දැක්කම ආස හිතෙන මල් කළඹක් චොක්ලට් එක්ක කාන්තා පාර්ශ්වයට කිසිවකුගෙන් හෝ ලැබුණොත් ඇය කුමන තරාතිරමක සිටියද කුමන සමාජයක් නියෝජනය කළද කාන්තා ගති එළියට ඒම වළක්වන්න මෙලොව කිසිවෙකුට හැකිවෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ අපූරැ සිදුවීමක් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් අපේ රටේ ඉපදී ඩුබායිහි හැදී වැඩී බොලිවුඩයේ තම නම බබළවමින් ඉන්න ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස්ටත් සිදුවෙලා තියෙනවා. ඒ නිසාම ඇයට අගෝස්තු 30 වැනිදා ඉන්දියාවේ විමර්ශන නිලධාරීන් හමුවේ මූල්‍ය විශුද්ධිකරණය සහ වංචා සිදුකිරීම් සිද්ධියක වින්දිතයෙක් විදියට සාක්ෂි ලබාදීමට සිදුවෙලා තියෙනවා.
මෙම මූල්‍ය විශුද්ධිකරණය සිදුකරන ලද ප‍්‍රධාන සැකකරුවා මේ වනවිටත් තිහාර් බන්ධනාගාරයෙහි බන්ධනාගාරගතව මුදල් විශුද්ධිකරණය, වංචා සිදුකිරීම සහ කප්පම් ගැනීමේ චෝදනා යටතේ දඬුවම් විඳිමින් සිටින අයෙක්. ඔහු නමින් සුකේෂ් චන්ද්‍රසේකර්. ඔහු බන්ධනාගාරගතව සිටියදී ප‍්‍රභූවරයෙක් ලෙස පෙනී සිටිමින් ජැකලින් සමඟ දුරකථනයෙන් කතා බහකොට තියෙනවා. සුකේෂ් තම හවුල්කාරිය ලීනා පෝල් මගින් ජැකලින් අඳුනාගෙන දුරකථන ඇමතුම් මගින් ඇය සමග හිතවත්ව ඇයට වටිනා මල් කළඹ සහ චොකලට් එවා තියෙනවා. සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකලින් මෙන්ම ලීනා පෝල්වද තම මූල්‍ය අපරාධ සඳහා රැවටීමට ලක්කොට යොදාගෙන ඇති බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කොට තියෙනවා.
ජැකලින් මේ කෝටි 200ක මූල්‍ය විශුද්ධිකරණ ජාවාරමේ ගොදුරක් වී ඇති අතර මෙහිදී සාක්ෂිකරුවෙක් විදියට ඇයගෙන පැය පහක් පමණ කාලයක් ඉන්දියාවේ දිල්ලියෙහි මූල්‍ය අපරාධ ඒකකය විසින් ප‍්‍රශ්න කොට තියෙනවා. දිල්ලිවල මූල්‍ය අපරාධ ඒකකය විසින් සුකේෂ්ගේ වාහන, බංගලා සහ ඔහුගේ වටිනා දේපළ රාජසන්තක කොට තිබෙනවා. මූල්‍ය වංචා සහ කප්පම් ලබාගැනීම සම්බන්ධයෙන් සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් ඉන්දීය මූල්‍ය අපරාධ මැඩලීමේ ඒකකය විසින් දිගින් දිගටම ප‍්‍රශ්න කොට ඇති අතර මෙම නඩුවට අදාළ පළමු පැමිණිලිකරු වූයේ පූර්ව ප‍්‍රචාරකයෙක් විදියට කටයුතු කළ ශිවිංදර් සිංගේ බිරිඳ විසින් කෝටි 200ක මුදල් කප්පම් ගනීමෙ චෝදනාවක් යොමු කිරීමය. ඉන් අනතුරුව තවත් හිටිය පූර්ව ප‍්‍රචාරකයකු වන මල්වින්දර් මෝහන්ගේ බිරිඳ විසින්ද සුකේෂ්ට එරෙහිව කප්පම් ගැනීමක් ගැන චෝදනා කොට පැමිණිල්ලක් සිදුකොට නඩුවක් ගොනුකොට තිබුණි. ඊට අමතරව මේ වනවිටත් සුකේෂ්ට එරෙහිව පැමිණිලි රාශියක් ලැබෙමින් පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කොට තියෙනවා.
සුකේෂ් තම මූල්‍ය වංචා සිදුකිරීම සඳහා ජැකලින්ට පෙරාතුව යමී ගෞතම්වද යොදාගෙන තිබූ අතර ඇයගෙන් මීට දින කිහිපයකට පෙරාතුව ඉන්දීය මූල්‍ය අපරධ මැඩලීමේ ඒකකය විසින් ප‍්‍රශ්න කොට තියෙනවා. ජැකලින්ට අමතර සුප‍්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙක් සහ සිනමාපට නිෂ්පාදකයෙකුද සුකේෂ්ගේ අපරධ වලට යොදා ගැනීම සඳහා ඔහු විසින් ඉලක්ක කොට තිබී ඇති බව මේ වනවිට සොයාගෙන තියෙනවා. ආරක්ෂක හේතූන් මත විමර්ශනය සිදුකරන නිලධාරීන් නළුවාගේ නම ජනතාවට හෙළි කිරීම ප‍්‍රතික්ෂේප කර තියෙනවා.
ජැකලින් තම පෞද්ගලික බැංකු ගිණුම උපයෝගී කර ගනිමින් බලධරීන්ට වසන් කරමින් රුපියල් කෝටි එක හමාරක පමණ විදේශ මුදල් ගනුදෙනු සිදුකිරීම හේතුවෙන් ඇයගෙන් ඉන්දීය මූල්‍ය අපරාධ මැඩලීමේ ඒකකය විසින් ප‍්‍රශ්න කොට තියෙනවා.
කුලී නිවාසයක දිවි ගෙවූ ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස් මෑතකදී මුම්බායිහි සුඛෝපභෝගී නිවාසයක පදිංචි වීමට ගොස් තිබෙනවා. කෝටි හතක් පමණ වටිනා මෙම නව නිවෙස ජනප‍්‍රිය නිළි ප‍්‍රියංකා චොප්රාට අයත්ව තිබූ නිවෙසක් වන අතර ජැක්ලීන් තම පෞද්ගලික යූ ටියුබ් නාලිකාවේ මේ මන්දිරයේ පදිංචි වීමට යෑම ගැන බ්ලොග් එකක්ද සිදුකොට තියෙනවා.
ජැක්ලින් මේ වනවිට සායිෆ් අලි ඛාන්, අර්ජුන් කපූර් සහ යමී ගෞතම් සමග “භූත් පොලිස්” සිනමාපටයෙහි ප‍්‍රවර්ධන කටයුතුවල නිරත වෙමින් සිටින අතර මේ සිනමාපටය සැප්තැම්බර් 17 වැනිදා ඩිස්නි ප්ලස් හොට්ස්ටාර්හිදී තිරගත වීමට නියමිතය. එයට අමතරව ජැක්ලින්, රන්වීර් සිං සමඟ ‘‘සර්කස්’’ සිනමාටයෙහිත් ජෝන් ඒබ‍්‍රහම් සමඟින් ‘‘ඇටෑක්’’ සිනමාපටයෙහිත් ආක්ෂය කුමාර් සමග ‘‘බච්චන් පාණ්ඩේ’’ සහ ‘‘රාම් සේතු’’ සිනමාපටවලින් දැක ගැනීමට ඇයට ආදරය කරන ඇයගේ රසික රසිකාවියන්ට ඉඩ සැලසෙනු ඇත.
චන්දන වරාවිට