2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ඉස්ලාමය අතහැර නිදහස සොයායන මුස්ලිම්වරු - ලිපියට පිළිතුරක්

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 109

ඉස්ලාමය අතහැර නිදහස සොයායන මුස්ලිම්වරු: මෙය සත්‍යය පදනම් වුවක්ද? නොමැති නම් හිස් ප්‍රලාපයක්ද? “ඉස්ලාමය අත්හැර නිදහස සොයායන මුස්ලිම්වරු” යන මැයෙන් 2021 සැප්තැම්බර් 11 දිනැතිව ‘දේශය’ පුවත්තේ පළවූ ලිපිය පිළිබඳ පැහැදිලි කිරීමක් මෙමගින් ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු.

එම ලිපියේ දැක්වෙන ආකාරයට වර්තමානය වනවිට ඉස්ලාම් දහම ඇදහූ බොහෝ තරුණ පිරිස් අදේවවාදීන් වීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. මේ සඳහා උදාහරණ ලෙස කුවේට් ජාතික නිළියක් හා මාධ්‍යය වේදියෙකු ඉස්ලාමය අතහැර යාම උදාහරණ ලෙස දක්වයි. ලොවේ ඕනෑම දහමක පිරිසක් අදේවවාදීන් හෝ වෙනත් දහමක් වැළඳ ගැනීම ඉස්ලාමයට පමණක් සීමාවූ සංසිද්ධියක් නොවේ. මෙය ලොවේ සියලු දහම්වලට පොදුවේ බලපාන ධර්මතාවකි. එක් වෙබ් අඩවියක හෝ තවත් මාධ්‍යයක සඳහන් වූ පමණින් සියල්ල සත්‍යයැයි නිගමනය කිරීමට අපට හැකියාවක් තිබේ ද? මෑතකදී භික්ෂුන් කිහිප දෙනෙක් මත්පැන් හා ස්ත්‍රී පහස ලබන්නට කටයුතු කර තිබූ බව මාධ්‍යය මගින් දැනගන්නට ලැබුණි. මෙවැනි සිදුවීම් පදනම් කරගෙන භික්ෂුන් වහන්සේලා සැවොම එවැනි පිරිසක් ලෙසත් මෙය බුදු දහම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙසත් ගැනීම කළඳක් වත් බුද්ධිය ඇති කෙනෙකු නොකරන ක්‍රියාවකි.

මුස්ලිම්වරුන් ඉස්ලාමය අතහැර යාමට හේතු වශයෙන් එම ලිපියේ හේතු කිහිපයක් ගෙනහැර දක්වයි. ඒ අනුව “කාන්තාවන්ට පහර දීමට ඉඩදීම, යුද්ධවලදී කාන්තාවන්ගේ වහල්භාවය පිළිගැනීම සහ වෙනත් ජාතීන්ට එරෙහිව ජිහාද් ප්‍රකාශ කිරීම ජිසියා නමැති බදු ගෙවන්න නැතිනම් මරණයට සූදානම් වන්නැයි බල කිරීම නිසාද බොහෝ පිරිස් ඉස්ලාමයට එක්වීමෙන් බැහැර වී තිබේ. එමෙන්ම ග්‍රන්ථවල සඳහන් “වැඩිහිටියන්ට මව්කිරි දීම”, “තරුණියන්ගේ විවාහය”, සහ ලේවැකි “ඉස්ලාමීය කාලිෆේට්” රාජ්‍යය යන මතවාද සහ අනෙකුත් සාහසික ක්‍රියාවන් අන්තර්ජාලය හා සමාජ ජාල නිසා ව්‍යාප්ත වීම ගෙනහැර දක්වයි”.

