2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

හැබෑ අර්බුදය ආර්ථිකයද? මුදල් හිඟයද?

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

ආර්ථිකය වෙනම විෂයයකි. මෑත දශක කිහිපය තුළ විශාල පරිවර්තනයක් සිදුවී තිබේ. වරින්වර උස් පහත්කම් සිදුවෙයි. ඒවායේ පීඩනය ජනතාවට දැනේ. ලෝක ආර්ථිකය බලවත් පසුබෑමකට ලක්ව ඇත. එයට හේතුව කොවිඩ් වසංගත තත්ත්වයයි. සමාජ දුරස්ථභාවය, රටවල් ලොක් ඩවුන් වනවිට ආර්ථිකයටත් එහි ප‍්‍රතිවිපාක එල්ලවෙයි. ගැටලු පැන නැගෙන විට විසඳුම් සෙවිය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල විසඳුම ඉක්මන් නැත. කණ්ඩායමකට වෙනම අදහස් තිබේ. සියලු පැති සලකා බලා තීරණයකට එනවිට ගැටලුවේ මුහුණුවර වෙනස්ය. 

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය වාරුවෙන් ගමන් කළ බව රහසක් නොවේ. ආදායම හා වියදම පාලනය කරගත නොහැකි වන ඕනෑම සමාජයකට එහි ප‍්‍රතිඵලය උරුමය. සාමාන්‍ය ජනතාවට පවා වෙනසක් නැත. ලැබෙන ආදායමේ තරමට ජීවත් නොවන පිරිස් අප අතර සිටිති. එදිනෙදා මුණ ගැසේ. ඔවුන් අඳින, පළඳින හා කන බොන ආකාරය දකින අරපිරිමැස්මෙන් ජීවත්වන අය එවැනි පිළිවෙත් කිසිසේත් අනුමත නොකරති. පෞද්ගලික ජීවිතයේදී පැවැත්ම ගැන දැන සිටින මෙරට පුරවැසියන් අතරින් බහුතරයක් රටක් තීරණ ගත යුතු අන්දම ගැන පහසුවෙන් සිතන බව පෙනේ.

• ලෝක ආර්ථිකයේ නරකම කාල සීමාව

ජාත්‍යන්තර පර් යේෂකයන් අනාවරණය කරන පරිදි ලෝක ආර්ථිකයේ නරකම කාලසීමාව පසුකරමින් සිටිමු. යුද වාතාවරණයකට වඩා වියදම් ඉහළ නැග තිබේ. සෞඛ්‍ය වියදම පාලනය කරගත නොහැකි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන පරිදි 2018-2020 කාලය තුළ ලෝකයේ සියලුම රටවල සාමාන්‍යයෙන් සිදුවන සෞඛ්‍ය  වියදම ඇමරිකානු ඩොලර් බිලියන 8,300 දක්වා සියයට දහයකින් වැඩි වී තිබේ. පෞද්ගලික එනම් රක්ෂණය හෝ සිය වත්කම්වලින් සෞඛ්‍ය වියදම කර නොගෙන ආණ්ඩුවලින් ඒවා ඉටුකරන රටවල එකී අංශ සඳහා රාජ්‍ය වියදම 2018 දි සියයට හළිහකින් පමණ නැග ඇත. මෙම ඉලක්කම් සලකා බලන ලෝක බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදල අඩු ආදායම් ලබන රටවල් සිය පැවැත්ම කළමනාකරණය කර නොගතහොත් අනිටු පලවිපාක ඇති කරවනු ඇති බව දක්වයි. සමහර රටවල එදිනෙදා කටයුතු පවා අඩාල වී තිබේ. සංවර්ධනය වෙනුවෙන් කරන අලුත් ව්‍යාපෘති නතර වී ඇත. ආයෝජන අත්හරින්නට සිදුවී තිබෙන බව දැක්වෙයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ දුප්පත්කම තවත් වටයකින් ඉහළ නැග තිබේ. 

