතාන කියවා පළකර තිබේ. ඉන් එක් ලිපියක් තුන්වන කාශ්‍යප (ක්‍රි. ව. 732-738) රජ සමයට අයත්ය. පළමු සහ දෙවැනි සෙල්ලිපිවල වැවක්, කුඹුරු සහ ඇළ මාර්ග මෙහි පිහිටි ආරණ්‍යයට පූජා කිරීම ගැන සඳහන්වේ. තුන්වැනි සෙල්ලිපියේ ඉඩමකට අදාළ ගනුදෙනුවක් ගැන දැක්වුණද එහි අක්ෂර බොහෝ දුරට ගෙවීගොස් ඇති නිසා නිශ්චිත අදහසක් ගැනීම අසීරුය. මෙම සෙල්ලිපි අසල ආරක්ෂිත වැට සකස් කර ඒවා ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. නමුත් සෙල්ලිපි ස්වභාවික උවදුරු නිසා හානියට පත්වෙමින් පවතී. ඒ අතරම සෙල්ලිපි ගැන විස්තර සටහන් කළ පුවරුද දිරාගොසිනි.

• ගල් ඇඳන්

විහාරයට නුදුරින් අතුරු පාරක ගොස් වනපෙත හරහා පියමං කිරීමෙන් ගල්ඇඳන් පිහිටි පුරාවිද්‍යා භූමියට ළඟාවීමට පුළුවන. කඳුගැටයේ එම කොටස හඳුන්වන්නේ ගල්ඇඳන් ගල කියලයි. ඒ සඳහා කඳුගැටය නැග පර්වතය මතට පිවිසිය යුතුයි. එය තරමක් දුෂ්කර කාර්යයකි. ලියුම්කරු ගල්ඇඳන් නැරඹීමට ගිය දින අසල්වාසී පිරිසක් ඒ මතට වී අරක්කු පානය කරනු දුටුවේය. මෙවැනි වනගත පුරාවිද්‍යා ස්ථාන ැකගැනීමට නම් ගැමියන්ද ඒ සඳහා උනන්දු විය යුතුවේ.  

තවත් ගල්ඇන්දකින් ආවරණය වූ පර්වතය මත ස්වභාවිකව නිර්මාණය වූ කදිම ආවරණයක් සහිතව ගල්ඇඳන් පිහිටා තිබේ. එතැන සිට ඈත තැනිතලාවද කදිමට දිස්වේ.  එහි ගල්ඇඳන් 6ක් කපා තිබෙන්නේ රළු පර්වතය ඔපමට්ටම් කර සයනයන් ආකාරයටයි.  ගල්ඇඳන්වලට ඉහළින් පර්වත තල්ලක් පිහිටා ඇති නිසා අව්වැසිවලින් ආරක්ෂා වීම සිදුවේ. පුරාණයේ මෙහි බවුන් වැඩූ භික්ෂුන් වහන්සේ මෙම ඇඳන්වල නිදාගන්නට ඇත. මිහින්තලේ මිහිඳු ලෙන මෙන්ම වෙස්සගිරියද මෙම ස්ථානයට තරමක් දුරින් පිහිටි නවකෝට්ටේ යහන්ගලද ගල්ඇඳන් තිබෙන තවත් ස්ථානයන් කිහිපයකි. දෙපසින්ම විවෘත නිසා හොඳ සුළං ධාරාවක් මේ ස්ථානය හරහා හමා යයි. අනුරාධපුර යුගයේ බවුන් වැඩූ රහත් භික්ෂූන් වහන්සේ මෙහි සැතපුණු බව ගැමියෝ විශ්වාස කරති.

