2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ඉන්දියාව උන්මාද කළ ලංකාවේ මැණිකේ යොහානි

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 170

තරු ගුණයෙන් පිරුණු මිනිසුන් ලොවට බිහිවන්නේ හැකියාවද වාසනාවද උත්සාහයද ඔවුන් තුළට එක්තැන් වූ විටමය. යොහානි ද සිල්වා යන නම ඇසූ පමණින් මැණිකේ මගේ හිතේ යන ගීය මේ දිනවලදී ඔබට සිහිවෙනු නොඅනුමානය. යොහානි යනු මේ මොහොතේ ශ්‍රී ලාංකිය කලාව අතික්‍රමණය කළ සුපිරි තාරකාවියයි. මිනිත්තු දෙකයි තත්ත්පර හතළිස් අටක ගීතයක් ඇගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කොට තිබේ. පෙරදිග කලාවේ ක්ෂේමභූමිය වූ මහා භාරතයේ ජනතාව ඇයට උමතුවෙන් මෙන් ඇලුම් කරන්නට පටන්ගෙන සිටිති. භාරතයේ දැවැන්ත සිනමා පෞරුෂය අමිතාබ් බච්චන්ගේ සිට ඈත කේරළයේ පුංචි පැංචියන් පවා යොහානිගේ රසික රසිකාවියන්ය.

පසුගියදා යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීය යූ ටියුබයේ මිලියන සියයක නැරඹුම් වාර සංඛ්‍යාවක් සනිටුහන් කළේය. මෙය වූ කලී නූතන ඩිජිටල් ලෝකය තුළ ලාංකීය කලාකරුවකු ලද විශිෂ්ටතම ජයග්‍රණයයි. මිලියන විසි දෙකක ජනතාවක් වෙසෙන දූපත් රාජ්‍යයක දියණියක් මිලියන සීයක් වූ ජන සමූහයකගේ ආදරය දිනාගත්තේ කෙලෙසද, මෙම සිදුවීමේ ආර්ථික සමාජීය වටිනාකම කුමක්ද අපි විමසා බැලිය යුතුය. කලාකරුවා පිළිබඳ සාම්ප්‍රදායික මාධ්‍ය දෘෂ්ඨියෙන් බැහැරව අපි මෙම විමසුම සිදුකරමු.

යොහානි ද සිල්වා නම් තරුණ ගායිකාවගේ ජීවිත කතාව පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම මෙහිලා පළමුකොට වැදගත් වේ. මේ වනවිටත් බොහෝ දෙනකු දන්නා පරිද්දෙන් යොහානි යනු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීමේ මානුෂීය මෙහෙයුමේ 57 වැනි සේනාංකයට නායකත්වය ලබාදුන් විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ දියණියයි. ඇය සංගීතයට අත්පොත් තබන්නේ 2015 වසරේ මිතුරු මිතුරියන් කිහිප දෙනකුගේ සහායනි. ඇය යූ ටියුබ් අවකාශ තුළ ඉංග්‍රීසි ගීතවල කවර්ස් නිර්මාණය කරමින් සිය සංගීත චාරිකාව ඇරඹුවාය. ආසන්න කාලයේම උසස් අධ්‍යාපන වෙනුවෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට ඇයට සිදුවිය. ඕස්ට්‍රේලියාවට ගිය යොහානි සිය අධ්‍යාපන කටයුතු අතරතුර යූ ටියුබ් අවකාශ වෙනුවෙන් ගී ගැයීම විනෝදාංශයක් කොට ගත්තේය. මෙරට බොහෝ දෙනෙකු ඇය පිළිබඳ දැනගන්නේ දෙවියන්ගේ බාරේ නම් ගීයට ඈ නිර්මාණය කළ කවර් වීඩියෝව හරහාය. මෙම කාලයේදී රැප් සංගීතයට ඇගේ වැඩි නැඹුරුවක් දක්නට ලැබුණි. මේ සමගම යොහානි පිළිබඳ මෙරය සංගීත ක්ෂේත්‍රයේ සුළු කතාබහක්ද ඇතිවිය.