ශ‍්‍රී ලංකාවේද මෙම ලක්ෂණ නිරීක්ෂණය කළ හැකිය. කොවිඩ් එන්නත් වෙනුවෙන් වැය කරන ධනය සුළු පටු නොවේ. එක එන්නතක් පාසා අලුත් සිරින්ජරයක් භාවිතා කළ යුතුය. එන්නත් හා සෞඛ්‍ය මෙවලම් රටට ගෙන්වීම පහසු නැත. නොබෝදා රෝහල් සඳහා භාවිත කරන ඔක්සිජන් හිඟ වූ කාලය තුළ වහාම ඉන්දියාවෙන් ආනයනය කරන්නට සිදුවිය. වෙනම නැවක් යවා ගෙන්වීම සෑහෙන විනිමය ප‍්‍රමාණයක් වැය කරන කටයුත්තකි. සෑම නිලධාරියකුටම, ආරක්ෂක අංශවලටම කොවිඩ් මර්දනය හා ජනතාව ගේ ජීවිත ගලවා ගැනීමේ ප‍්‍රයත්නය වෙනුවෙන් කැපවීමක් දක්වන බව නොරහසකි. එහෙත් එය නොමිලේ සිදුවන දෙයක් නොවේ. නොබෝදා කොවිඩ් පාලනය වෙනුවෙන් බද්දක් අය කරන්නට සූදානම් වන බවට ප‍්‍රචාරයක් පැතිර ගියේය. රජය එය ප‍්‍රතික්ෂේප කර ඇත. එහෙත් යුද කාලයේදී ජාතිය ගොඩනැගීමේ බද්දක් ගෙවන්නට සිදුවූ බව මතක් කළ යුතුය. රාජ්‍ය වියදම පාලනය කරගත නොහැකි වනවිට විකල්ප පියවර හැර අනෙකක් නැත. දැනට කරගෙන යන ආනයන සීමාව, වියදම් කපාහරින තීරණ, සංවර්ධන කටයුතු සීමා කිරීම පවතින දුෂ්කර ආර්ථිකයෙහි ලක්ෂණ අතර මතු පිටින් පෙනෙන ව්‍යුහයයි.

• හිඟය මුදල් නොවේ. ආර්ථික ක‍්‍රියාකාරීත්වයයි

රටට මුදල් හිඟබව ප‍්‍රසිද්ධියේ කියැවේ. මුදල් හිඟ නැත. මුදල් ලැබෙන ක‍්‍රමවේදය පාලනය වී තිබේ. හිඟය එහි ප‍්‍රතිඵලයකි. වියදම වැඩිවන අතර ආදායම අඩුවන විට ප‍්‍රශ්න ගණනාවක් මතුවෙයි. අද එහි තීරණාත්මක තැනකය. මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වන පරිදි කලින් ගත් ණය හා ඒවායේ පොලිය සඳහා රාජ්‍ය ආදායමෙන් සියයට අසූ ගණනක් වෙන්කරන්නට සිදුවී ඇත. ණය, රාජ්‍ය සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් ගෙවන විට රජය අලුතින් ණය වී හමාරය. එය 2020 වසරේ රජයේ ආදායම් හා වියදම් ලේඛන පෙන්වයි. ආර්ථික ක‍්‍රියාකාරීත්වය දියුණුවන විට රාජ්‍ය ආදායම ඉහළ යයි. පසුගිය වසරේ ඍණ ආර්ථිකයකි. කලින් වසරට වඩා ආර්ථිකය බෙලහීන තත්ත්වයට පත් වීමකි. එදිනෙදා ගනුදෙනු අඩුවන විට, ආනයන හා අපනයන සීමා වනවිට රටට ලැබෙන ආදායම පහත වැටේ. වාහන ආනයනය පාලනය කරන්නේ 2018 වසරේ සිට බව දැක්විය යුතුය. රජයේ බදු අනුව සමහර ආනයනික වාහන වලින් සියයට සියයක සිට සියයට එක්දහස් පන්සියය දක්වා වටිනාකම මත බදු අය කරමින් සිටියේය. එවැනි අධික බදු මත පවා වාර්ෂිකව වාහන දස දහස් ගණනින් ගෙන්වා තිබේ. රජයේ බදු පමණක් නොව රේගු ගාස්තු, වරාය මෙහෙයුම්, රක්ෂණ හා බැංකු කටයුතු සහ වාහන ලියාපදිංචි ආදායම පවා පහත වැටෙන විට ආර්ථිකය හැකිලෙන බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. දිනපතා වෙළෙඳාම අඩු බව වෙළඳුන් දක්වති. සකී‍්‍රය බව අඩුවී ඇති වග එයින් පෙන්වයි.

