2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ආණ්ඩුව ඇතුළේ අර්බුදයකට ගිය අමෙරිකාව ඒක්ක ගහපු එල්.එන්.ජී. ගිවිසුම

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 44

මේ දිනවල ආණ්ඩුවට එල්ලවන ලොකුම චෝදනාව වන්නේ කෙරවළපිටිය යුගදනවි බලාගාරය ඇමරිකාවට විකිණීම ගැනය. මහා භාණ්ඩාගාරය, සේවක අර්ථසාධක අරමුදල, ලෙකෝ පෞද්ගලික සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම ආයතය යන රාජ්‍ය ආයතන හතරකට අයත් මෙම බලාගාරයෙන් මහා භාණ්ඩාගාරයට අයත් කොටස් 40ක් මුදල් අමාත්‍යංශය මැදිහත්ව විකුණා දමා ඇති බව මේ චෝදනාවේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් යෝජනාව පසුගිය ජූලි මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම සිද්ධිය කරළියට ගෙන එනු ලැබීය. එහිදී සඳහන් කර සිටියේ දැනට මෙගාවොට් 300 ක දායකත්වයක් ජාතික විදුලි බල පද්ධතියට ලබාදෙන, එසේම තවත් අදියර දෙකක් යටතේ මුළුමනින්ම මෙගාවොට් 1000ක දායකත්වයක් ලබාදීමට නියමිත මෙවැනි බලාගාරයක් ඇමරිකාවට විකිණීම බරපතළ තත්ත්වයක් බවය. විශේෂයෙන් 2035 වසරේදී මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට අයත් වීමට ඇති මෙවැනි බලාගාරයක් විකිණීම ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාගේ ඇමරිකානු ගැතිභාවය පෙන්නුම් කරන්නක් බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. විශේෂයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මේ රටේ සියලුම ඩීසල් බලාගාර එල්.එන්.ජී බලාගාර බවට පත්කිරීමේ ව්‍යාපෘතිය මත අදාළ ගෑස් නළ පද්ධතිය ආරම්භ කිරීමත්, එසේම පාවෙන ගෑස් ගබඩා එම භූමියේම පවත්වාගෙන යාමේත් ව්‍යාපෘති රුසක් ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදී මෙලෙස විකිණීම රටට විශාල සම්පතක් අහිමිවීමක් බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. අවසානයේ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ මුදල් අමාත්‍යංශයට පවා ගියෝය.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් පිරිස් අදහස් දක්වමින් කියා සිටියේ මෙම බලාගාරයේ කොටස් මිලදී ගන්නා ඇමරිකානු සමාගම මෙරටට පැමිණෙන්නේ මේ හරහා මන්නාරම් ද්‍රෝණියේ කැනීම් කටයුතු කරන ස්වභාවික ගෑස් සම්පත කොල්ලකාගෙන යාම සඳහා බවය. මන්නාරම් ද්‍රෝණියේ ඝණ මීටර් ට්‍රිලියන නවයක ගෑස් සම්පත ඇමරිකාව සතු කරගැනීමත්, එසේම මෙරට විදුලි බල පද්ධතියෙන් මෙගාවොට් 2000ක තනි ඒකාධිකාරයක් තමන් සතු කර ගැනීමත් වෙනුවෙන් මෙම මිලදී ගැනීම ඇමරිකාව විසින් සිදුකරන බව ඔවුන්ගේ මතය විය.
මෙම අදහස් සමඟ බලන කල මෙම බලාගාරය මිලදී ගැනීම යටින් ඇති බරපතල සම්පත් කොල්ල කෑම සුළු පටු නැත. ස්වාභාවික ඛනිජ තෙල් ගෑස් ලැබීම වාසනාවක් වන අතර ඒ වාසනාවේ ප්‍රතිලාබ ගැනීමේ අයිතිය ඇත්තේ ඒ රටේ ජනතාවටය. කෙසේ වෙතත් යම් ආකාරයකින් එය අහිමි කරනවා නම් එය පාලකයන්ගේ වැරුද්දක්ම විය යුතුය.
මෙම බලාගාරය විකිණීම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවේ කිසිවකු ඉදිරිපත් වුයේ නැත. වගකිවයුතු කිසිවෙක් ඒ සම්බන්ධයෙන් හරි අදහසක් කීවේ නැත. එහෙත් දැනගන්නට ලැබුණු ආකාරයට ආණ්ඩුවේ සහයක පක්ෂ කීපයක නායකයන් පිරිසක් ඊට විරෝධය පා තිබේ. ඒ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද සිටි බව දැනගන්නට ඇත. එහෙත් මේ කිසිවකු එළිපිට ඊට විරෝධය පැවේ නැත.
කෙසේ වෙතත් මේ බලාගාරය විකුණා ඇති බවට ගෙවුණු සතියේ ආරම්භයේ ප්‍රචාරය වීමත් සමඟ මුල් දිනක ආණ්ඩුවේ සහයෝගී පක්ෂ සුපුරුදු හමුවීම කොළඹ සමසමාජ පක්ෂ කාර්යලයේදී පැවැත්විණි. එහිදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබූ අතර එහිදී එළියට පැමිණි මැති ඇමතිවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියත් ඔවුන් සඳහන් කර සිටියේ ඉදිරියේ ගන්නා ක්‍රියාමාර්ග බලමු යැයි කියාය. වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසුකළ මාධ්‍යවේදීන් ඔහු සඳහන් කර සිටියේ තමන් වැනි නායකයන් සිටියදීත් මෙවැනි දෑ සිදුවීම පුදුමයක් බව කියාය. එහෙත් කිසිවකු ඊට විරුද්ධව 
මතවාදයක් ඉදිරිපත් කෙළේ නැත.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම පක්ෂ කණ්ඩායම ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසුව සාකච්ඡා කරන බවද දැනගන්නට ඇත. අභ්‍යන්තරික වශයෙන් ඔවුන් මීට විරුද්ධ බවත් මෙම ගිවිසුම හකුලා ගන්නා ලෙසටත් ඔවුන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් කරුණු විමසීමට උත්සහ කළත් ඔහු විදේශ ගතව සිටීම නිසා සම්බන්ධ කර ගැනීම අසීරු විය. එහෙත් දැනගන්නට ඇති ආකාරයට ඔහුද මීට විරුද්ධවී ඇති අතර මෙම විකිණීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඔහු දැන සිට නැත. එහෙත් එය පිළිගත හැකිද යන්න ගැටලුවකි.

එපමණක් නොව මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් තවම ආණ්ඩුවේ වගකීම් සහගත අමාත්‍යවරයකු විසින් නිකුත් කර නැත. ඒ නිසා ඇත්තම තත්තවය තවමත් වාර්තාවන්නේ විපක්ෂයේ පිරිස් විසින් විවිධ අවස්ථාවල නිකුත් කරන ප්‍රකාශවලින් පමණි .මේ නිසා ආණ්ඩුවට එල්ලවන චෝදනාව හරි හෝ නිවැරදි කියන්න තවමත් අපිට හැකියාවක් නැත. එහෙත් එක දෙයක් කිව හැක. එනම් ඕනෑම ආණ්ඩුවකට ඕනෑම දෙයක් සාධාරණීකරණය කළ හැක.මේ රටේ ඉඩම් දුන්නේද? වරායවල් විකුණුවේද? පැවති ආණ්ඩුමය. එහෙත් ඒවා පසුකලෙක සාධාරණීකරණය කළා පමණක් නොව අද ඒ ගැන කතා කරන්නේද නැත. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධ‍යෙන් ඉදිරි ප්‍රතිචාර බොහෝ වෙනස් විය හැක.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05