සිය උසස් අධ්‍යාපන විශිෂ්ට ලෙස අවසන් කර ශාස්ත්‍රපති උපාධියක්ද  සහිත ඇය ලංකාවට පැමිණියාය. එහෙත් සිය වෘත්තීය ජීවිතය සිය ලැදියාව වූ සංගීතය මතම පිහිටුවා ගැනීම ඇගේ අරමුණ විය. ඉතා සුළු මුදලකට සංගීත කණ්ඩායම්වල ගී ගැයීමට යොහානි පෙළඹුණි. එය ඇගේ වෘත්තීය චාරිකාවේ සැබෑ ආරම්භය විය. මේ සියල්ල අතරේ යූ ටියුබ් අවකාශ හරහා යොහානි තමාගේ හැකියාව රටට මුදාහරිමින් සිටියේය. එහි ප්‍රතිඵලය ලෙස ඇයට ඩිජිටල් ලොව රසික සමූහයකගේ ආදරය දිනා ගැනීමට හැකිවුණි. කෙසේ වෙතත් පසු අවස්ථාවකදී ඈ පැවසූ පරිදි ගෙවුණු කාලය පුරා ආදරය සේම සිත් රිදවන උපහාස අපහාසද රසික සමාජයෙන් ඇය වෙත පැමිණියේය. මීට අමතරව ඇය ගැයූ වෙනත් ගායකයන්ගේ ගීතවල කර්තෘ අයිතිය සම්බන්ධවද ප්‍රශ්නය මතුවිය. පසුව යොහානි පැවසූ පරිදි මුලදී ඒ පිළිබඳ ඇය දැනුවත්ව නොසිටි බවය.

කාලයත් සමඟ කවර්ස් නිර්මාණය කිරීමට ඇයට සංගීත නිෂ්පාදන ආයතන මෙන්ම, අදාළ නිර්මාණකරුවන්ගෙන්ද ආරාධනා ලැබුණි. භාතිය සන්තුෂ් ඇතුළු නූතන කලාකරුවන් කිහිපදෙනකුගේ ආශිර්වාදයද යොහානිට හිමිවිය. මට ආලෝකේ ගෙන දේවි පැරණි ගීත එකතු සහ තවත් නිර්මාණය කිහිපයක් යොහානිගේ නාමය ක්‍රමයෙන් සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවර වීමට හේතුවිය. ඇය තමන්ගේම නිර්මාණ රසිකයන් වෙත ඉදිරිපත් කිරීමට ආරම්භ කළේය. සිය පියා වෙනුවෙන් නිර්මාණය කළ රුව්වත් දෑසින් වැනි ගීත ජනාදරයට පාත්‍රවිය. BS ආරාධනයෙන් ප්‍රාසාංගීය වේදිකාවට ගොඩවීමට ලැබුණු අවකාශයද ඇගේ ජීවිතයේ පෙරළියක් සිදු කළේය.

අප සංවාදයට නිමිත්ත වූ මහා භාරතය පවා එකම රසගුලාවක් බවට පත් කළ මැණිකේ මගේ හිතේ ගීය යූ ටියුබ් අවකාශයට යොහානිගෙ යූ ටියුබ් චැනලය හරහා මුදා හැරෙන්නේ මෙම වසරේ මාර්තු විසි දෙවැනි දිනයි. එහෙත් දුලාන් ARX විසින් රචනා කොට චමත් සංගීත් විසින් තනු නිර්මාණය කරන ලද මෙම ගීතයේ මුල් ගැයුම සිදුකළේ නව පරපුරේ ගායක සතීෂාන් රත්නායක විසිනි. එය රූප රචනයක්ද සහිතව 2020 වසරේ දී යූ ටියුබ් අවකාශ වෙත මුදාහැර තිබුණි. කෙසේ නමුත් පසුව ගීයේ මුල් නිර්මාපකයන් සියලු දෙනාම එකඟව මේ ගීය යොහානි ලවා නැවත ගායනා කළේ සතීෂ්ගේද සභාගීත්වයෙනි. එහි ප්‍රතිඵල කුමක්ද යන්න ඔබ මේ වනවිටත් දනියි.

