2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ලංකාව ඉහළටම එසවූ රත්තරන් දිනේෂ්

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප‍්‍රියන්ත, ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේදී ශ‍්‍රී ලංකාව ධරණීතලයේ පවතින තාක් කල් නොමැකෙන ලෝක වාර්තාවක් පිහිටුවමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

ඔහු ජයග‍්‍රහණය හිමිකර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ධජය ටෝකියෝ බිම එලා දණ ගසා ගෞරව දැක්වීමෙන් රටට ආදරය කරන තරම ප‍්‍රදර්ශනය කළ අතර පදක්කම් පැළඳීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීය විකාශය වූ අවස්ථාවේදී සමස්ත ලෝකයේ වෙසෙන කෝටි ගණනක ශ‍්‍රී ලාංකිකයන්ට මහත් ආඩම්බරයක් ගෙන දුන්නේය.

”මෙය මගේ පෞද්ගලික ජයග‍්‍රහණයක් පමණක් නොව ශ්‍රී ලංකා පැරා ක‍්‍රීඩකයන් සතු ශක්තිය ලොවට පෙන්නුම් කළ අවස්ථාවක්. මේ ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයේදී මට දැනෙන හැඟීම විස්තර කරන්න වචන නැහැ. මේ පදක්කමේ වැඩි ගෞරවය මගේ බිරිඳට හිමිවිය යුතුයි.’’ යැයි රන් පදක්කම සිප ගනිමින් දිනේෂ් පැවසීය.

මෙම ලෝක වාර්තාව ශ‍්‍රී ලංකාව මළල ක‍්‍රීඩාවෙන් බිහි කළ පළමු සහ එකම ලෝක වාර්තාව වීම කැපී පෙනේ.

යුද හමුදා ආබාධිත රණවිරුවකු වන දිනේෂ් මෙවර පැරාලිම්පික් උළෙලේ ‘එෆ් 46’ කාණ්ඩය හෙවත් එක් අතක් වැළමිටෙන් පහළ අක‍්‍රීය හෝ එම කොටස අහිමි කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර 67.79ක දුරක් විසි කරමින් ලෝක වාර්තාවක් පිහිටුවා එහි පැරණි ලෝක වාර්තාවේ හිමිකරු වූ ඉන්දීය ක‍්‍රීඩක දේවේන්ද්‍ර බලා සිටියදීම ටෝකියෝ ක‍්‍රීඩාංගණයේ මීටර් 67 සීමාව ද පසුකිරීම මෙහිදී වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත් විය.

එච්.එම්. ලොකුබණ්ඩා සහ වයි.එම්. කමලාවතී යුවළගේ දෙවැනි දරුවා ලෙස දිනේෂ්, වැව්බැඳි රාජ්‍යයේ අනුරාධපුරයේ කාගමදී 1986 ජූලි 15 වැනිදා උපත ලැබීය. කාගම ධාතුසේන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දිනේෂ් දොළොස් වැනි වියට පා තබත්ම ඔහුගේ පියා මිය යාම නිසා ඔහුගේ ළමා අවදිය එතරම් සුන්දර එකක් නොවීය. පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දිනේෂ් කුඩා කල සිටම මව සමඟ ගොවිතැන් කටයුතුවල නිරත විය.

කුඩා කල සිටම රට වෙනුවෙන් විශාල ඇල්මක් දැක්වූ දිනේෂ් 2004 වසරේ ශ‍්‍රී ලංකා යුද හමුදාවට එක්විය. ඒ වන විට යාන්තම් 18 වැනි විය සම්පූර්ණ කර සිටි දිනේෂ් පුහුණුවෙන් පසු 3 වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව යුද පිටියට පිවිසියේය. මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී කිලිනොච්චියේදී දිනේෂ් 2008 දෙසැම්බර් 16 වැනිදා ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි ප‍්‍රහාරයකින් තුවාල ලැබීය. එහිදී පතරොම් තුනක් දකුණු අත පසාරු කරගෙන යාමෙන් බරපතළ ලෙස තුවාල ලබන දිනේෂ් වසර හතරක කාලයක් රාගම රණවිරු සෙවණේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබීය. තුවාල සුව වීමෙන් පසුව කෝප‍්‍රල්වරයකු වූ දිනේෂ් ප‍්‍රියන්ත ආබාධිත තත්ත්වය හේතුවෙන් යුද හමුදාවෙන් විශ‍්‍රාම ලැබීය. 

ශ‍්‍රී ලංකා මාතාවගේ වාසනාවට ගජබා රෙජිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව දිනේෂ් 2012 වසරේදී පැරා මළල ක‍්‍රීඩකයකු ලෙස ගජබා රෙජිමේන්තුවට නැවත එක් විය. 

