කොවිඩ් 19ට එරෙහිව සිරුර සූදානම් කිරීම සඳහා විටමින් ලබාගැනීම දැන් බොහෝ විට වෛද්‍ය නිර්දේෂ නැතිවද සිදුවේ. මේ අන්දමට විටමින් ලබාගැනීම කෙතරම් පලදායකද යන්නන් ගැන කතාබහක්ද ඒ අතර සමාජය තුළ පැතිර ඇත. පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනි ගලප්පත්ති කීවේ විටමින් D සහ C මෙන්ම ZINC ද වෛද්‍ය උපදේශ මත නියමිත මාත්‍රාවන්ගෙන් ලබාගැනීම කොවිඩ්වලට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය සඳහා උපකාරීවන බවය. ඒ අනුව පමණ දැන ගතයුතු නියම විටමින් වර්ග සිරුරට ලබා දීමෙන් මේ භීෂණ සමයේ කොවිඩ් මාරකයෙන් දිවි ගලවා ගැනීමට සහායක් ලැබෙනු ඇත.
විටමින් D ඌනතාව කොවිඩ් 19 රෝගී තත්ත්වය තවත් උග්‍ර කිරීමට ඉඩ ඇතැයි යන මතය මේ වනවිට ක්‍රමයෙන් පිළිගැනීමට ලක් වෙමින් පවතී. එහෙත් විටමින් D, මැජික් ඔසුවක් සේ කොවිඩ් 19 රෝගය සුව කරාවි යනුවෙන් පවසා සිටීමක් ලෙස මෙය සැලකිය යුතු නොවේ.
විටමින් ගැනීමෙන් සැමදෙනාටම ධනාත්මක ප්‍රතිඵල අත්පත් කරගත හැකි වුවත්, විටමින් යනු ඖෂධයක් හෝ චිකිත්සාවක් හෝ නොවෙයි. විටමින් ඇත්තටම සිරුරේ ඌණපූරණය සඳහා (අඩු පුරවන්න) තිබෙන දෙයකි. විටමින් මදිවන්නේ නම් එවිට එය ශරීරයට එය හානිකර වුණත්, අනෙක් අතට ශරීරයට අවශ්‍ය විටමින ප්‍රමාණවත්ව ඇත්නම් ඒවා වැඩිපුර ගත්තාය කියා වුවද අතිරේක වාසි ඇති කරන්නේද නැත. ඇත්ත වශයෙන්ම විටමින් බොහෝමයක් – විටමින් Dද ඇතුළු විටමින් බොහොමයක් වුවමනාවට වඩා ගත්තොත් එය ධූලක හෙවත් විෂ ලෙස ක්‍රියා කළ හැකිය.
කෙසේ වෙතත් සැමට සමබල ආහාර සහ සෞඛ්‍ය විහරණ නොලැබෙන නිසාම බොහෝ දෙනා විටමින් D ඌනතාවයෙන් පෙළෙන බව පිළිගත යුතුව ඇත. විටමින් D කියන්නේ සම මත පතිත වන පාරජම්බුල කිරණ මගින් සුවිශේෂීව නිපදවන්නකි. එය මාළු සහ අනෙකුත් ආහාර වලිනුත් තරමක් ලබා ගන්නටද හැකිය. ඒත් සමහරුන්හට එය ප්‍රමාණවත් වෙන්නේ නැත.
වැඩිහිටි පිරිස් ඇතුළුව නිවාස ඇතුළෙම කාලය ගත කරන අයගේ, ඒ වගේම තද පැහැ සමක් ඇති අයගේ විටමින් D මට්ටම විශේෂයෙන්ම පහළ වැටෙයි. විටමින් D වසර පුරාම අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක් පවතියි. මේ නිසාම විටමින් D පරිපූරකයක් ලෙස ගැනීම වරදක් නොවූවත් එය හිතුමතයේ නොව වෛද්‍ය උපදෙස් මත ගැනීම සිදුවිය යුතුමය.
ඉහළ ස්වසන මාර්ගයේ ආසාදන හෝ සෙම්ප්‍රතිෂ්‍යාවෙහි උෟඝ්‍රතාව හෝ එය ඇතිවන සීඝ්‍රතාව වැඩිවීමට විටමින් D ඌනතාවයෙහි යම් සම්බන්ධයක් ඇතැයි දීර්ඝ කාලයක සිට එළිදරව්ව ඇති කාරණාවකි. එවැනි ආසාදනවල අවදානම විටමින් D පරිපූරක මගින් අඩු කෙරෙන බව දැක්වෙන ඇතැම් අධ්‍යයනවලින්ද පිළිගත් වෛද්‍ය විද්‍යාඥයන්ගෙන් ප්‍රකාශන හා ලේඛන මගින්ද සනාථ කර ඇත.
