පසුගිය 8දා රජයේ නිවේදනය පරිදි භාණ්ඩ 623ක් වෙනුවෙන් 100%ක ආන්තික තැන්පතුවක් ඒවා ආනයනය කිරීමේදී තැබිය යුතු බවට නියම කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අනුව නම්කර ඇති මෙම භාණ්ඩ 623 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස සඳහන් කර තිබේ. මෙලෙස 100%ක ආන්තික තැන්පතුවක් භාණ්ඩ පිටරටින් ඇණවුම් කිරීමට පෙර ගෙවිය යුතු බවට නියම කර ඇත. රජය මේ පිළිබඳ නිවේදනය කර ඇත්තේ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා මෙම කොන්දේසිය පනවා ඇති බවකි. මෙවැනි නීතියක් පැනවීමේ රජයේ අරමුණ වන්නේ දැනට රට පෙළෙන ඩොලර් හිඟය යම් පමණකට හෝ අවම කර ගැනීමය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසුවේ මෙයින් සිදුකර ඇත්තේ බත් ඇති තැනටම කොස්ද බෙදන තත්ත්වයක් බවය. තමන් වැනි අයට විශාල මුදල් යටකර ආනයනය කිරීමට පහසුකම් නැති නිසා භාණ්ඩ ඇණවුම් කර එය ලැබෙන තුරු කෙසේ හෝ මුදල් එකතු කර ඒවා ලැබුණු පසු අලෙවි කර තමන් ගත් ණය මුදල් පවා පියවන බවය. බොහෝවිට ඔවුන් කරන්නේ අතේ රෝලකි. අලුත් කොන්දේසි නිසා තමන්ට ආනයන කටයුතුවලින් ඉවත් වී මහා පරිමාණ මුදලාලිලා කිහිප දෙනකුට ආනයනය බාරදීමට සිදුවන බව ඔවුහු කියති.
ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ භාණ්ඩ අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ලෙසට වර්ග කිරීමට මුදල් අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවය. යම් භාණ්ඩයක් තමාට අතවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන යනුවෙන් තීරණය කළ හැක්කේ එය පාවිච්චි කරන්නාට මිස වෙනත් පාර්ශ්වයකට නොවේ. කෙනකුට අත්‍යවශ්‍ය වන භාණ්ඩය තව කෙනකුට අනවශ්‍ය වෙයි. ශීත පළාත්වල වාසය කරන අයට සීතලෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ලොම් කබා ආදිය උෂ්ණ ප්‍රදේශවල සිටින අයට අවශ්‍ය නොවේ. මේ ආකාරයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ස්ථානයෙන් ස්ථානයට භාණ්ඩය අවශ්‍ය හෝ අනවශ්‍ය වෙයි. ඒ නිසා මෙලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස වර්ග කිරීම අසාධාරණ බව ඔවුහු කියති.
හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් තනතුර හැර යාමට පෙර මාධ්‍යයට පැවසුවේ සම්බාධක පැනවූ මෙම භාණ්ඩ 623 ගැන මාස ගණනක් තිස්සේ සාකච්ඡා කර අවශ්‍ය වෙනස් කිරීම් කර අවසානයට එකඟත්වයට පත්වූ බවය. මෙම නීතිය ක්‍රියාත්මක වූවාට පසු සමාලෝචනය කර යම් සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම් ඉදිරියේදී ඒවා කළ හැකි බවද හිටපු අධිපතිවරයා පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වර්තමානයේ මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ මෙම ක්‍රියාමාර්ගය නිසා භාණ්ඩ මිල ඉහළ යාමට කිසිදු හේතුවක් නොමැති බවය. අතිරේක ආනයන බද්දක් පැනවූවා නම් භාණ්ඩ මිල ඉහළ යාවි යැයි සිතිය හැකි නමුත් මෙහිදී ආන්තික සීමා පැනවූවා මිස බදු ඉහළ දැමීමක් සිදු නොකළ බව ඔහු කියයි.