මිලියන සීයයක් යූ ටියුබ් නැරඹුම් වාර මැණිකේ මගේ හිතේ ගීයට ලැබීම හුදු ප්‍රවෘත්තියක් ලෙස සලකා බැහැර කළ නොහැකිය. ඉන්දියානු කලා ලෝකය යනු ස්වර්ණමය ක්ෂේම භූමියකි. එහි බිම් අඟලක් අත්පත්කර ගැනීමට ශ්‍රී ලාංකිකයකුට මේතාක් අවකාශ උදාවී නොතිබුණි. වසර පනහකට අධික කාලයක් පුරා මෙරට බොහෝ කලාකරුවෝ ඉන්දියානු රසික සමාජය දිනා ගැනීමට යත්න දැරෑහ. එහෙත් මේ තාක් කිසිවෙක්ට එය සිදුකිරීමට නොහැකි විය. ඉතිහාසය පුරා සිදුවූයේ අප නිරන්තරයෙන් ඉන්දියානු මහා සම්ප්‍රදායේ කොටස්කරුවන් බවට පත්වීම පමණකි. ශ්‍රී ලාංකීය කලාව ඉන්දියානු ක්ෂේමභූමියේ තවාන් කළ පළමුවැන්නා යොහානිය. අප එසේ කීම මීට ඉහතදී විවිධ පරිමාවෙන් ඉන්දියානු කලාවේ කොටස්කරුවන් වූ ශ්‍රී ලංකිකයන්ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිතව ඉන්දියාව තුළ ජනාදරයට පත්වී සිටින කලාකරුවන්ටද අපහාසයක් නොවනු ඇත.

තවත් ආකාරයකට කිවහොත් මෙතෙක් විවර කරගත නොහැකි වූ ස්වර්ණමය ද්වාරයක යතුරක් යොහානි විසින් සොයාගෙන තිබේ. මෙය හුදු අහම්බයක් ලෙසින් අරුත් ගන්වන්නෝ සිටිති. එහෙත් මෙය ක්‍රමික උත්සාහයක ප්‍රතිපත්ති ඵලයකි. එහි ගෞරවය බොහෝ දෙනෙකු අතරේ බෙදී යනු ඇත. සැබැවින්ම අප විමසා බැලිය යුත්තේ ඒ සිදු වූ අයුරු පිළිබඳව නොවේ. දැන් එය සිදුවී හමාරය. එහි ප්‍රතිඵල සහ අනාගතය පිළිබඳව අප විමසිය යුතුව ඇත. තවත් පිරිසකට මෙම ද්වාරයෙන් ඉන්දියානු මහා කලා ලෝකයට ඇතුළු වීමට ඇති හැකියාව පිළිබඳවද අප අවධානය යොමුකළ යුතු වේ.

මේ වනවිටත් යොහානි වෙත ඉන්දීය රෑපවාහිනී ආයතන, සංදර්ශන සංවිධායකයන් ඇතුළු පාර්ශව රුසකින් ඉන්දියානු සංචාර සඳහා ඇරුයුම් ලැබී ඇති බව දැනගන්නට ලැබේ. එහෙත් පවතින කොවිඩ් වසංගත වාතාවරණය හේතුවෙන් එම කටයුතු බොහොමයක් පමාවෙන ලකුණු පෙනී යයි. කෙසේ නමුත් මේ වනවිට යොහානිට ඉන්දියානු රසික සමාජය නැවත නැවත ස්පර්ශ කිරීමට උපායන් සොයා ගත යුතු බව ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් එය අභියෝගයකි. දමිළ, හින්දි, මලයාලම් බසින් ඈ නිර්මාණ කිරීමට පෙළඹෙන බවක්ද නිරීක්ෂණය වෙයි. එය ඉතා හොඳ ප්‍රවණතාවයකි.

