2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

හරකුන්ට ගිය නුවරඑළියේ පෙයාර්ස් වගාව

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 248

විදේශ විනිමය හිඟකම හේතුවෙන් අද වනවිට රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර ද්‍රව්‍ය හා වෙනත් දෑ මෙරටෙහිම නිපදවීමට රජය විසින් ජනතාව දිරිමත් කරමින් සිටී. මෙතෙක් පැවැති රජයන් විසින් අර්තාපල් වැනි ආහාර ගෙන්වීම නතර කිරීමෙන් පසුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් අර්තාපල් වගාව ආරම්භ වී දේශීය අර්තාපල් සඳහා විශේෂ ඉල්ලුමක්ද ඇතිවිය.

ඉංග්‍රීසීන් විසින් කාලයක් නුවරඑළියේ ඇපල් වගාව දියුණු කළද ඔවුන් මෙරටින් ඉවත්වන විට නුවරඑළියේ ඇපල් වගාවට දිලීර රෝගයක් වැළඳී එම ඇපල් වගාව විනාශ වූ බව උඩරට ගොවීහු කියති. ඇපල් වෙනුවට වෙනත් ආදේශක පළතුරක් වූ පෙයාර්ස් හඳුන්වාදීමට ඉංග්‍රීසි පාලකයෝ පියවර ගත්හ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේද සාමාන්‍ය පරීක්ෂණ යටතේ ඇපල් වගා කිරීම ආරම්භ වුවද එය එතරම් සාර්ථක නොවීය. මේ අතර ගොවීන් කීපදෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඔවුන් සතුව පැවති කුඩා ඉඩම්වල ඉතා අසීරුවෙන් පෙයාර්ස් වගාව ආරම්භ කළහ.

පෙයාර්ස් නැමැති පළතුර ඇපල් සේම ඉතා රසවත් විය. ඒවා දේශීය පසේ සරුවට වැඩී ඇපල් මෙන්ම ජනප්‍රිය පළතුරක් ලෙස ජනතාව අතර ඉතා ප්‍රචලිත විය.

මාස ගණන් ශීතාගාරවල සහ නැව්වල මෙරටට ගෙන්වන ඇපල් වෙනුවට ඉතා නැවුම් පිරිසිදු තත්ත්වයෙන් උසස් පෙයාර්ස් නිෂ්පාදනය කර ගැනීමට උඩරට ගොවීහු සමත්වූහ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල රත්නායකපුර නම් ගම්මානයේ (වලපනේ උඩ පළාත කේරළයේ පිහිටා ඇත) පෙයාර්ස් වගාව ආරම්භ කළ ගොවීන්ට එම පළතුරුවලින් සතුටුදායක ආදායමක්ද උපයාගත හැකි විය.

නුවරඑළියට දේශීය හා විදේශීය සංචාරකයන් පැමිණි විට රාගල - රහංගල ප්‍රභේදය නම් වූ පෙයාර්ස්වලට හොඳ ඉල්ලුමක්ද ලැබිණි. එහෙත් කලක් ගතවන විට පෙයාර්ස් නුවරඑළියේ පමණක් නොව රටපුරා ජනප්‍රිය රසවත් මිල අධික පළතුරක් විය.
ඉතා හොඳ ආදායමක් ලබාගත් පෙයාර්ස් වගාකරුවන්ට මුහුණදීමට සිදුවූ අවාසනාවන්තම අවදිය වූයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයයි. එම ප්‍රහාරයත් සමඟ මෙරටට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවිය. පෙයාර්ස් වගාකරුවන් වසරකට පෙයාර්ස් වගාවෙන් පමණක් ලබාගත් රුපියල් ලක්ෂ 06-07ක ආදායම ඔවුනට අහිමි විය.

රාගල, රත්නායකපුර අක්කර කීපයක ඉතා සාර්ථක වූ පෙයාර්ස් වගාවක් පවත්වාගෙන යන ගොවීන් අප හමුවේ පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය රට තුළ පැතිර යාමත් සමඟ තමන්ගේ පෙයාර්ස් වගාවෙන් නෙළාගත් පලදාව විකුණාගත නොහැකි තත්ත්වයකට තමන් මුහුණ දුන් බවය.

පෙයාර්ස් වගාකරුවකු වන කේ.ඩී. අමරවංශ මහතා (අවු. 67):

මට අක්කර තුනක් පමණ තිබෙනවා. දැනට පෙයාර්ස් ගස් 75ක් පමණ ඉතා සරුවට වැඩී තිබෙනවා. වසරේ ජූනි, ජූලි මාසවල පෙයාර්ස් ගෙඩි හැදෙන කාලයයි. අගෝස්තු මාසය අවසන් වනවිට පෙයාර්ස් අස්වැන්න නෙළා අවසන් කළ යුතුයි. එහෙත් අවාසනාවකට වගේ මේ කොවිඩ් වසංගත තත්ත්වය ලෝකය පුරා ලංකාව පුරා ව්‍යාප්ත වීමත් සමග අපේ පෙයාර්ස් වතුවල අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා පිට පළාත්වලින් වෙළඳුන් පැමිණීම ඉතාමත් අඩුවුණා.

පෙයාර්ස් ගස්වල හැදිලා බොහෝවිට සතුන් කා දමල බිම වැටිලා අපතේ යන තත්ත්වයක් උදාවූවා. පෙයාර්ස් මිලදී ගන්න වෙළෙඳුන් නොපැමිණීම නිසා අස්වැන්න අපතේ ගියා. බොහෝ වෙලාවට ගවයන්ට කෑමට දෙන තත්ත්වයට අපේ පෙයාර්ස් ඉතිරි වී නරක් වුණා.