‘‘මම 2012ට පෙර ක‍්‍රීඩා කරලා තිබුණේ නැහැ. මම හෙල්ල විසි කිරීමේ ඉසව්වට සුදුසු බව තීරණය කළේ මගේ රෙජිමේන්තුවේ සර්ලමයි. මම කැපවීමෙන් හා ධෛර්යයෙන් මගේ ආබාධිත බව නොතකා ඒ කටයුතුවල නිරත වූ නිසා මේ තරම් දුරක් එන්න ලැබුණා. ක‍්‍රීඩාව මගේ ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කළා. තුවාල ලැබීමෙන් පසු මට ජීවිතයේ නව මානයක් පෙන්නුම් කළේ ක‍්‍රීඩාවයි. ඔලිම්පික් රන් පදක්කම මගේ ප‍්‍රධාන සිහිනයක් වුණා. මට ඒ සඳහා මාවත විවර කළෙත් ක‍්‍රීඩාවමයි” යැයි දිනේෂ් පැවසීය.

එම ආරම්භයත් සමඟ දිනේෂ් 2014 වසරේ සිට කැපී පෙනෙන වර්ධනයක් ප‍්‍රදර්ශනය කරමින් 2016 රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මෙම ඉසව්වේම ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය. 

මෙවර ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගී වූ ක‍්‍රීඩකයන් නව දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දැරූ දිනේෂ් තරගාවලියට පිටත්ව යෑමට පෙර පැවසුවේ රන් පදක්කම දිනාගන්නා බවයි. කෙසේ වෙතත් රිදී සහ ලෝකඩ පදක්කම දිනූ ඉන්දීය ක‍්‍රීඩකයන් දෙදෙනාගේ දස්කම් පිළිබඳව දැනුවත්ව සිටි බොහෝ දෙනෙක් දිනේෂ්ගේ ප‍්‍රකාශය එතරම් තැකීමක් නොකළහ. 

මෙවර රිදී පදක්කමින් සෑහීමට පත්වීමට සිදුවූ ඉන්දීය ක‍්‍රීඩක දේවේන්ද්‍ර 2016 වසරේ පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 63.79ක දුරක් විසි කරමින් පැරණි ලෝක වාර්තාව පිහිටුවා තිබීම එයට හේතු විය.

දිනේෂ්ගේ ආදරණීය බිරිද ඉසංකා මධුවන්ති සිය සැමියාගේ ජයග‍්‍රහණය මෙසේ වචන බවට පරිවර්තනය කළාය.

”මහත්තයා ටෝකියෝ ගියේ රන් පදක්කම දිනනවාමයි කියලයි. එයා ඒක ගොඩක් විශ්වාසයෙන් කිව්වා. අපි හැමෝගෙම ආශිර්වාදයත් ඒකට තිබුණා. එයා දරුවන්ටත් හැම වෙලාවෙම කිව්වේ හැම වෙලාවෙම අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න. එතකොට කවදාවත් පරදින්නේ නෑ කියලා. ඉතින් එයා ඒ ආදර්ශය දුන්නා. මගේ මහත්තයා අද අපේ දුෂ්කර ගම රට ලෝකයේ ඔසවා තැබුවා. ඒ ගැන මට හරිම ආඩම්බරයි. දිනේෂ් පුංචි කාලේ ඉඳලම බොහොම දුක් විඳපු කෙනෙක්. එයා ඉලක්කයක් හෝ අරමුණක් ගත්තොත් ඒ ඉලක්කයට යනවාමයි. වෙඩි වැදිලත් එයා කිලෝමීටර් ගාණක් තනියම ඇවිත් තියෙනවා. ඒ අතින් එයාගේ හිත හරි ශක්තිමත්. එයා ලබපු මේ ජයග‍්‍රහණය රටට ආඩම්බරයක්. බිරිඳ ලෙස මගේ සැමියා රටට ගෙනාව මේ ගෞරවය ගැන මම ඉතාමත් සතුටු වෙනවා.”

සමිත දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්

දිනේෂ් පදක්කම දිනූ පසුගිය 30 වැනිදා පස්වරුවේ සමිත දුලාන් කොඩිතුවක්කු ‘එෆ් 64’ කාණ්ඩය හෙවත් දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.
මෙහිදී සමිත මීටර් 65.61ක් විසි කරමින් සිය පෞද්ගලික ඉහළම දස්කම් වාර්තා කිරීම කැපී පෙනුණි. මීට පෙර ඔහුගේ ඉහළම දස්කම් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී 2018 වසරේ පැවැති ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලේදී වාර්තා කළ මීටර් 58.38 පැවතුණි. 31 හැවිරිදි සමිත දුලාන්, මාතර දෙනියාය ප‍්‍රදේශයේ උපත ලැබූවෙකි.

දිනේෂ් ප‍්‍රියන්ත ඇතුළු පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන අඟහරුවාදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ පැමිණීමෙන් අනතුරුව ප‍්‍රියන්ත කෝටිපතියකු කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය සූදානමින් සිටියි.
දිනේෂ් ප‍්‍රියන්තට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5ක් හෙවත් රුපියල් ලක්ෂ 500ක මුදල් ත්‍යාගයක් ද, සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක්ද, ප‍්‍රියන්තගේ පුහුණුකරු වන ප‍්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක (16500000) මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එදිරිසූරිය මහතා තහවුරු කළේය.

 සටහන: යොහාන් භාසුර