අවට දැකුම්කළු දර්ශනයත් හමායන සිසිල් සුළං ධාරාවත් පුරාණ භාවනානුයෝගී භික්ෂුන්ගේ සිත් පහන් කරන්නට ඇති බව නිසැකය. ඇඳන් වටා කුඩා කාණු හෑරීමෙන් වැසි ජලය පැමිණීම වළක්වා තිබේ. ඇඳන්වලට ඉහළින්ද ගලේ කටාරම් කොටා ඇත්තේ ජලය පැමිණීම වැළැක්වීමටයි.

• සෙල්ලිපි

සිංහල භාෂාවේ පරිණාමය හා වාග් විද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන්නන්ට බෙහෙවින් වැදගත් වන පර්වත ලිපි දෙක පිහිටා ඇත්තේ ගැරඬිගල විහාරයේ සිට කි.මී. 1ක් උතුරින් මෙම කඳුගැටය මතමය. බලධාරීන්ගේ අවධානය නිසි පරිදි යොමු නොවීම නිසා දිනෙන් දින මැකී යමින් පවතින බව වැඩිදෙනෙක් පැවසුවත් අපට පුරාවිද්‍යා වාර්තා පෙරළන විට ඇස ගැසු‍ණේ අදින් දශක හයකට පෙර මහාචාර්ය සෙනරත් පරණවිතානද මෙම සෙල්ලිපි ස්වභාවික උවදුරු නිසා ගෙවී ගොස් ඇති බව සඳහන් කර ඇති ආකාරයයි. ගෙවී ගොස් ඇති නිසා සෙල්ලිපි සම්පූර්ණයෙන් කියවීමටද ඔහුට නොහැකි වී ඇත. 

තුන්වැනි කාශ්‍යප යුගයට (732-738) අයත් සෙල්ලිපියද බොහෝදුරට ගෙවී ගොසිනි. මහින්ද, බුද්ධ සහ මහාමල්ල සහ තවත් අයෙකු විසින් (නම මැකී ගොසිනි) විහාරයේ ලෙන් ගුහාව පවත්වාගෙන යාම සඳහා පූජා කළ කුඹුරු ප්‍රමාණයක් ගැන මෙහි විස්තර වේ. දෙවැනි සෙල්ලිපියේද ආරණ්‍ය සේනාසනයට අයත් වැව්, ඇළ මාර්ගයක් සහ කුඹුරු ගැන සඳහන් වේ. තුන්වැනි සෙල්ලිපියේ ඉඩම් ගනුදෙනුවක් ගැන සඳහන් වුවද ගෙවීගොස් ඇති නිසා නිශ්චිත අදහසක් ලබාගැනීම අසීරු බව මහාචාර්ය පරණවිතාන සඳහන් කරයි. පළමු සෙල්ලිපියේ සඳහන් කර ඇත්තේ තඩවතක වැව, කපුරගමිකන වැව සඑහ උහනිකත නම් ඇළක් ගැනයි. මේ වාරිමාර්ගවල ආදායම විහාරයට පූජා කිරීමක් කර ඇති බව පෙනේ. දෙවැනි සෙල්ලිපියේ පර වැව, පජිනිගමක වැව, තලක දතහ වැව ගැන සඳහන්ය.  

සිංහල භාෂාවේ විකාශනය පිළිබඳව පර්යේෂණ සිදුකරන විශ්වවිද්‍යාල සිසු සිසුවියන් නිතරම පාහේ මෙම ස්ථානයට පැමිණෙන බව පැවසේ. එයට හේතුවී ඇත්තේ සිංහල භාෂාවට අලුතින් එක්ව ඇතැයි කියනු ලබන අක්ෂර සම්බන්ධයෙන් සොයාබැලීමේදී මෙම සෙල්ලිපි බෙහෙවින් උපකාරී වන බැවිනි. මෙවැනි වනගත පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට නම් සියල්ල ආණ්ඩුවට බාරදී බලාසිටිනු වෙනුවට ගැමියන්ද පෙරමුණ ගත යුතු බව අපගේ හැඟීමයි. 

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරෑ: අශාන් ගීගනගේ- amazing lanka.com

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05