2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

කොවිඩ් ලෙඩකුට බැරිම තැන දෙන ටොසී!

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

කොවිඩ් රෝගීන්ට අත්‍යවශ්‍ය යැයි කියනා “ටොසී” නමැති ඖෂධය පිළිබඳ තදබල කතාබහක් පසුගිය සතියේ ඇතිවිය. ටොසී යන කෙටි නාමයෙන් සමහරු හඳුන්වන Tocilizumab, හෙවත් සිරුරේ Interleukin 6 (IL-6) ප්‍රෝටීනමය සංයෝගයන් නිෂේධනය කරන  ඖෂධ කාණ්ඩය මගින් සිදුවෙන ක්‍රියාවලිය ගැන සොයා බැලීමට මේ හොඳම කාලය වී ඇත්තේ එහෙයිනි.

වෛරසයක්, බැක්ටීරියාවක් හෝ එවැනි ආගන්තුක විෂබීජයක් නාසය හා මුඛය ආශ්‍රිතව   අප ශරීරයට ඇතුළු වූ පසු මුලින්ම උගුර හෙවත් ග්‍රසනිකාව පෙදෙසේ සෛල ආක්‍රමණය කරයි. කොවිඩ් වෛරස ඇතුළු වන්නේද එසේමය. ඉන්පසු මේ වෛරසය ඒ සෛල තුළට ඇතුළුවීම සිදුව. එහිදී වෛරසය ගුණනය වී සංඛ්‍යාවෙන් වැඩිවී පෙනහලු දක්වා  පැතිර යයි. 

ඒ අන්දමට අපේ ශරීරයට කොවිඩ් වෛරසය වැනි ආගන්තුක දෙයක් ඇතුළු වූ විට එයට විරුද්ධව ක්‍රියාකරන අපේ සහජ ප්‍රතිශක්තිය අනුව එන්සයිම, රසායනික ද්‍රව්‍ය හා භක්ෂක සෛල රාශියකට එතැනට එන්න කියා පණිවිඩයක් නිකුත් ‌ෙකරේ. මේ පණිවුඩය යවන්නේ සයිටොකයින් නැමැති රසායන පණිවිඩකරුවෙකි. එබඳු රසායන පණිවිඩකරුවෙක් ලෙස Interleukin 6 (IL-6 ) හැඳින්විය හැකිය. එය වසා සෛලවලින් නිකුත් කරන සංයෝගයෙකි. මෙය මුලදී ශරීරයේ යහපතට ක්‍රියාකරතත්, ඒ අතරම  ඒවායින් උණ ගතිය, උගුර, ඇඟ රිදීම වැනි අපහසුතා ඇතිකරයි. පසුව එය විසින්  රැගෙන එන මේ උදව්කරුවෝ වැඩි වුණොත් ඒ උදව්කාරී සංයෝග එතැනට වැඩිවී රුධිර නාල බිත්ති වලින් දියර පෙරී පෙනහලු තුළ දියර එකතුවීමටද හැකිය. පෙනහලුවල ප්‍රදාහ තත්ත්වයක් ඇතිවී ගර්තවලට හානි කරමින් ගර්ත හා පෙනහලු කේශනාලිකා අතර හිඩැස හයලයින් නම් සංයෝගයකින් පුරවා රුධිර කැටි තනා ඔක්සිජන් හුවමාරුවටද ඒවා එවිට බාධා කරයි. 
එලෙසම පෙනහලු හැරුණුකොට වෛරසය ඇතුළුවන මොලය, වකුගඩු, හෘදය, ස්නායු වැනි වෙනත් ඉන්ද්‍රියන්හි සෛලවලද මෙලෙසම රුධිර කැටි සෑදී හානි කරයි. 

