සුදුවතින් සැරසී නගරයේ එක් තැනකට රොක්වී දබරැඟිල්ල සහ මහපට ඇඟිල්ල එක්කර එහි රුඳවූ යමක් අතරින් උදෑසන නැඟ එන සූර්යා දෙස බලන මිනිසුන්ගෙන් සුසැඳි රත්නපුරේ නගරයන් දැන් පාළුය. මුහුණ නැති, බල්බය පමණක් ඇති විදුලි පන්දම් අතර මැදිවිය, තරුණ විය ගත කරන සුදුවත හැඳි ජනකොටසින් ශුන්‍යව ගිය සෙසු නගර ද ඔවුන් එනතුරු ඉකිබිඳ හඬනු ඇසෙයි. වෙනදා මෙන් ඔවුන් පිළිගන්නට යළි කවදා හැකිවේද යන්න සැක සහිතය.
රත්නපුර නගරය මුල් කරගෙන අවට පිහිටි ඇහැළියගොඩ, ඉඩංගොඩ හැරනියාවක, නිවිතිගල, පැල්මඩුල්ල, කුරුවිට ඇතුළු උප නගරවල ඒ සුන්දර දසුන් මවමින් මැණික් ලොවේ එක් අනන්‍යතාවක් වූ සුළු මැණික් ව්‍යාපාරික ප‍්‍රජාව ක‍්‍රම ක‍්‍රමයෙන් ක්‍ෂය වී ගොස් අද වන විට නැත්තටම නැතිවී ගොසිනි.
සුළු මැණික් වෙළෙඳුන්ගේ ලෝකය අපූරුය. යන්ත‍්‍රානුසාරයෙන් මැණික් කපන්නට අවසර දෙන්නට පෙර සුළු මැණික් වෙළෙන්දා සමාජයට කළ මෙහෙය සුළු පටු නොවීය. පසුකාලීනව සාම්ප‍්‍රදායික තට්ටුපතල් මැණික් කර්මාන්තයෙන් නැතිවී ගියේ ඒ සුළු මැණික් ව්‍යාපාරිකයන් ද සමඟය.
ශේෂව සිටි සුළු මැණික් වෙළෙඳුන් අතළොස්ස ද දෙවසරක් තිස්සේ රටට බැට දෙන කොවිඞ්-19 වෛරසය හමුවේ මරණ මංචකයේ සුසුම්ලමින් ජීවිත අයදිති.
මැණික් ලෝකයේ සාමාන්‍ය ජනතාව සමඟ උරෙනුර ගැටෙන්නේ මේ සුළු මැණික් වෙළෙන්දාය. පලයකාට් සුදු සරමින් සහ දුහුල් සුදු කමිසයෙන් සැරසී උඩ සාක්කුවේ ඉහළම මුදල් නෝට්ටුව පිටතට පෙනෙන කමිස ඇඳ සිටින ඒ අපූරු චරිත මේ ව්‍යවසනයත්, ඊට සමගාමීව රටට අගුළු දැමීමට සමාන නිරෝධායන ඇඳිරි නීතියත් සමඟින් ආර්ථික අගාධය තුළටම ඇද වැටී සුසුම් ලති.
‘‘ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය මැණික් කර්මාන්තයට කණකොකා හැඬීය. යුරෝපයේ සහ අමෙරිකාවේ මැණික් ප‍්‍රදර්ශන, වෙන්දේසි නොපැවැත්වීම රටේ විදේශ විනිමය නොලැබීමට සහ මැණික් කර්මාන්තයේ නියැළි දස දහස් ගණනකගේ එදිනෙදා ආදායමට මරුපහරක් එල්ල කළේය. මැණික් පතල් කම්කරුවන්, මැණික් පතල් කර්මාන්තය ආශ‍්‍රිත සැපයුම්කරුවන්, ඒ ආශ‍්‍රිත කාර්මිකයන්, විවිධ පහසුකම් සපයන්නන්, සුළු සහ මධ්‍ය පරිමාණ මැණික් ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයන්, මැණික් ගල් කපා ඔපදමන ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන්, ඔවුන්ගේ කර්මාන්තශාලාවල මැණික් කපා ඔප දමන ශිල්පීන් සහ ශිල්පිනියෝ වර්තමානයේ විශාල අවුලකට පත්ව සිටිති.’’ මැණික් කර්මාන්තයේ නියැලී සිය ප‍්‍රධාන ජීවනෝපාය කරගත් සෑම කෙනකුගේම කතාව එයයි.
