2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

චීන නොබෙල් ත්‍යාගය දිනූ ලාංකික මහාචාර්ය මලික් පීරිස්

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 97

චීන නොබෙල් ත්‍යාගය නමින්ද හඳුන්වන අනාගත විද්‍යා ත්‍යාගය ජාත්‍යන්තර කීර්තියට පත් ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතාට හිමිව තිබේ. 2003 වසරේදී සාර්ස් සහ මර්ස් යන වෛරස සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ හේතුවෙන් මලික් පීරිස් මහතා මෙම සම්මානය සඳහා තෝරාගෙන තිබේ.

ලංකාවේ කන්ද උඩරට 1949 නොවැම්බර් 10 උපත ලද ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය මලික් පීරිස් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි සිසුවෙකි. පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් වෛද්‍ය අධ්‍යාපනය නිම කළ ඔහු ව්‍යාධිවේදය සහ වෛරසවේදය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීමලත්  විශේෂඥයෙකි. මලික් පීරිස් මහතා වැඩි කාලයක් හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කර තිබෙන අතර කොවිඩ් වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ මලික් පීරිස් මහතාගේ නමද ලොව පුරා ප්‍රචලිත විය. ඒ කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ  සඳහා ඔහු දැක්වූ දායකත්වය හේතුවෙනි. හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ වෛරස අධ්‍යයන විද්‍යාව අංශයේ කටයුතු කරන මහාචාර්ය මලික් පීරිස් සහ ඔහුගේ කණ්ඩායම නව කොරෝනා වෛරසය හඳුනාගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර් යේෂණවල යෙදී සිටි පිරිසකි.

මහාචාර්ය මලික් පීරිස්, 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය වෙන්කර හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් සිදු කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා ලෙස විද්‍යාත්මක පර්යේෂණ ලෝකයේ කීර්තිමත් නමක් දිනා සිටීයි. ඉන් පසුව 2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර් යේෂණ සඳහා ද ඔහුගේ දායකත්වය ලැබිණි.

ලොව පිළිගත් විද්‍යාත්මක සඟරා තුළ පර්යේෂණ පත්‍රිකා 600කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම සම්මානයට අමතරව ඔහුට ප්‍රංශයේ ඉහළම සම්මානයක් වන Legion d’ Horner සම්මානයද හොංකොං හි වැඩිම කාලයක් සමාජය වෙනුවෙන් සේවාවක් සපයන පුරවැසියන් අගැයීම සඳහා පිදෙන ඉහළම ජාතික සම්මානය වන Silver Bauhinia Star සම්මානයද හිමිව තිබේ. එමෙන්ම මහාචාර්ය මලික් පීරිස් ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය ලද මුල්ම ශ්‍රී ලාංකිකයා වීමේ උපහාරයද හිමිකර ගත් අයෙකි. 

චීන රජය විසින් වාර්ෂිකව පිරිනමන මෙම අනාගත විද්‍යා ත්‍යාගය සඳහා මෙම වසරේදී මහාචාර්ය මලික් පීරිස් මහතා සහ චීන මහාචාර්යවරයකු වන යූන් ක්වොක් යුන්ග් මහතා තෝරාගෙන තිබේ. යූන් ක්වොක් යුන්ග් මහාචාර්යවරයාද හොංකොං විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ සේවය කරන්නෙකි.

කීර්තිමත් විද්‍යාඥයන්ගේ විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් 2016 වර්ෂයේ සිට චීනය විසින් අනාගත විද්‍යා ත්‍යාගය පිරිනැමීම ආරම්භ කළ අතර එය චීන නොබෙල් ත්‍යාගය ලෙසද පිළිගැනීමට ලක්ව ඇත. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, මෙන්ම  ගණිතය සහ පරිගණක විද්‍යාව යන විෂයයන්ට අදාළ විශිෂ්ටයන් හට මෙම සම්මානය පිරිනැමීම සිදුවෙයි. මෙවරද මහාචාර්ය පීරිස් සහ යූන් ක්වොක් යුන්ග් මහාචාර්යවරයාට අමතරව ගණිත සහ පරිගණක විද්‍යා සම්මානය මහාචාර්ය සීමොන් සෂේ හටද, භෞතික විද්‍යා සම්මානය ෂෑන්ග් ජී මහාචාර්යවරයාටද හිමිවිය. මෙම සම්මාන සමඟ අමෙරිකානු ඩොලර් මිලියනයක් බැගින් වූ ත්‍යාග මුදලක්ද හිමිවේ.

 සුගත් පී. කුලතුංගආරච්චි