සමහර අය තුළ මෙලෙස අධිකව සයිටොකයින් ගලා එයි. එවිට ඉහත කී ගැටලුකාරී තත්ත්වය ඇතිවේ. ඒ තත්ත්වය හඳුන්වන්නේ සයිටොකයින් කුණාටුවක් ලෙසටය. ඒබඳු විටෙක මේ සයිටොකයින් නතර කර නොදැම්මොත් පෙර කී පරිදි මහා විනාශයක් සිදුවනු ඇති. මේ අන්දමට සයිටොකයිනින් කුණාටු නතර කිරිමට සමත් ප්‍රධාන සංයෝගයක්, හෙවත් නිෂේධකයක් හැටියට “ටොසී” හඳුන්වා දිය හැකිය.

ටොසීවල ක්‍රියාකාරීත්වය මගින් ශරීරයේ ආරක්ෂක යාන්ත්‍රණය පණ ගන්වන නිසා එය එම යාන්ත්‍රණය බල ගන්වන සයිටොකයිනින් මුදාහැරිම නිශේධනය සඳහා යොදාගත යුත්තේ නිසිකලට නිසිවේලාවට පමණ දැනගෙනය. හිතුමතේ ටොසි භාවිත කළහොත් ඇඟේ කිසිදු ප්‍රතිශක්තියක් නොමැතිව රෝගියා මිය යන්නට වුවද හැකිය. මේ නිසා  ටොසී හරි වෙලාවට දුන්නොත් නම් අමාරු නොවී ලෙඩා බේරාගන්නට හැකිය. මේ නිසා ටොසී ගැන මොන අන්දමේ ප්‍රලාප හඬ නැගුවත් හිතුමතයේ ටොසි භාවිතය අනතුරුදායකය. කොවිඩ් රෝගීන් සඳහා මෙය ඉතාමත් අසීරු අවස්ථාවකදී පමණක් භාවිතා වන්නේ මේ නිසාය.

මේ ටොසී අලුත් එකක් නොවේ. විවිධ ආතරයිටිස් රෝග සඳහා වෛද්‍ය නිර්දේශ මත සෑහෙන කාලෙක සිට කුඩා ප්‍රමාණ ලෙස ශරීරයට ලබාදුන් ඖෂධයකි. රුමැටොයිඩ් ආතරයිටිස් මෙන්ම “ස්ටිල්රෝගය” ලෙස හැඳින්වෙන ආතරයිටිස් රෝගයටද පෙනහලු අක්‍රිය වීමට බලපානා scleroderma රෝගයේ යම් අවස්ථාවලදීද මේ ඖෂධය නිර්දේශ කෙරෙයි. 

මේ ඖෂධයේ මිල ඉතා අධිකය. කුප්පියක් ලක්ෂ එකහමාරක් දෙකක් පමණ වේ. විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ කියන හැටියට අපේ රටේ ලෙඩෙකුගේ බරප්‍රමාණය  හැටියට මෙයින් 1 කුප්පියක් සේලයින් සමඟ පැය 8කට වරක්වත් දීමට සිදුවේ. අමාරුව අඩුවන තුරු දවසක් දෙකක්වත් ඒ ලෙස ලබා දිය යුතුව ඇත. එය සාමාන්‍යයෙන් පැයක පමණ කාලයක් හිමින් සීරුවේ එකදිගට ශරීරයට ලබා දෙන්නකි. වෙනත් ප්‍රබල ඖෂධවලදී මෙන්ම ටොසි භාවිතයෙදීත් ඉක්මනින් වෙනත් රෝග වැළඳීම, අක්මා රෝග,  උදරය හා බඩවැල් ආශ්‍රීත රෝග වැනි වෙනත් අතුරුඵල රාශියක් තිබෙන නිසාම ටොසී බැරිම තැන අවසාන විසඳුමක් ලෙස භාවිතයට ගැනීමට වෛද්‍ය නිර්දේශය ලැබෙන  ඖෂධයකි. මෙලෙස කොවිඩ් 19 සඳහා ටොසී භාවිතා වන්නේද කොවිඩ් නියුමෝනියාව බරපතල වූ විටදීය. ඒ වෛද්‍ය අධීක්ෂණය යටතේය.

 සුගත්  පී. කුලතුංගආරච්චි