මෙහිදී කාන්තාවන්ට පහර දීමට ඉඩදීම පිළිබඳව විමසා බලමු. එය පොදුවේ කාන්තාවන්ට පහර දීමට ඉඩහැර ඇති බව සොයාගත්තේ කොහෙන්ද යන්න දැනගන්නට කැමැත්තෙමු.  නමුත් කුර්ආන් වැකියක පහත සඳහන් අයුරින් සඳහන් වෙයි. 
“(භාර්යාවන් අතුරින්) කවුරුන්ගේ අකීකරුකම පිළිබඳව නුඹලා බියවන්නේද ඔවුනට නුඹලා උපදෙස් දෙවු. පසුව (ඉන් ඔවුන් කීකරු නොවූයේ නම්) නිදි යහනින් ඔවුන්ව දුරස් කරවූ. පසුව (එයින්ද ඔවුන් කීකරු නොවූයේ නම්) ඔවුනට ගසවූ. ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුනට එරෙහිව අන් කිසිදු පියවරක් නොගනිවූ. සැබැවින්ම අල්ලාහ් උත්තරීතරය, අති ශ්‍රේෂ්ඨය.” (අල් කුර්ආන් 4:34)

බිරියකගේ අයහ හැසිරීමෙන් යහ මගට ගෙන ඒම පිණිස ක්‍රියා මාර්ගයන් තුනක් මෙහි දැක්වේ. මෙහි දක්වා ඇති අනුපිළිවෙළින් එක් මගක් සාර්ථක වන්නේ නම් ඊළඟ මගට නොයා යුතුය. විශේෂයෙන්ම ධර්ම දුත මුහම්මද්තුමාණන් තුන්වන ක්‍රියාමාර්ගය වන තරවටු කිරීම පිළිබඳව නිශ්චිත උපදෙස් ලබාදී ඇත. ඉතා අන්ත තත්ත්වයකදී හැරෙන්නට තරවටු නොකළ යුතුය. විවිධ එතුමාගේ වදන් අනුව පැහැදිලි කොට ඇත්තේ බිරියට තරවටු කිරීම අප්‍රසාදයට ලක් වූ ක්‍රියාවක් බවය. එතුමාගේ එක් වදනක් අනුව ‘යහ මිනිසුන් වන්නේ බිරියට නොගසන්නන් ය’ (මුලාශ්‍රය: රෑහුල් මආනි, බයිහාකි) අල් කුර්ආනය අවසන් පියවරක් ලෙස මෙය අනුමත කොට ඇතිමුත් ධර්මදුත මුහම්මද් තුමාණන් කම්මුලට ගැසීම හා ශරීරයේ සලකුණු පිහිටන සේ පහර දීම ආදිය තහනම් කොට ඇත. මෙම පියවරෙන් අපේක්ෂිත වන්නේ බිරියගේ මනසෙහි තම වැරදි ක්‍රියා මාර්ගය පහර දීමට තරම් බරපතළකමක් යැයි ඒත්තු ගැන්වීම මිස කායික රිදවීමක් නොවේ. අප රටේ දක්නට ඇති පවුල් ආරාවුල් වලදී විවිධ ක්‍රම මගින් ස්ත්‍රීන් ඝාතනයට ලක් කිරීමට වඩා මෙය කෙතරම් යහපත් පිළිවෙතක්ද.         

“යුද්ධවලදී කාන්තාවන්ගේ වහල්භාවය පිළිගැනීම ඉස්ලාමය හැර යන්නට මීළඟ හේතුව ලෙස එම ලිපියේ දක්වයි”. මෙවන් හාස්‍යය ජනක කරුණු ඉදිරිපත් කිරීම ගැන විමතියට පත් වන්නෙමු. යුද්ධයක් අවසානයේ දී ජයග්‍රාහි පාර්ශවය විසින් සතුරු පාර්ශවය යටහත් කර ගැනීම ලෝක සම්මතයක්. ඔවුන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යුද සිරකරුවන් ලෙස ගැනීම සිදුවන්නක්. එය ඉස්ලාමයට පමණක් සීමාවූවක් නොවේ. 

වෙනත් ජාතීන්ට එරෙහිව ජිහාද් ප්‍රකාශ කිරීම තවත් හේතුවක් ලෙස එම ලිපිය ගෙනහැර දක්වයි. එහි ජිහාද් යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න අවබෝධ කරගෙන ඇති බවක් දකින්නට නොමැත. ‘ජිහාද්’ යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් මෙහි අර්ථය එක්තරා ප්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය කෝණයෙන් ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වන්නේය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම ද ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක.