මෙහිදී කිසිදු බදු වැඩි කිරීමක් හෝ ආනයන බද්දක් පනවා නැහැ. එසේ කළා නම් රජයේ බදු ආදායම වැඩිකර ගන්න තිබුණා. එහෙත් එසේ කළේ නැහැ. මෙම භාණ්ඩවලට මුලින් තිබූ බදු ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. ආනයන තහනම් කරලා නැහැ. සිදුකර ඇත්තේ ආනයනය කරන ක්‍රමවේදය වෙනස් කිරීම පමණයි. ඒ අනුව භාණ්ඩවල වටිනාකම මුලින් ගෙවිය යුතු වෙනවා. එවිට අවශ්‍යම අය පමණයි ගෙන්වන්නේ. අනවශ්‍ය ලෙස සෑම දෙනාටම ආනයනය කළ හැකි වන්නේ නැහැ. අනිත් අතට මෙලෙස මුදල් යටකර ගෙන්වන විට රටට අවශ්‍ය පහසුවෙන් අලෙවි කරගත හැකි දේ පමණයි ගෙන්වන්නේ. අඩු මිලට බාල දේවල් ගේන්නේ නැහැ
මෙම භාණ්ඩ 623 ඉතා සුපරීක්ෂාකාරීව තෝරා බේරාගෙන තමයි මෙලෙස 100%ක ආන්තික පිරිවැයක් නියම කළේ. එයින් බැලූ බැල්මට යම් අහිතකර තත්ත්වයක් පෙනෙන බව සමහරුන් කිව්වත් එයින් යහපතක් තමා වෙන්නේ.* ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ දසිල්වා පවසන්නේ මෙම තීරණය මගින සිදුවන්නේ දැනටමත් භාණ්ඩ මිල වැඩිවීමෙන් හිරිහැරයට පත්ව ඇති ජනතාව කබලෙන් ලිපට වැටීම බවයි. එයට හේතුව මේ නිසා තවදුරටත් මිල මට්ටම ඉහළ යාම සිදුවීම බව ඔහු පෙන්වා දෙයි.
ආනයනයට අපේක්ෂිත භාණ්ඩවල මුළු වටිනාකම 100%ම තැන්පත් කිරීමට ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුට හැකි වන්නේ නැහැ. කිහිප දෙනකු පමණක් වන අතලොස්සක අතට මෙම භාණ්ඩ ආනයන වෙළෙඳපොළ පත්වෙනවා. ඒ නිසා ගෙන්වන අය අඩු වෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම සහ හිඟවීම නිසා හැත්තෑව දශකය වගේ පෝලිම් යුගයක් ඇතිවෙනවා. මෙම කෙටිකාලීන ක්‍රමවලින් අද දරුණු ලෙස කඩා වැටුණු අපේ ආර්ථිකය ගොඩ දැමිය නොහැකියි. මෙයින් සිදුවන්නේ ජනතාවගේ නිදහස අහිමි කිරීමක් හා වෙළෙඳපොළ කිහිප දෙනකු අතට පත්වීමයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු හා ආර්ථික විශ්ලේෂකයකු වන ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මේ පිළිබඳ සාකච්ඡාවක නිරත වෙමින් මුලින්ම පැවසුවේ රජය මේ පිළිබඳ කළ නිවේදනයේ සඳහන් වූයේ ආන්තික පිරිවැය යනුවෙන් නමුත් එම හැඳින්වීම සාවද්‍ය බවය. මෙම පදය තනාගෙන ඇත්තේ ආර්ථික විද්‍යාවේ එන Marginal cost යන වචනය පරිවර්තනය කිරීමෙන් නමුත් මෙහිදී යොදාගත යුත්තේ ආන්තික පිරිවැය යන වචනය නොව මුළු වටිනාකම යන පදය වේ. එලෙස එය නිවැරදි කළ යුතු අතර එවිට සාමාන්‍ය ජනතාවට වුවද වටහා ගැනීමට පහසු වන බව ඔහු කියයි.
යම් භාණ්ඩයක හිඟයක් ඇතිවේ යැයි විශ්වාස කරන පාරිභෝගිකයා එය ඉදිරි අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වැඩිපුර මිලට ගෙන තබාගැනීමට පෙළඹෙන අතර එය ආර්ථික විද්‍යාවේ හඳුන්වනනෙ සමපේක්ෂණය යනුවෙනි. මෙලෙස භාණ්ඩ ආනයනය අකර්මණ්‍ය කිරීම නිසා ඉදිරියේදී හිඟයක් හා මිල වැඩිවීමක් ඇතිවන බව උපකල්පනය කරන අය ණයට මුදල් ලබාගෙන හෝ ඒවා මිලට ගෙන තබාගැනීමට උනන්දු වන අතර ඒ හේතුවෙන් කෘත්‍රිම ඉල්ලුමක් නිර්මාණය වන බව ඔහු පවසයි.