පාස්කු ප්‍රහාරයෙන් වගේම කොවිඩ් වසංගතයෙන් අපට ඉතා විශාල ලෙස පාඩු වුණා. කන්නයකට පෙයාර්ස්වලින් රුපියල් ලක්ෂ පහක් හයක් ආදායම් ලබාගත්තත් දැන් රුපියල් පනස් දහසක්, ලක්ෂයක් සොයාගන්න බැරි තත්ත්වයක් උදාවී තිබෙනවා.
දේශීය පොහොර යොදාගෙන විශේෂයෙන් ගොමවලින් සකසාගන්න කොම්පෝස්ට් පොහොර භාවිතා කරල අපි පෙයාර්ස් වගාවේ අස්වැන්න වැඩිදියුණු කරගන්නවා. දැන් අපේ වතුවල තිබෙන පෙයාර්ස් ගස්වලට වසර 50ක් 75ක් පමණ වයසයි.අලුතෙන් මේ වගාව ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂි නිලධාරීන් මගින් අප වැනි ගොවීන්ට පෙයාර්ස් පැල ලබාදුන්නා නම් දේශීයව ඉතා පෝෂ්‍යදායී රසවත් පළතුරක් වන පෙයාර්ස් වගාව ඉදිරියට අපට සාර්ථකව කරගෙන යා හැකියි.

අපි ගොවීන් හැටියට රජයට බරක් නොවී අපේ දහඩිය මහන්සියෙන් ආදායමක් උපයා ගන්නවා. තවත් විශාල පිරිසකට රුකියා ලබාදීලා තිබෙනවා. මේ පළාතට ආණ්ඩුවේ අමාත්‍යවරු පස්දෙනෙක් ඉන්නවා. අඩුගානේ මේ පෙයාර්ස් වතු බහුලව තිබෙන රාගල ප්‍රදේශයේ රත්නායකපුර රාගල ලිඩ්ස්ඩේල්වත්ත හරහා පලල් පතන රත්නායක පුර කිලෝමීටර් පහක දුරක් තිබෙන පාරවත් හදාදෙන්න ඔවුන් උනන්දු විය යුතුයි. ගම්මාන පහකට සපයා තිබෙන විදුලිය සඳහා ස්ථාපිත කර තිබෙන්නේ එකම විදුලි ට්‍රාන්ස්පෝමරයක් විතරයි. මේ ගැන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ අමාත්‍යවරු අවධානය යොමුකළ යුතුයි.

පෙයාර්ස්වලට අපි බොහොම කැමතියි. මෙය දේශීය පළතුරක්. කිසිම වස විසක් නැති පුංචි දරුවන්ට වුණත් පෝෂ්‍යදායී ගුණදායක අතුරු ආහාරයක්. මේ වගාව විනාශ නොවී ආරක්ෂා කරගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකිවයුතු කෘෂිකර්ම විශේෂඥයන් පියවරක් ගත යුතුයි.

පෙයාර්ස් වගාකරුවන් සාර්ථක පෙයාර්ස් අස්වැන්නක් නෙළාගත්තද ඔවුන්ගේ පෙයාර්ස් මිලදී ගැනීමට පිට පළාත්වලින් වෙළඳුන් නොපැමිණෙන නිසා පෙයාර්ස් වගාවේ නිරත ගොවීහු ඉතා අසරණ තත්ත්වයකට මුහුණ දී සිටිති.

විශේෂයෙන් සුපිරි වෙළෙඳසල් හා පළතුරු වෙළෙඳසල් වසා තිබීම හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක පෙයාර්ස් පලදාව ගස්වලම හොඳින් පැසී ඉදී සතුන් කා දැමීමෙන් පසු ගස් යටම වැටී නරක් වී යන තත්ත්වයක්ද දක්නට ලැබෙයි.

රාගල පදිංචි ගොවි මහතකු වන එල්. සමන්ත මහතා පැවසුවේ මහා පරිමාණයෙන් වගාකටයුතුවල යෙදෙන තමන් ඇතුළු එළවළු ගොවීන්ට රාගල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඇතැම් නිලධාරීන් සහ ගොවි සමිතියේ නිලධාරීන්ගෙන් වගාවන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම දුෂ්කර වී ඇති බවයි. තමාගේ පෙයාර්ස් වගාවටත් ඇපල් වගාවටත් අවශ්‍ය පොහොර ප්‍රදේශයේ ගොවි ජන සේවා කාර්යාලයෙන් ලබාගැනීමේ ඇති දුෂ්කර තත්ත්වය පිළිබඳව වගකිවයුතු අංශවලට දැනුවත් කළද එයින් පලක් නොවූ බව පැවසූ සමන්ත ගොවි මහතා දුෂ්කරතා රුසක් මැද පෙයාර්ස් වගාවද සිදුකර ලබාගන්නා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා වගාවට වැයකළ මුදල් අපතේ ගොස් ඇති බවද කීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් පෙයාර්ස් වගාව රුක ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදී ගොවියන්ට පෙයාර්ස් පැළ බෙදාදීම, දේශීය පළතුරක් වන පෙයාර්ස් පළතුරු වඳ වී නොයා රුකගැනීමට සහාය දිය යුතු බව සමන්ත ගොවි මහතා අප හා පැවසීය.

ජේ.ඒ.එල්. ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල රාගල සංචාරයකින් පසු