අප විශ්වාස කරන පරිද්දෙන් යොහානිගේ ජීවිතය අභියෝගයකි. පියා යුද්ධයක සිටියදී මව සමඟ තනිවූ දියණියකගේ ජීවිත පරිච්ඡේදය, විදේශයක තනිව ජීවත් වෙමින් අර්ධකාලීන රුකියා කරමින් උසස් අධ්‍යාපන හැදෑරූ පරිච්ඡේදය, ශ්‍රී ලංකාවට පැමිණ නින්දා අපහාස මැද බිංදුවේ සිට මිලියන සියයක් දක්වා ගමන්ගත් සංගීත චාරිකාවේ පරිච්ඡේදය ඇය ලියා අවසන් කොට තිබේ. දැන් ඇය ලිවිය යුත්තේ ඉන්දියානු පරිච්ඡේදයයි. ශ්‍රී ලාංකීය කලාවේ ජාත්‍යන්තර පරිච්ඡේදයයි.

යොහානි මැණිකේ මගේ හිතේ ගීතය හරහා එම නිධානය අත ගා අපට පෙන්වා ඇත. යොහානි හට සිය ජනප්‍රියත්වය මේ අයුරින් දිගින් දිගටම පවත්වාගෙන යාමට හැකි වුවහොත් ඇයට ලබාගත හැකි වාර්ෂික ඇස්තමේන්තු ගත යූ ටියුබ් ආදායමේ උපරිමය ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් බව Social Blade වෙබ් අඩවියේ ගණනය කිරීම් අනුව පෙනී යයි. එම දත්ත අනුව අවසාන දින තිහ තුළ පමණ ඇගේ ආදායම ඇමෙරිකානු ඩොලර් හාරලක්ෂය ඉක්මවා ඇත. මෙම ගණනය කිරීම් යූ ටියුබ් දත්ත විශ්ලේෂණයේ ප්‍රතිඵල බව මිස තහවුරු කරන ලද තොරතුරු නොවන බව කිව යුතුය. ඒ කෙසේ නමුත් මෙම ගීතයට විශාල වාණිජ වටිනාකමක් ලැබීමට හේතුව මෙම ගීය හරහා යොහානි ඉන්දියානු වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමයි. සැබැවින් ඕනෑම නිෂ්පාදනයකට වැඩි මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබෙන්නේත් විශාල පිරිසක් වෙත එය රුගෙන ගියොත් පමණයි. එය තේරුම් ගැනීමට විශාල ආර්ථික විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නොවේ.

ශ්‍රී ලාංකීය නාමය ඉන්දියාව තුළ දී උසුලා සිටින සන්නාම තානාපතිනියක් බවට පත්වීමට යෝහානි ද සිල්වාට හැකියාවක් ඇතැයි අප විශ්වාස කරමු. එහිලා ඉන්දියානු රසික සමාජය ඉලක්ක කොටගත් නිර්මාණ සිදු කිරීමද අතිශයින් වැදගත් වනු ඇත. අපි යොහානිගේ ගමන දෙස ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව බලා සිටිමු. රටක් ලෙස අප නිතරම අපිට විසල් දෑ කිරීමට මැළි වන්නේ අප කුඩා යන ආකල්පය මත සිටය. අප කුඩා දූපතක් බව සැබෑය. එහෙත් ඒ හේතුවෙන් මේ බිම මත ඉපදුනු මිනිසුන්ගේ දක්ෂතා කුසලතා කුඩා නොවේ. උත්සාහය තිබේ නම් විසල් ලෝකය අත්පත් කරගැනීමට අපටද හැකිය. යොහානි ද සිල්වා නම් කුඩා හුරුබුහුටි තරුණිය එය අපට ඔප්පු කොට පෙන්වා තිබේ.

 චමිඳු නිසල් ද සිල්වා