රත්නපුර, මාතලේ, කළුතර, මොණරාගල, කොළඹ, ඇතුළු දිස්ත‍්‍රික්ක ගණනාවක අඩු වැඩියෙන් ජනයා මැණික් කර්මාන්තය නිසාම ජීවිත සරි කර ගනිති. ඒ ඍජුව සහ වක‍්‍රවය.
මැණික් ව්‍යාපාරය නිවර්තන වැසි වනාන්තරයක් බඳුය. වනාන්තරයෙන් යැපෙන සත්ත්ව විශේෂ අති මහත්ය. මැණික් කර්මාන්තය ද එසේමය. මැණික් කර්මාන්තයට ඍජුව සම්බන්ධ නොවන ඇතැම් ක්‍ෂේත‍්‍ර යැපෙන්නේ මැණික් කර්මාන්තය නිසා බව වැටහෙන්නේ මැණික් කර්මාන්තයට කණකොකා හඬන විටදීය.
දේශපාලනඥයන්, ආගමික ස්ථාන, ගමේ නගරයේ විවිධ වූ පොදු සංවිධාන, පාසල්, ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය, ආදී වූ කී නොකී බොහෝ ප‍්‍රජා සමූහයන් ඔවුන්ගේ විවිධ ක‍්‍රියාකාරකම් සම්පූර්ණ කරගන්නේ මැණික් කර්මාන්තය ආශ‍්‍රිත ව්‍යාපාරික ප‍්‍රජාව නිසාවෙනි. අද ඒ සියලු දෙනාම එකී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මහත් වූ අරගලයක නිරතව සිටිති.
කොවිඩ් වසංගතය නිසා මීටරයේ දුරස් බව, මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම තුළ පතල් කර්මාන්තයට සෞඛ්‍ය ගැටලුවක් මතුව තිබේ. අඩි හයයි හතරේ දිග පළල මහපොළොව තුළට කැණීම් කරන පතල් වළක් තුළ මීටරයේ දුරස් බව තබාගත නොහැකිය. වතුර පිරි පතලක කටයුතු කිරීමේ දී මුව අවාරණය පැළඳ වැඩ කිරීම ද කළ නොහැක. එක්ව ආහාර ගැනීම නොකළ යුතුය යන කොන්දේසිය රුකෙන්නේම නැත. පිඟාන කෝප්පය පොදුවේ භාවිත වීම වැළැක්විය නොහැකිය. මේ නිසා පතල් කැපීම කොවිඩ් ව්‍යාප්තියට ඉනිමං තැබීමකි.
මේ නිසා පතල් කැණීම් කටයුතු කළ නොහැකිය. එදා මෙන් හවුලට වැඩ නොකර දෛනික කුලියට වැඩ කරන පතල් කාර්මිකයන් අද බහුලය. පතල් කර්මාන්තය සෞඛ්‍ය නීති අනුව කළ නොහැකි නිසා පතල් කම්කරුවන්ට අද වැඩ නැත. පතල් වැඩ නැති නිසා තට්ටුපතල්වලට දැව, කැකිල්ල වැනි සම්පත් අමුද්‍රව්‍ය සපයන්නන්ට ආදායමක් නැත. පතල් ආශ‍්‍රිතව භාවිතයට ගත් යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කළ කාර්මිකයන්ට, ක්‍ෂේත‍්‍රයට අදාළ රියැදුරන්ට වැඩ නැත. පතල්වල වැඩ කරන අයට තේ ටික, කෑම ටික දුන් ගමේ තේ කඩය වැසී ගොසිනි. එයට රසකැවිලි, කෑම බීම හදා එවූ ගමේ ස්වයංරුකියාවල නියුතුවූවන්ට ආදායමක් නැත.