විටමින් D සහ කොවිඩ් 19 ගැන විශේෂයෙන් සලකා බැලුවොත් විවිධ ප්‍රදේශවල, විවිධ අංශවලින් නොයෙකුත් තොරතුරු නිරතුරුව ලැබෙමින් පවතී. ඒවායින් දැක්වෙන ප්‍රධාන පණිවිඩය ලෙස පෙනී යන්නේ, විටමින් D ඌනතාව ඔබ කොවිඩ් 19 රෝගයෙන් දැඩිව රෝගාතුරවීම වැළැක්වීමට ආධාරයක් වීමට හෝ නොවීමට පුළුවන් වුණත් කොවිඩ් 19 නිසා ඔබ දැඩිසේ රෝගාතුර වීම කෙරෙහි බලපෑමක් ඇති විය හැකි බවයි. කොවිඩ් 19 අවදානම සම්බන්ධයෙන් විටමින් D ඌනතාවය යම් කාර්යභාරයක් ඉටුකරන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත්වෙන බව වඩාත් මෑතක චිකාගෝහි දී සිදුකළ අධ්‍යනයක්ද දක්වා තිබුණි.
කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂක බලපෑමක් ඇත්ද නැද්ද යන්න නොසලකා විටමින් D පරිපූරකයන් ගත යුතු බව මේවායින් පැහැදිලි කර ඇත. අනෙක් අතට කොවිඩ් ආසදනයේදී විටමින් D මගින් යම් වාසියක් අත්පත් විය හැකි බවට British Medical Journal සඟරාවට ලිපියක් සපයන වෛද්‍ය විශේඥයන් කිහිප දෙනෙක්ම එකඟත්වය පළකර සිටිති. කොවිඩ් 19 සමයේ නිවසට වී සූර්යයා ලෝකයෙන් ඈත්ව ගත කිරීම නිසා මෙම වසංගතයේ දී විටමින් D ඌණතාවය තවත් උග්‍ර කිරීමට බලපාන බව ඔවුහු පෙන්වා දෙති. සී විටමින් පිළිබඳව මෙන්ම සින්ක් වැනි අත්‍යවශ්‍ය ඛණිජලවණ සම්බන්ධයෙන්ද මේ අදහස පොදුය.
මේ වනවිට කොවිඩ් 19 මර්දනයට විටමින් - සී, වැදගත් බවටද මතයක් තදින්ම පැතිර තිබේ. සී - විටමිනය හෙවත් ඇස්කොබික් අම්ලය ප්‍රතිශක්තිය වැඩීමට, හානි වූ පටක වර්ධනයට මෙන්ම අසාත්මිකතා සහ ලෙඩරෝග වලින් වැළකීමට යහපත්ව ක්‍රියා කරන සුපිරි පෝෂකයක් බව පරීක්ෂණාත්මකව ඔප්පු කර තිබේ. මේ නිසා විටමින් - සී පෙති තොග වශයෙන් මිලදී ගන්නවාට අමතරව, විටමින් සී වැඩිපුර ඇති බවට ප්‍රසිද්ධ දොඩම්, නාරං, ලෙමන් ඇතුළු පැඟිරි කුලයේ පළතුරු වැඩියෙන් මිලට ගැනීමේ සහ භාවිත කිරීමේ සම්භාවිතාවක් පැතිර ගොස් ඇත. නමුත් මෙයද මිත්‍යාවකි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැතැයි කතාවක් තිබේ. මේ ගැන කියන්නට ඇත්තේද එයයි.
සාමාන්‍යයෙන් පිරිමියකුට දිනකට අවශ්‍ය විටමින් සී ප්‍රමාණය මිලිග්‍රෑම් 90කි. කාන්තාවකට නිර්දේශිත ප්‍රමාණය මිලිග්‍රෑම් 75කි. දුම්පානය කරන අයෙක් නම් තවත් මිලිග්‍රෑම් 35ක් වැඩියෙන් ගැනීම සුදුසුය. ඔබ මිලිග්‍රෑම් 100- 180 දක්වා භාවිතා කළහොත් එයින් සිරුරට උරා ගන්නේ සියයට 70ත් -90ත් අතර ප්‍රමාණයකි. ඉතිරිය සිරුර ජලයෙන් සෝදා හරියි. ඉතින් මේ වෙනුවට ග්‍රෑම්1 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් භාවිත කළහොත් සිරුරට විටමිනය උරා ගැනීම සියයට 50කින් පමණ පහළ වැටෙන බව තහවුරු කර තිබේ. මේ නිසා විටමින් සී භාවිත කළ යුත්තේද පමණ දැනගෙනය. වැඩියෙනුත් නොව අඩුවෙනුත් නොව නිසි පමණටය. වැඩි හරිය සිරුර ඉවත්කර දමනවා මදිවාට ඒහේතූ කොට පාචනය, වමනය වැනි අතුරු ආබාධ පවා ඇති විය හැකිය.
ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාකරන්නේ සී හෝ ඩී හෝ වෙනයම් විටමින් මත විතරක්ම නොවේ. එහි යහපත් ක්‍රියාකාරීත්වයට ප්‍රෝටීන. කාබෝහයිඩ්රේට, මේදය, තන්තුමය ද්‍රව්‍ය, විටමින් ඒ, ඊ, ඩී, කේ, සහ බී සංකිර්ණයට අයත් විටමින සහ ඛණිජ ලවණ නියමිත ප්‍රමාණයට ඇති එකතුවක් සහිත සමබල අහාර වේලක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි. මේ මොහොතේ අනුගමනය කළ යුතු වඩාත් නුවණට හුරු ආරක්ෂක පිළිවෙත වන්නේ ඒ කාරණාව අනුව කටයුතු කිරිමයි.
සුගත් පී. කුලතුංගආරච්චි