අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී බදු පැනවීම හා ඇතැම් භාණ්ඩ වෙනුවෙන් බදු සහන සැලසීම මෙන්ම එවැනි භාණ්ඩ ලංකා සතොස හරහා අලෙවි කිරිම තුළින් ස්ථාවර මිලක් පවත්වා ගැනීම දේශීය ගොවීන්ට සහන සැලසීම සහ පාරිභෝගික ජනතාවට සහනයක් ආර්ථික වශයෙන් ලබාදීම අරමුණ වේ. මෙවැනි කටයුතු බලාත්මකව සිදුකිරීමට ගැසට් නිවේදන නිකුත් කිරීම දැකිය හැකිය.
ආනයනික භාණ්ඩවලට පනවන බදු හරහා ආණ්ඩුව යම් ආදායමක් ලබන නමුත් එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වරාය පරිශ්‍රයෙන් නිදහස් කර ගැනීමට ඇතැම් ආනයනික ව්‍යාපාරිකයෝ කටයුතු නොකරති. එය එම ව්‍යාපාරිකයන් සිතා මතා කරන කූට ක්‍රියාවකි. එබැවින් අපේක්ෂිත බදු මුදලක් ආණ්ඩුවට හිමිවන්නේද නැත. පවතින ඉඩකඩ හා කාර්යබහුලත්වය මත අනවශ්‍ය පරිදි බහාලුම් වරාය පරිශ්‍රයෙන් තබාගැනීම ගැටලුවකි. මේ නිසා අදාළ භාණ්ඩ තොග වරාය අධිකාරිය මගින් වෙන්දේසියේ විකිණීම සිදුකරයි.
එහිදී අදාළ භාණ්ඩ ආනයනය කළ සමාගම විසින් හෝ ඔවුන්ගේ හිතවතුන්ගේ මාර්ගයෙන් හෝ එම භාණ්ඩ තොග වෙන්දේසියෙන් මිලට ගනිති. එය අදාළ භාණ්ඩ තොගයට නියමිත බදු ගෙවා නිදහස් කිරීමට වඩා අධික ලාභයක් ඇති ක්‍රියාවකි. මෙම කූට ක්‍රමවේදය හේතුවෙන් රජයට හිමිවිය යුතු බදු ආදායම විශාල වශයෙන් අහිමි වන බව වාර්තා වේ. මේ ජාවාරම පසුපස ආනයනික ව්‍යාපාරිකයන් මෙන්ම වරාය අධිකාරියේ දූෂිත නිලධාරීන්ද සිටින බව කියැවේ.
මෙවැනි පසුබිමක රටේ වත්මන් ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය හමුවේ වරායෙන් නිදහස් නොකළ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්දේසියේ අලෙවි නොකර ඍජුවම සතොසට ලබාගෙන ඒ හරහා සහන මිලට පාරිභෝගික ජනතාවට ලබාදීමේ වැඩසටහනකට රජය පියවර ගනිමින් සිට ඇත. මේ සඳහා වෙළෙඳ අමාත්‍යවරයා හා වරාය අමාත්‍යවරයා වෙතින් ඒකාබද්ධ සංදේශයක් යොමුකර ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණි. මෙම කැබිනට් පත්‍රිකාව අනුව පසුගිය ජූලි මස සිට පාකිස්තානයෙන් මෙරට ගෙන්වූ අල, ලූනු, පරිප්පු හා ටින්මාළු වැනි ආහාර ද්‍රව්‍ය සතොස හරහා අලෙවි කිරීම සිදු කෙරිණ.