මේ වසරෙ මුල් මාස 7 තුළ 80%ක පමණ භාණ්ඩ පිටරටින් ගෙනත් තියෙනවා. මේ අවුරුද්ද තුළ එම වේගයට භාණ්ඩ ගෙනාවොත් රටේ අවශ්‍යතාවයෙන් අවුරුදු 1 ½ක පමණ භාණ්ඩ ආනයනය කරනවා ඇති. එසේම දේශීයව නිපදවනවා යැයි කියන බොහෝ භාණ්ඩවල අමුද්‍රව්‍ය සියල්ල ආනයනය කරනවා. උදාහරණයක් ලෙස ගතහොත් ඇඟලුම් නිෂ්පාදනයේදී ඉඳිකටුව, බොත්තමේ පටන් 60%ක් ගෙන්වන්නේ පිටරටින්. පාවහන් ගැන කතා කළොත් සම් සහ අඩි ඇතුළු බොහෝ කොටස් ආනයනය කරනවා. ජංගම දුරකතන වගේ දේවල් කෙසේවත් මෙරට නිෂ්පාදනය කළ නොහැකියි. ඒවායේ තාක්ෂණය මෙන්ම මෝස්තරයද වසරෙන් වසර වෙනස් වෙනවා. ඒ නිසා මෙම ආනයන රෙගුලාසි නිසා දේශීය ආර්ථිකය ශක්තිමත් වන බවට නගන තර්කය ප්‍රලාපයක් පමණයි. දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරනවා නම් එය කල් ඇතිව සැලසුම් කිරීමයි සිදුවිය යුතුව තිබුණේ. එය ආරම්භයේදීම කළ යුතුව තිබුණු දෙයක්. දැන් මෙවැනි ආනයන අකර්මණ්‍ය කිරීම්වලින් සිදුවන්නේ අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීම වගේ දෙයක්. මෙලෙස ආනයන පාලනය කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගන්න කොහොමවත් පුළුවන් වෙන්නේ නැහැ.
මෙහිදී සිදුවන්නේ නිත්‍යනුකූලව කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ආනයනකරුවන් අමාරුවේ වැටීමක්. ඔවුන් ව්‍යාපාරවලින් ඉවත් වේවි. අනිත් අතට මෙය කපටි ව්‍යාපාරිකයන්ට උඩගෙඩි දීමක්. ඔවුන් හොර පාරවලින් මෙම භාණ්ඩ රට තුළට ගෙන ඒමට උත්සාහ කරනවා ඇති. හවාලා වලින් සල්ලි යවලා භාණ්ඩ ගෙන්වනවා. දැනටමත් අපේ රටේ අවිධිමත් ක්‍රමයට විශාල භාණ්ඩ තොගයක් ආනයනය කර නියමාකාරව ගෙන්වන අයගේ මිලට වඩා අඩු මිලට විකුණනවා. මේ තත්ත්වය තවත් තීව්‍ර වීමක් තුළින් නිර්මාණය වනවා ඇති. 70 සිට 77 දක්වා ආනයන අකර්මණ්‍ය කළ කාලයේ මුදල් පිටරට ගියේ ට්‍රන්ක පෙට්ටිවල දමලයි. ඒත් අද තරම් තාක්ෂණය දියුණු කාලයේ එලෙස ට්‍රන්ක පෙට්ටිවල මුදල් නොයැව්වාට එයට වඩා දියුණු විවිධ තාක්ෂණික ක්‍රම තියෙනවා. ඒ අනුව රජය හරහා නොයවුවාට හොර පාරේ යවා භාණ්ඩ ගෙන්විය හැකියි. රේගුවේදි භාණ්ඩ පරීක්ෂා කළාට ගෙන්වන ක්‍රම ගැන සොයන්නේ නැහැ. ඒ නිසා මෙලෙස නීති දමලා පාලනය කර බලාපොරොත්තු ප්‍රතිඵල ගන්නට හැකි නොවෙයි. මෙහිදී සිදුවන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශාල කැළඹීමක් ඇතිවෙලා සියලු දෙනාම කලබලයට පත්වීම පමණයි. කපටි ව්‍යාපාරිකයන් විකල්ප ක්‍රම යොදාගෙන මුදල් සොයනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න
&වාණිජ බැංකුවලින් ණයවර ලිපි ලබාගෙන භාණ්ඩ ආනයනය කරන්නන් අධෛර්යමත් කිරීමයි මෙම නියෝගවල අරමුණ වන්නේ. දැන් වුවද පිටරටවල් සමහර භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කරන්නේ ඒවා ඇණවුම් කළාට පසුවයි. සමහර භාණ්ඩ අපේ පිවිතරවලට අනුකූල වන ලෙස නිෂ්පාදනය කරනවා. ඒවා අපේ වරායට එන විට ප්‍රමාද වෙනවා. ඇතැම් වෙලාවට මාස තුනක් පමණ ගතවිය හැකියි. ඇතැම් බැංකු ව්‍යාපාරිකයන් සමඟ ඇති විශ්වාසය මත එම අවස්ථාවේ ඇති විනිමය අනුපාත අනුව මුළු භාණ්ඩ තොගයේම වටිනාකමට ණයවර ලිපි නිකුත් කරනවා. සමහර අවස්ථාවල කොටසකට මුදල් ලබාගෙන ඉතිරි ශේෂය ණයවර ලිපිවලින් ආවරණය කරනවා.