තවත් කරුණු ඉදිරිපත් කිරීමක් නම් “ජිසියා නමැති බදු ගෙවන්න නැතිනම් මරණයට සූදානම් වන්නැයි බල කිරීම නිසාද බොහෝ පිරිස් ඉස්ලාමයට එක්වීමෙන් බැහැර වී තිබේ යන්නය”. කරුණාකර ජිහාද් වගේම ජිස්යා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්නත් අවබෝධ කරගෙන කරුණු ඉදිරිපත් කරන්නේ නම් යෙහෙකැයි සිතන්නෙමු. ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන්ව හඳුන්වන්නේ ‘දිම්මි’ වරුන් ලෙසය. ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයේ පුර්ණ ආරක්ෂාව සහතික කොට ඇත. වර්තමානයේ ආරක්ෂක බද්ද හා සමාන වූ ‘ජිස්යා’ නම් වූ බද්ද ගෙවීම තුළින් හමුදා සේවයෙන් ඔවුන් නිදහස් වන්නේය. හමුදාවට බැඳෙන ලෙස ඔවුන්ට බල කිරීමක් නොමැත.  

සෑම මුස්ලිම් නොවන්නෙක්ම ‘ජිස්යා’ බදු ගෙවිය යුතු නොවන්නේය. සමහර පාර්ශවයන් ‘ජිස්යා’ බදු ගෙවීමෙන් වැළකී සිටීමට හැකිය.

ඕනෑම කාලවකවානුවක සෑම රජයකටම ගෙවනු ලබන බදු මුදල හා සමාන බද්දක් ලෙස මෙය සැලකිය හැක. සෑම පුරවැසියෙක්ම මහජන සේවාවන් නඩත්තු කිරීම පිණිස බදු මුදලක් ගෙවීමට අවශ්‍යය වන්නේය. උසාවි, පොලිස් සේවාව, මහජන සේවා කටයුතු, මංමාවත් හා පාලම් ඉඳිකිරීම හා අලුත්වැඩියා කිරීම හා මහජන යහපත සඳහා පවත්වාගෙන යන පොදු සේවාවන් සඳහා බදු අයකර ගැනීමේ අවශ්‍යතාව ඇත්තේය. මුස්ලිම්වරුන් ‘සකාත්’, ‘සදකතුල් ෆිත්ර්’ හා අනෙකුත් ‘සදකා’ නමින් හැඳින්වෙන පුණ්‍යමය දීමනා මගින් මෙම කටයුත්තට දායක වෙති. එහෙයින් මුස්ලිම් නොවන්නන්ගෙන් මෙවන් සුළු ‘ජිස්යා’ නමින් වූ බද්දක් අයකර ගැනීම පුදුමයට හේතුවක් නොවේ.

එම ලිපියේ තවත් මෙලෙස කරුණු ඉදිරිපත් කරයි. “ඉස්ලාම් ආගම ඒක පාක්ෂිකය. එය වෙනත් ආගම් අදහන්නන් තම ආගමට ගැනීමට කටයුතු කරන නමුදු ෂරියා (ඉස්ලාමීය නීතිය) විසින් නියම කර ඇති පරිදි ඉස්ලාම් ආගම අදහන කිසිවකුට ආගම අත්හැරිය නොහැකිය. ඔවුන්ට අනුව ඇදහිල්ල අත්හැරීමට දඬුවම මරණයයි. තවද ඉස්ලාමය හැරගිය පුද්ගලයකු ඝාතනය කිරීම සාමාන්‍ය දෙයකි”. 

ඉස්ලාමය අතහැර යන්නන් පිළිබඳ කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමීය විද්වතුන් අතර මත වෙනස් කම් දකින්නට ඇත. ඉස්ලාමයේ උත්තරීතර මුලාශ්‍රය වූ අල් කුර්ආනයේ ඔවුන්ට මෙලොව දඬුවමක් කොහේවත් සඳහන් නොවේ.