මේ අතරතුර පසුගිය 9 වැනිදා වරාය අධිකාරිය සහ සතොස ආයතනයේ දූෂිත නිලධාරීන් පිරිසක් එක්ව වරායෙන් මුදාගත් සුදුලූනු බහාලුම් දෙකක් සතොසට ලබාගන්නා මුවාවෙන් වෙනත් ව්‍යාපාරිකයකුට අඩු මුදලකට විකුණා දැමීමට කටයුතු කර තිබිණ. මෙම ජාවාරම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යංශය තුළ උසස් නිලධාරියකුට ලැබුණු තොරතුරක් අනුව එම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත. ඒ අනුව වෙළෙඳ අමාත්‍යවරයාට තොරතුරු දැන්වීමත් සමග සතොස සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීන්ද දැනුම්වත් කොට පොලිස්පතිවරයාට දන්වා පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර තිබිණ. ඒ සමග වෙළෙඳ අමාත්‍යංශය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කොට තිබිණ.
මෙහිදී අනාවරණය වී ඇත්තේ වරායෙන් මුදාගත් සුදුලූනු කිලෝග්‍රෑම් 54,860ක් අඩංගු බහාලුම් දෙකක් කිලෝවකට රුපියල් 105 බැගින් ගෙවා ලබාගෙන ඇති බවය. වරායෙන් ලබාගන්නා ආහාර ද්‍රවය සියල්ල සෞඛ්‍ය අමාත්‍යංශයට හා ප්‍රමිති කාර්යාංශයට ඉදිරිපත් කර මිනිස් පරිභෝජනයට සුදුසු නුසුදුසු බව තීරණය කළ යුතුය. ඒ සඳහා භාණ්ඩ තොගය වැලිසර ප්‍රදේශයේ පිහිටි සතොස තොග ගබඩාවට යවා එහිදී තොගය විසිකර දැමීමට උපදෙස් දී ඇත.
මේ අවස්ථාව වනවිට සතොස සභාපති හා ප්‍රධාන විධායක නිලධාරිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජකාරි කටයුතු සඳහා සහභාගි වෙමින් සිට ඇත. මේ අතර කාලයේ සතොස ප්‍රධාන මූල්‍ය කළමනාකරු හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම්) යන නිලධාරීන් භාණ්ඩ තොගය සඳහා වෙනත් පාර්ශ්වයක් වෙතින් හොර රහසේ මිල ගණන් සාකච්ඡා කර ඇතැයි කියති. ඒ අනුව වරායෙන් රු.105 ගණනේ මිලට ගත් සුදුලූනු කිලෝව රු.135 බැගින් පිටකොටුව තොග ව්‍යාපාරිකයකු වෙත අලෙවි කර තිබුණේ එදිනම රාත්‍රී 10.00ට පමණය. මේ සඳහා සතොස බිල්පතක් නිකුත් වී ඇත. තොරතුරුකරු හරහා වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියකුට සුදුලූනු තොගය ලබාගත් ව්‍යාපාරිකයකුගේ දුරකථන අංකය පමණක් ලැබී තිබිණ. මෙසේ හොරට විකුණා තිබුණේ වෙළෙඳපල වටිනාකම රුපියල් ලක්ෂ 74කට අධික වටිනා සුදුලූනු තොගයකි. එසේ විකුණා තිබුණේ වෙළෙඳපල වටිනාකමට වඩා කිලෝවකට රුපියල් 350ක් අඩුවෙනි
සිදුකළ විමර්ශන අතරතුර අදාළ කන්ටේනර් දෙක නැවත සොයාගෙන අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබිණ. විමර්ශන අනුව සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) බෙදාහැරීම් කළමනාකරු හා වැලිසර තොග ගබඩා කළමනාකරු ඇතුළු නිලධාරීන්ගේ වැඩ තහනම් කොට තනතුරුවලින් නෙරපා හැරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අතර සිදුවීමට සැකපිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අනුව හොර පාරේ විකිණීමට ගිය රුපියල් 74 ලක්ෂයකට අධික වටිනා සුදුලූනු තොගය සතොස වෙත ලබාගැනීමට පියවර ගැණින. වරායෙන් මුදාගත් සුදුලූනු තොගය සතොසට දෙන මුවාවෙන් වෙනත් පාර්ශ්වයකට මුදාහැර ඇති බවට අදාළ සුදුලූනු ගෙන්වූ ව්‍යාපාරිකයන් විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.
සමන්ත ප්‍රදීප් විල්තෙර