එහෙත් දැන් මේ අලුත් රෙගුලාසි අනුව භාණ්ඩවල මුළු වටිනාකම එය ඇණවුම් කරන ඇසිල්ලේම බැංකුවලට ගෙවිය යුතු වෙනවා. කල් දෙන්නේ නැහැ. එකවර ගෙවිය යුතුයි. ව්‍යාපාරිකයන්ට එකවර මුදල් ගෙවීමට නොහැකි අවස්ථාවලදී ණය ගන්න සිදුවෙනවා. වාණිජ බැංකු ණය නොදෙන නිසා පිටින් වැඩි පොලියට ගත යුතු වෙනවා. මෙහිදී සිදුවන්නේ මෙසේ මුදල් යට කළ හැකි ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ඉතිරි වී අනෙකුත් සුළු ව්‍යාපාරිකයන් ක්ෂේත්‍රයෙන් ඉවත් වීමයි. තරගය නැතිවෙලා අතලොස්සකගේ කතිපයාධිකාරී වෙළෙඳපොළක් ඇතිවෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම අනිවාර්යයෙන් සිදුවෙනවා. එසේ කළ යුතු වන්නේ මාස ගණනක් යට කර තිබෙන මුදල්වලට පොලියක් ගෙවිය යුතු වීමයි. ඒ පොලියද බිලට එකතු වෙනවා.
ආණ්ඩුව පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ විනිමය රුකගැනීමට ගත් සියලු පියවර අසාර්ථක වී තිබෙනවා. දැන් හඳුන්වා දී ඇති ක්‍රමයද තාවකාලිකයි. අසාර්ථකයි. මෙය හැම දිනම කළ හැක්කක් නොවෙයි. මෙම තත්ත්වය රජය පවසන පරිදි දේශීය ආර්ථිකය නංවාලීමට උපකාරී වන්නේ නැහැ. මේ නිසා මෙරට නිෂ්පාදන වැඩි වන්නේ හෝ ඒවායේ ප්‍රමිතිය ඉහළ යන්නේ නැහැ. පාරිභෝගිකයා කැමැති හොඳ බඩු ගන්නයි. ඉහළ නිමාවකින් යුතු දේවලට ආකර්ශනය වෙනවා. දේශීය නිෂ්පාදනවල තත්ත්වය අනුව ඒවාට යන්නේ අඩුවෙන්.
මෙම භාණ්ඩ 623 ආනයනය කිරීමට කොන්දේසි දැම්මා කියා ඒවා රටට ගෙන ඒම නවතින්නේ නැහැ. මුදල් තිබෙන සුපිරි ව්‍යාපාරිකයන් 100% මුදල් අත්තිකාරම් ලෙස ගෙවලා ගෙනත් වැඩි මිලට අලෙවි කරාවි. නීත්‍යානුකූල නොවන විදියට අවිධිමත් ලෙස ගෙනත් අඩු මිලට අලෙවි කරාවි. ඒත් ඒ භාණ්ඩ ගුණාත්මක බවෙන් ඉහළ නැහැ. මෙහිදී සිදුවන්නේ ඇති හැකි අය මතු වී නැති බැරි අය යටපත් වී යාමයි. බලාපොරොත්තු වන තරම් බදු ආදායමක් රජයට ලැබෙන්නේ නැහැ. දැනට පවතින ආනයන ආදායමද තවත් පහළ යාමයි සිදුවන්නේ.
අපේ රටේ මේ ඩොලර් අර්බුදය කොවිඩ් නිසා ඇතිවූවක් නොවෙයි. එයට පෙර සිට දිගටම පැවත එන දෙයක්. අයහපත් ආනයන අපනයන කළමනාකරණය නිසයි මෙය සිදුවන්නේ. කොවිඩ් නිසා සිදුවූවා නම් බංගලාදේශය වැනි රටවලටත් මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙන්න ඕනෑ. ඒත් එහෙම වෙලා නැහැ. මෙවැනි පටු තීරණවලින් හැකි තරම් දුරට වැළකී සිටීම වැදගත්.
යසවර්ධන රුද්රිගූ