“ඕස්ට්‍රේලියාවේ හිටපු මුස්ලිම් ආධාරක ජාලයේ සම නිර්මාතෘ සහ ඔවුන්ගේ ට්විටර් වෙබ් අඩවිය වන Heretical Gray හි සම නිර්මාතෘ වන නික්, අල්ලාහ් නොමැතිව අතිශය චමත්කාර වන්නේ මන්දැයි යන්න මෙලෙස පැහැදිලි කරයි. “කිසිම කාන්තාවකට හිජාබය, නිකාබය අඳින්නට බල නොකළ යුතුයි. කාන්තාවකගේ වටිනාකම රෙද්දකින් තීරණය කරන්න බැහැ. මොකද හිජාබය ඉවත් කිරීම නිසා කාන්තාවක් දූෂණයට ලක් විය යුතු දුරාචාරී පුද්ගලයකු බව අදහස් වන්නේ නැහැ. සෑම කෙනෙකුටම තමන් කැමති පරිදි ජීවත් වීමට නිදහස තිබිය යුතුයි. යනුවෙන් ඇය සඳහන් කර තිබේ.”

මෙයට තවත් විග්‍රහයක් ඉදිරිපත් නොකොට වැදගත් ග්‍රන්ථයකින් කොටසක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. 

“ඇඳුම් ඇඳගත්තත් හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ජනප්‍රිය සංස්කෘතියේ යුවතියන්ගේ අඟ පසඟ ප්‍රදර්ශනය කිරීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඔවුන්ට අවස්ථා උදාවෙයි. ඇත්තෙන් බැලූවිට මෙය ජනප්‍රිය සංස්කෘතියක්මත් නොව සොසේජස් සංස්කෘතියකි. එසේ නොවේ නම් හෙලුවැලි සංස්කෘතියකි. බොහෝ මාධ්‍යයන් මගින් අවධාරණය කෙරෙන්නේ යම් ජාත්‍යන්තරකරණයක් අවශ්‍යව ඇතැයි යන්නයි. අපේ විලාසිතාවන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. සරම කමිසය ඇඳ එසේ විය නොහැක. නව ඉසව් සොයා යා යුතුය. රෙද්ද හැට්ටෙ ඇඳ ජාත්‍යන්තරකරණය විය නොහැක. ඒවා අවශ්‍ය නම් යම් හෙලුවැලි ස්වරෑපයක් ඒවාට ආදේශ කළ යුතු වෙයි. ස්ත්‍රී ස්වරෑපයේ බොහෝ තැන් පෙනෙන ලෙස ඇඳීම ජාත්‍යන්තරකරණය වෙත නැගීමට ඇති පියගැට පෙළෙහි යම් පඩි කිහිපයක් නැග්ගා හා සමාන වෙයි. මෙවැනි විසුක දස්සන දකින ජනතාව ඉඳුරන් සන්සුන් කර ගන්නේ කෙලෙසදැ’යි පැණයකි. සිංහල සමාජය සරල අල්පේච්ඡ ජීවිතයකට හුරුව ලබා තිබුණකි. සිංහල ජීවන ක්‍රමයේ මේ සරල සුන්දරකම දූරිභූත වන බවක් දැන් පෙනී යයි. අප සමෘධිමත් විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අප සමෘධිමත් විය යුතුයි.” (“සිංහල සමාජය හා සංස්කෘතිය” ගුණසිරි වීරසූරිය පිටු 403 සිට 414 දක්වා ඇති කොටසින් උපුටා ගන්නා ලදී)

මුස්ලිම් නොවන සමාජය කෙතරම් දුරට බටහිර සංස්කෘතිය දෙසට ගමන් කොට තිබේ ද යන්න ඉහතින් විස්තර වෙයි. විශ්ව ගම්මානයක ජීවත්වන අපි මෙලෙස වෙනස්වීම වැලැක්වීම ඉතා දුෂ්කර කාර්යයකි. නමුත් මුස්ලිම් නොවන සමාජය බටහිර සංස්කෘතිය වෙත සීඝ්‍රයෙන් ඇදීයාම හේතුවෙන් අපට දකින්නට ඇත්තේ තම ශරීරය ක්‍රමයෙන් නිරාවරණය කරගැනීමේ විලාසිතා තරඟයක් සමාජය තුල ක්‍රියාත්මක බවයි. මෙය රටට හානිකරය. අවාසනාවට මේ පිළිබඳ බහුතරයක් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඉතා මවිතකර තත්ත්වයකි.

ඡායාරූප අන්තර්ජාලයෙනි

 මොහොම්මද් දහලාන්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05