මැණික් ගලක් විකුණා ගත් තැරුව්වෙන් ගෙදරට අඩුම කුඩුම ටිකක් ගෙන ගිය ගමේ සිල්ලර කඩේ පවත්වාගෙන යන වෙළෙන්දාගේ ආදායම අද හරි අඩකින් පමණ අඩුය. මැණික් ව්‍යාපාරිකයන්ගේ ගෙවල් දොරවල්වල, වතුපිටිවල කුලී මලී වැඩ කළ වැඩි දෙනකුට ඒ වැඩ නැති නිසා ඔවුන් ද පත්ව ඇත්තේ දුක්ඛිත ඉරණමකටය.
මධ්‍යම සහ මහා පරිමාණ මැණික් ව්‍යාපාරිකයන් ද සිය වියදම් සීමා කර ඇත. ඒ ඔවුන්ගේ ආදායම් මාර්ගයන් ද ඇහිරී යාම නිසාවෙනි. ආදායමට වඩා සංචිත ධනය වැය කරන්නට අද ඔවුන්ට සිදුව තිබේ. මේ නිසා වැඩි වියදම් කපා හරින්නට සිදුව ඇත. එය මරුපහරක් වී ඇත්තේ මැණික් ව්‍යාපාරිකයන්ගේ අනුග‍්‍රහය ලබා විවිධ පොදු ක‍්‍රියාකාරකම් කළ ගමේ ප‍්‍රජාවටය. ඒ නිසා ගම්වල ක‍්‍රියාත්මක බොහෝ පොදු සේවාවන් දැන් ඇනහිට තිබේ.
‘අප කන හැටි ලිපා දනී’ දැන් මැණික් කර්මාන්තයේ පහළ මට්ටමේ යැපෙන්නන්ගේ සත්‍ය තත්ත්වය එයයි. නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි සුළු මැණික් ව්‍යාපාරිකයකු පැවසුවේ තමන් දැන් විශාල ආර්ථික පීඩනයකින් පෙළෙන බවයි.
‘ඇත්තටම මැණික් කර්මාන්තයේ නිරත අපි අද නට්ටං වෙලා කිව්වොත් වැරදි නෑ. මේක අපිට වගේම තමයි ලොකු මැණික් වෙළෙන්දටත් එහෙමයි. සංචිත ධනය මිලියන ගණන් තියෙන, විවිධ ආයෝජනවලින් මාසකට මිලියන ගණන් එන ව්‍යාපාරිකයන්ට මේ වාතාවරණය ගැටලුවක් නෑ. ඒ වුණාට මැණික් අපනයනය කරන ව්‍යාපාරිකයන්ට ගැටලුවක්. ඉස්සර මැණික් මිලදී ගත්තු ධන කුවේරයන් දැන් මැණික් දිහා බලන්නේ නෑ. ඒ නිසා මැණික් ගල්වල මිලත් 80෴කින් පහළට බැහැලා. ඉස්සර අපිත් ආදායම් බදු ගෙව්ව මිනිස්සු. දැන් කෝ අපිට ආදායමක්. පතලකින් ශත පහක් ගත්ත කාලයක් මතක නෑ. ආදායම් බින්දුවට බැස්සම බදු ගෙවන්නේ කොහොමද? වෙනදාට අපි මේ වගේ අලකලංචියක් වුණාම අපේ දේපළක් විකුණලා ඒ ගැටලුවට විසඳුම් ගන්නේ කාටවත් නොදැනෙන්න. දැන් දේපළක් විකුණන්නේ කාටද? ගන්න ගැණුම්කරුවෝ ඉන්න එපායැ.
