වසර එකහමාරකට අධික කාලයක සිට ශ්‍රී ලාංකික ජනතාව ඉතා පීඩාවට පත් කළ කොවිඩ් වසංගතයේ තවමත් අඩුවක් නැත. රට දින ගණනාවක් වසා තැබුවද සෞඛ්‍ය අංශය බලාපොරොත්තු වූ පරිදි ආසාදිතයන්ගේ සහ මිය යන රෝගීන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් දක්නට නොමැත. මේ අතර සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන් ආසාදිතයන් වීමේ වර්ධනයක්ද දකින්නට ඇති අතර මේ වන විටත් සෞඛ්‍ය අංශයේ කිහිප දෙනෙක් කොවිඩ් මරණ අතරට එක්වී සිටිති.
මේ වන විට පොදුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 6,500 – 7,000 සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. මේ වසංගතයත් සමඟ විශේෂයෙන් රෝහල් පද්ධතිය ආරක්ෂා කරගත යුතු වෙනවා. සෑම රෝගියකුටම ප්‍රතිකාර ලබා දෙන්නට නම් සෞඛ්‍ය අංශයේ සෑම කෙනකුම නිරෝගීව සිටිය යුතුයි. නමුත් මේ වන විට සෞඛ්‍ය අංශයද මේ ආසාදිත එකතුවට එක්වෙමින් තියෙනවා. මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදයේ ගැටලු ගණනාවක් පවතිනවා. සෞඛ්‍ය අංශය ආසාදිතයන් වීමට පටන්ගත් දා සිට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කණ්ඩායම් මුර සේවයක් ලබා දෙන්නයැයි යෝජනා කළා. එය අපිට ලබාගන්න සිදුවුණෙත් උද්ඝෝෂණයක් කරලයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොටස් දෙකකට හෝ තුනකට බෙදා වෙන්කර එයින් එක් කණ්ඩායමක් රෝහල්වල තම රාජකාරිය කරන අතර අතින් කණ්ඩායම හෝ දෙක රාජකාරියෙන් පිටත සිටිනවා. යම් හෙයකින් එක් වාට්ටුවක සෞඛ්‍ය සේවකයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයන් බවට පත් වුණොත් ඒ කණ්ඩායම නතර කොට අනිත් කණ්ඩායමකින් රෝහලේ රාජකාරි කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඒ යෝජනාව අපි අමාත්‍යාංශයට ඉදිරිපත් කළා. ඒ අනුව පොදුවේ මාසයකට දින අටක් විශේෂ නිවාඩු ලබාදීමට චක්‍රලේඛයක් ඉදිරිපත් වුණා. යම් කාලයක් යද්දි මෙය මේ ලෙසට පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණා. යැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි දේශයට පැවසූහ.
එය එලෙස පවත්වාගෙන යාමට නොහැකි වූයේ පොදුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල හිඟයක් පැවතීම හේතුවෙනි. කොවිඩ් වසංගතය මෙරට ව්‍යාප්ත වීමටත් පෙර හෙද කාර්ය මණ්ඩලයේ 9420ක පුරප්පාඩු පැවතිණි. එවැනි පුරප්පාඩු පවතිද්දී පවා රෝහල් පවත්වාගෙන යාමට සිදුවිය. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 6300ක පමණ පුරප්පාඩු පවතී. කාර්ය මණ්ඩලයේ 15,000ක පමණ පුරප්පාඩු පවතී. මෙවැනි පුරප්පාඩු රාශියක් මැද සේවය කරන කාර්ය මණ්ඩලයට මෙම පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් අලුතින් බඳවා ගන්න යැයි අදාළ නිලධාරීන් වෙත පැවසුවද ඒ සම්බන්ධව නිවැරදි තීරණයක් නොගත් බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.
&කොවිඩ් හතරවැනි රුල්ලේදී බස්නාහිර පළාත්වල ඇති රෝහල්වල සෞඛ්‍ය සේවක සේවිකාවන් ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන් වීමට පටන් ගත්තා. කොළඹ ජාතික රෝහලේ පමණක් මේ වන විට සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයේ හයසීයක් හත්සීයක් අතර සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. මේ වන විට දෙසීයක් පමණ දෙනා ආසාදිතයන් වී නිරෝධායනය වෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය වැඩි වශයෙන් ආසාදිතයන් වුණේ රාගම ජාතික රෝහල තුළයි. එහි දෙසිය පනහක් වැනි ප්‍රමාණයක් මේ වන විටත් ආසාදිතයන් වී නිරෝධායනය වෙනවා.* යැයි සුගතානන්ද හිමි පැවසූහ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියේ නියුතු සියලු දෙනාටම නිල නිවාස නොමැත. ඈත දුෂ්කර පළාත්වල ජීවත් වන බොහෝ පිරිසක් මෙම රෝහල් පද්ධතිය තුළ සේවය කරති. මේ බොහෝ දෙනා තම රාජකාරි කටයුතුවලට පැමිණෙන්නේ කුලී නිවෙස්වල සිටය. ඇතැමුන් තම රාජකාරියට පැමිණෙන්නේ කුඩා බෝඩිම් කාමරවල සිටය. එවැනි සේවකයකු ආසාදිත වීමෙන් පසුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැති වීමෙන් ඔවුන්ට රැඳෙන්නට තිබෙන ස්ථානවල ගැටලුවක් මතුවේ. ඇතැම් කුලී හිමිකරුවෝ, බෝඩිම් හිමිකරුවෝ මෙවැනි ආසාදිතයන් නිවෙසේ නිරෝධායනය කර ගැනීමට මැලි වෙති. ඇතැම් කුඩා බෝඩිම් කාමරවල තුන් දෙනකු හෝ හතර දෙනෙක් රැඳී සිටිති. එවැනි කෙනකු ආසාදිතයකු වීමෙන් පසුව බෝඩිම් කාමරවල නිරෝධායනය වීමට නොහැක. මේ අය රෝග වාහකයන් බවට පත් කරන්නේද සමාජය විසිනි.
&රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදහස් පන්සීයක් පමණ ස්ථිර නොවුණු සේවක කණ්ඩායමක් රාජකාරීවල නිරත වෙනවා. ස්ථිර කිරීමට නියමිත කාලය පසු වුවද මධ්‍යම රජයේ රෝහල්වල 1428ක් ස්ථිර නොවුණු සේවකයන් ඉන්නවා. සබරගමු පළාතේ හත්සීයක පමණ සංඛ්‍යාවක් අවුරුදු හයක් සේවය කළත් ස්ථිර කළේ නැහැ. මේ අය ආසාදිත වූවායින් පසුව දවස් දා හතරක් නිරෝධායනය කළ යුතු වීමෙන් මේ දවස් ගාණට ඒ අයට ගෙවීමක් සිදු කරන්නේ නැහැ. මේ නිසා රෝහල්වල සේවක සේවිකාවන් ආසාදිත වීම හරහා බොහෝ ගැටලුවලට මේ සේවක පිරිසට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.* සුගතානන්ද හිමි කියති.
සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන් ආසාදිත වීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කළ යුතු වුවද මේ වන විට එවැනි පරීක්ෂණ කිරීමක් සිදු නොවේ. යම් හෙයකින් සෞඛ්‍ය අංශයේ නිලධාරිනියකගේ සැමියා ආසාදිතයකු වුවද ඇයට සේවයට වාර්තා කිරීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බව මෙම සංගමය චෝදනා කරයි. සැමට ඉතා සුඛෝපභෝගී නිවාස නැත. සෑම කාමරයකටම වෙන්වුණු සනීපාරක්ෂක පහසුකම් නැත. බොහෝ නිවෙස්වල ඇත්තේ නිවෙසේ සියලු සාමාජිකයන්ට පොදු වූ වැසිකිළි පහසුකම්ය. මේ නිසා නිවෙසේ ආසාදිතයකු සිටීමෙන් අනෙක් සාමාජිකයන්ට රෝගය ව්‍යාප්ත වීමේ ඉඩකඩ වැඩිය
මෙම වසංගතය තව මසකින් දෙකකින් අවසන් නොවේ. ආසාදිත ආශ්‍රිතයන් නතර වන්නේද නැත. සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ද බිල්ලට දිය නොහැක. ඔවුන්ටද යම් මානසික සහනයක් ලබාදිය යුතුය. මේ වන විට සේවකයන් දෙදෙනකු තුන් දෙනකු කරන රාජකාරිය එක් සේවකයකු කරන තත්ත්වයට පත්ව තිබේ. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට හා අදාළ නිලධාරීන්ට යෝජනා කරන්නේ මෙම පුරප්පාඩු සහිත හිඟ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉතා ඉක්මනින් අදාළ සේවක පිරිස බඳවා ගන්නා ලෙසය.
සුගතානන්ද හිමියෝ මෙසේද පැවසූහ.
වසංගතය ආරම්භ වීමත් සමඟ අප සංගමය යම් පිරිසකගේ මැදිහත් වීමෙන් ඉටිකොළවලින් මෙම ඇඳුම් ආවරණය මහලා සේවක පිරිසකට ලබා දුන්නා. පසුව විවිධ ස්වේච්ඡා සංගම් හා රටේ උදව් උපකාර කරන අය මැදිහත් කරගෙන ඒ ඇඳුම් ආවරණය සපයා දුන්නා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පරිහරණය කළේ N95 මුඛ ආවරණයි. බහුතරයක් රෝහල්වලට මේ අදාළ මුඛ ආවරණය ලැබුණේ නැහැ. අවුරුදු එකහමාරකට පසුව සෞඛ්‍ය ඇමැතිතුමිය එක් දිනකට එක මුඛ ආවරණයක් ලබා දෙන්න යැයි ලිඛිතව දැනුම් දුන්නා. රෝහල්වල කොවිඩ් වාට්ටු වගේම කොවිඩ් නොවන වාට්ටුත් තියෙනවා. ඇතැම් රෝහල්වල භෞතික සම්පත්වල හිඟතාවය නිසාම පවතින්නේ ලොකු අවදානමක. මේ වන විට N95 මුඛ ආවරණ කොහොමටත් ලැබෙන්නේ නැහැ. නිල් පැහැති මුඛ ආවරණය පාවිච්චි කළ හැක්කේ පැය හතරක් පමණයි. මේ වන විට ඇතැම් සේවකයන් එකදිගට දින දෙක තුන සේවයේ නිරත වෙනවා. දවසක් වැඩ කළත් මුඛ ආවරණයක් ලැබෙන්නේ උපරිම දෙකයි. ඒවා ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම අර්බුදයත් සෞඛ්‍ය සේවක කණ්ඩායමට දැඩි ලෙස බලපානවා.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව කොවිඩ් වසංගතයෙන් සෞඛ්‍ය සේවක සේවිකාවන් එකොළොස් දෙනෙක් මිය ගොස් සිටිති. ජීවිතක්ෂයට පත්ව ඇති වැඩි සංඛ්‍යාවක් වෛද්‍යවරු වෙති.
දිශානි ජයමාලි කරුණාරත්න