ආණ්ඩුවට මුදල් හිඟ වනවිට සල්ලි මුද්‍රණය කරන්නට බැරිකමක් නැත. එහි ප‍්‍රතිවිපාක දරුණුය. භාණ්ඩ හා සේවාවලට වඩා මුදලක් රට තුළ සංසරණය වන විට උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවෙයි. මුදලේ අගය පිරිහෙන අතර තමන් අත මුදල් ගැවසෙන නමුත් ලබාගත හැකි භාණ්ඩ ප‍්‍රමාණය සීමාසහිත වනු ඇත. එය එක පැත්තකි. අනෙක් පැත්තෙන් පොලී අනුපාත ඉහළ නැඟේ. අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම යනු රජය දේශීය වශයෙන් මුදල් ණයට ගැනීමකි. බැංකු පද්ධතියෙන් ණය ගන්නා අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තැන්පත් අවශ්‍ය කෙරේ. තැන්පත් සඳහා පෙළඹවීමකට පොලිය අවශ්‍යය. දැනට අඩු පොලි අනුපාත හෙයින් ජනතාව ගේ ඉතිරි කිරීම් පහත වැටී ඇත. එය ආර්ථිකයකට නුසුදුසු තත්ත්වයකි. බැංකු පද්ධතියට ගැටලු මතුවෙයි. තැන්පත් කිරීම නතර කරන ධනය ඇති පිරිස් එම මුදල් ඉඩම් හා නිවාස මිල දී ගැනීම සඳහා යොමු වෙමින් සිටී. දේපොළ මිල වේගයෙන් වැඩිවීම එහි ප‍්‍රතිඵලයකි. අනෙක රථ වාහන වෙළඳපොළ බව දැක්විය යුතුය. පාවිච්චි කරන ලද වාහනවල මිල අනපේක්ෂිත ලෙස වැඩි වී තිබේ. තවත් ඉහළ යන අපේක්ෂාවෙන් සමහර දෙනෙකු සිය වාහනය විකුණන්නේ නැත. මෙවැනි වෙළඳපොළ අසමතුලිත තත්ත්ව තවත් සංකීර්ණතා ඇති කරයි. 

• ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යමයි

රටට මුදල් ගලා එන ක‍්‍රමයක් වෙනුවෙන් අලුත් තීරණ ගත යුතුව තිබේ. මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙත් වෙනස් කළ යුතුව ඇත. කොවිඩ් වසංගත තත්ත්වය තිබිය දී අලුත් ව්‍යාපාර, කර්මාන්ත හා සේවා වෙනුවෙන් ආයෝජන අවස්ථා පුළුල් කරන්නට අවශ්‍යය. ලෝකයේ නොයෙක් රටවල් ප‍්‍රතිසංස්කරණ කරමින් සිටී. ව්‍යවසාය අවස්ථා නිර්මාණය කරයි. එවැනි වෙනස්කම් සඳහා ප‍්‍රතිපත්ති තීරණගත යුතුය. දේශපාලනයෙහි වෘත්තීය භාවයක් සහිත දේශපාලනඥයන්ට ආර්ථිකය ගැන කල්පනා කරන්නේ නැත. එය වෙනම විෂයයකි. ඉල්ලුම හා සැපයුම හැර අනෙක් පදනමක් නැත. විවෘත ආර්ථික ක‍්‍රමය තුළ තවත් වටයකින් තරගකාරීත්වය දියුණු කිරීම අවශ්‍යය. එවැනි තීරණ ගැනීම පහසු නැත. තමිල්නාඩු මහ ඇමැතිවරයා නොබෝදා බලයට පත් වූ වහා ජර්මන් ජාතික ආර්ථික විශේෂඥයෙකු උපදේශකයෙකු වශයෙන් පත්කර ගත් අතර හෙතෙම නොබෙල් ත්‍යාග ලාභියෙකි. දේශපාලන කලබැගෑනි බහුල තමිල්නාඩුවේ කිසිවකු එය ප‍්‍රශ්න කරන්නේ නැත. ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුව පරිවර්තනය කරන කාලයේ ආර්ථිකය සඳහාපත් කරගන්නේ ඇමෙරිකන් ජාතික විශේෂඥයෙකි. එවැනි පරිබාහිර අයවලුන් සේවයට බඳවා ගන්නේ ඇයි? පවතින ක‍්‍රමය ගැන අලුත් ව්‍යුහයකින් යෝජනා ගෙන එන අභියෝගය සඳහා බව දැක්විය යුතුය.

ඉදිරි කාලය තීරණාත්මකය. අද කැපවීමකින් තීරණ ගතහොත් දරුවන්ගේ හෙට දවස යහපත් වනු ඇත. කර්මාන්ත හා ව්‍යාපාර වෙනුවෙන් අවස්ථා දියුණු කරන පිළිවෙළ ප‍්‍රකාශයට පත් කරන්නට අවශ්‍යය. මෙරට රාජ්‍ය අංශයේ කර්මාන්ත හා සේවා සම්බන්ධ ගැටලු තිබේ. විදුලිය, ඛනිජ තෙල්, ජලසම්පාදනය, මගී ප‍්‍රවාහනය, තැපැල් ඇතුළු සියලු අංශ තරඟකාරී මට්ටමක නැත. ගුවන් සේවය දැවැන්ත අලාභයක් වාර්තා කර තිබේ. මේවා රහස් නොවේ. වසර ගණනක් එකදිගට පැවැති අකාර්යක්ෂම තැන්ය. රජය මෙම ආයතනික බර සමග ජනතාවගේ සෞඛ්‍ය වියදමද උහුලන විට ආර්ථික ස්ථාවර භාවයක් අපේක්ෂා කරන්නේ කෙසේද? සමාජය තුළ පාලනයක් පනවා තිබේ. රට තුළ නිපදැවිය හැකි දේ බව දක්වා ගෙන්වීම නතර කර තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ වශයෙන් දක්වා නොයෙක් සීමා නියම කරයි. එවැනි අවහිර ආර්ථික ප‍්‍රසාරණයට බාධාවකි. ලෝකයේ අනෙක් රටවල් මෙවැනි අනපේක්ෂිත අවස්ථාවක ක‍්‍රියා කරන්නේ කෙසේද යන්න අධ්‍යනය කළ යුතුය. නිසි පියවර සඳහා තීරණ නොගැනීමෙන් ජනතාව තුළ තිගැස්මක්, අවිශ්වාසයක් ඇතිවීම වළක්වනු නොහැකිය. තවත් මාස කිහිපයකින් 2022 වසර සඳහා අය වැය යෝජනා ඉදිරිපත් කළ යුතුව තිබේ. මෙම වසරේ පැවැත්ම වෙනුවෙන් පසුගිය අවුරුද්දේ සැලසුම් කළ රාමුව සාක්ෂාත් කරගත හැකි තැනක සිටීද? ලබන වසරේ පැවැත්ම කෙබඳුද? ආණ්ඩුවේ මුදල් හිඟය ගැන අවධානය යොමුකරන අතරවාරයේ මුදල් උපයන මග සොයාගත යුතුය.

 සාරා කන්දෙගොඩ