ඉස්සර අපේ කෑමවේලකට මස් මාංශ වරදින්නේ නෑ. අතුරුපස ඇතුළු දවසේ කෑම විවිධයි. අද ඒ හැම එකක්ම අපිට කළමනාකරණය කරන්න වෙලා. මේ ව්‍යවසනය එන්න පෙර ආහාරපානවලට වැය කළ මුදලින් 50෴ක් කපා දමන්න වෙලා. පිනට දහමට දෙන දේවල් 75෴කින් කපා දාන්න වෙලා. යාන වාහනවල ගමන් බිමන් සීමා කරන්න වෙලා. අඹුදරුවන්ගේ අතිරේක වියදම් 80%කින් අඩු කරන්න වෙලා.
අපෙන් යැපුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ගැන අපිට අනිවාර්යයෙන් බලන්න වෙනවා. නමුත් ඒ අයටත් දෙන දීමනාවන් අඩු කරන්න වෙලා තියෙනවා. අපිට ආදායම් ආ බොහෝ මාර්ග ඇහිරිලා. කාර් එකෙන් ගිය ගමන බිමන, යතුරුපැදියෙන් යන තත්ත්වයට අපිට කළමනාකරණය කරන්න වෙලා. ඒ වුණාට අපේ චර්යාවන්, වියදම්, එදිනෙදා වැඩ කටයුතු වෙනස් කළොත් අහවලා බංකොලොත් වගෙයි කියන ලේබලය ඇලවෙන්න ඉඩ තියෙනවා. ඊට ඉඩ නොතැබිය යුතුයි. ඒක නිසා මැණික් කර්මාන්තයේ ව්‍යාපාරික ප‍්‍රජාවට අද දැලිපිහියෙන් කිරි කන්න වෙලා තියෙන්නේ.* නම් හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි මැණික් ව්‍යාපාරිකයන් පිරිසකගේ හෙළදරව්ව එය විය.
යමක් කමක් හම්බකරගත් මැණික් කර්මාන්තයේ නියැලි සමහර අයගේ දරුවන් උසස් අධ්‍යාපනය ලබන්නේ විදෙස් රටවලය. කොරෝනා ව්‍යවසනය ඇතිවූ මුල් වකවානුවේ යළි මව් රටට ආ එම දරුවෝ අධ්‍යාපනය සම්පූර්ණ කරන්නට නොහැකිව පසුවෙති. ඒ සඳහා විදෙස් අධ්‍යාපන ආයතනවලට ගෙවූ මුදල් ආපසු ගන්නට ද නොහැකිය. රටට නොපැමිණ විදෙස් රටවල නැවතී ඉන්න දරුවන්වගේ වියදම් යවා ගන්නට පවා බැරි මට්ටමට පත් මැණික් කර්මාන්තයේ පිරිස් සිටිති.
ලීසිං සහ වෙනත් මූල්‍ය පහසුකම් යටතේ මිලදී ගත් සුඛෝපභෝගී වාහනවල වාරික ගෙවාගන්නට බැරිව පසුවන පිරිසක් ද මැණික් ක්ෂේත‍්‍රයේ සිටිති. මැණික් කර්මාන්තය හේතුවෙන් රටට ලැබුණු විදේශ ආදායම ද දැන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී. විදේශ රටවල ගැනුම්කරුවන්ට මැණික් අලෙවි කරන ජාත්‍යන්තර මැණික් වෙළෙඳාම ද අද පවත්වන්නට සිදුව ඇත්තේ මාර්ගගත ක‍්‍රමයටය. එහෙත් එසේ ගනුදෙනු සිදුවන්නේ යම් මිල පරාසයකට පහළ මැණික් සඳහා පමණය. මැණික් සමඟ එකට අත්වැල් බැඳගත් ස්වර්ණාභරණ කර්මාන්තයට උදා වී ඇත්තේ ද එවැනිම තත්ත්වයකි.
I අජිත්ලාල් ශාන්තඋදය