2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ජිනීවා කොමිසම රතු ඉර පනී?

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය පසුගිය සැප්තැම්බර් 13දා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී ආරම්භ වූ අතර එය ලබන ඔක්තෝබර් 8දා දක්වා පැවැත්වෙනු ඇත. සැසිය ආරම්භ වූ පළමු දිනයේම වෙනිසුයෙලාව, ඇෆ්ගනිස්ථානය, නිකරගුවා සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ තම වාචික වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු කළාය. පසුගිය මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණු අතර මේ වනවිට ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාචික වාර්තාව මගින් ඉදිරිපත් කළාය. 

එහිදී ඇය මෙලෙස සඳහන් කළාය. මානව හිමිකම් කවුන්සිලය සහ මා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අවසන් වාර්තාවේ හඳුනාගත් ප්‍රවනතාවන් සහ ගැටලු පිළිබඳව දැනුම්වත් කිරීමට මම කැමතියි. වගවීම සහතික කිරීමට සහ එක්සත් ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට කැපවන බවට ජනාධිපතිවරයා පසුගිය ජූනි මසයේ ප්‍රකාශ කළා. එමෙන්ම අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන බවටත් එහිදී ඔහු සඳහන් කළා. එය අපගේ වාර්තාවේ නිර්දේශවලට අනුකූලව සිදුවනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ හා ආර්ථික අභියෝගවලට බලපා ඇත්තේ හමුදාකරණය සහ වගවීමකින් තොරවීම යන කරුණුයි.  දැනට ඔවුන් මුහුණ පා ඇති දැඩි ආර්ථික අවපාතය හමුවේ ආහාර සුරක්ෂිතතාව සහ මිල පාලනය කිරීමේ අරමුණින් අගෝස්තු 30 දින හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම හදිසි නීති පුළුල් පරාසයක විහිදෙන්නක්. මේ අනුව සිවිල් කාර්යයන්හිදී හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව සැලසෙනවා. ඒ සම්බන්ධයෙන් අප දැඩි අවධානයක් යොමු කර සිටිනවා. පසුගියදා ජනාධිපතිවරයා ඇතැම් සිවිල් සංවිධාන ප්‍රධානින් හමුවුණා. සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට එවැනි ක්‍රියා වර්ධනය කළ යුතුයි. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන්, මාධ්‍යවේදීන් හා අතුරුදන් වූවන්ගේ පවුල්, බිය ගැන්වීම හා අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ අපහසුතාවට පත් කිරීම් සිදුවෙනවා. මෙම ක්‍රියාකාරකම් ශිෂ්‍යයන්, විද්වතුන්, වෛද්‍ය වෘත්තිකයන්, ආගමික නායකයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. බිය ගැන්වීම සහ අධිකරණ ක්‍රියාවලියක් තුළින් ඔවුන් හිරිහැරයට පත් කිරීම නොනවත්වාම සිදුවෙනවා. සාමකාමී විරෝධතා සහ සැමරුම්වල නිරත පුද්ගලයන් රාජ්‍ය බලය යොදවා අත්අඩංගුවට ගැනීම සහ නිරෝධායන මධ්‍යස්ථානවල බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳව වාර්තා වුණා. සිවිල් සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් නව නීති සම්පාදනය වෙමින් තිබෙනවා. ඔවුන්ගේ නිදහසට සහ ක්‍රියාකාරකම්වලට තව දුරටත් බාධා ඇති වෙතැයි යන බිය පවතිනවා.  නව නීති ගෙන ඒමට පෙර ජනතාව සමග පුළුල් කතිකාවක් ගොඩනඟන ලෙස ඉල්ලා සිටිනවා. විවිධ විමර්ශන සිදු කරන නමුදු 2019 පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්  සහ ආගමික නායකයින් නොනවත්වාම සත්‍යය සහ යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටිනු දැකිය හැකියි. නීතීඥවරයකු වන හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්ද වාර්තා වී තිබේ යැයි* ඇය සඳහන් කළාය. 

මෙතෙක් එල්.ටී.ටී.ඊය සමඟ පැවැති යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව තම අවධානය යොමු කළ මානව හිමිකම් කොමසාරිස්වරිය මෙවර රටේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන්ද අත පෙවීමක් සිදුකර තිබිණි. ඒ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් පනවන ලද හදිසි නීතිය සම්බන්ධයෙන් හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශ වලිනි. මෙහිදී ඇය පරස්පර කතාද කියා තිබිණි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෙතෙක් සාධාරණය ඉටු වී නොමැති බව කියන ඇය පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයකු ලෙස සැලකෙන හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  වාර්තා වී ඇතැයි පවසයි.

ආහාර සුරක්ෂිතතාව සහ මිල පාලනය සහතික කිරීම සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට ප්‍රශ්න කළ නොහැකි බවට ශ්‍රී ලංකාවේ නීතීඥ ප්‍රජාවේ මතය වී තිබේ. ගෝලීයව පවතින ව්‍යසනකාරී තත්ත්වයක් හමුවේ  ලොව රටවල් 104ක හදිසි නීති රෙගුලාසි පනවා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වගකීම වන්නේ රටක මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා වර්ධනය කිරීමට කටයුතු කිරීම විනා රටක් දේශීය වශයෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා සඳහන් කරයි. &දේශීය වශයෙන් ගන්නා ලද තීරණයක් වුවත් ප්‍රශ්න කළ හැක්කේ දේශීය යාන්ත්‍රණයේ ඉහළම ස්ථානයට ගිහින් එහිදීද එයට විසඳුමක් නොලදහොත් පමණයි. රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කළේ ආහාර සැපයුම වේගවත් කිරීමට සහ සඟවාගෙන සිටින ආහාර එළියට ගැනීම සඳහායි. මේ නිසා මහකොමසාරිස්වරියට කිසිම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකියි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවාගෙන සිටිනවා යැයි ඇය කියනවා. එම පනත මගින් තමයි ලංකාවේ ත්‍රස්තවාදය නතර කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රිප්‍රද්ගල විශේෂ මහාධිකරණයක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඇය වචනයක්වත් කතා කළේ නැහැ. ඇය කරන්නේ ලංකාවට චෝදනා එල්ල කිරීම පමණයි. මෙහිදී ඇය රටේ අභ්‍යන්තරයට මැදිහත්වීමක් සිදුකරනවා. මෙලෙස සිදුවන්නේ ඇයගේ උවමනාවටම නොවෙයි. ඒ පසුපස යස්මින් සූකා මහත්මිය, විවිධ රාජ්‍ය නොවන සංවිධාන සිටිනවා, මෙම සංවිධාන විසින් ලියල දෙන වාර්තාවකුයි ඇය ඉදිරිපත් කළේ.* යනුවෙන් ප්‍රකාශ කළේය. 
මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාචික වාර්තාව සම්බන්ධයෙන්  සාමාජික රටවල විවාදය සැප්තැම්බර් 14 දින ආරම්භ විය. එහිදී විදේශ සබඳතා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අන්තර්ජාලය ඔස්සේ ඇයගේ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය.

එහිදී ඔහු කියා සිටියේ බරපතල ත්‍රස්තවාදී ක්‍රියා සඳහා වරදකරුවන්වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 16 දෙනකුට ජනාධිපති සමාව හිමි වූ බවයි. ගැටුම්වලින් අනතුරුව බිම් බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණය හා නැවත පදිංචි කිරීම සාර්ථකව ඉටු කර ඇති අතර එය ජාතික සංහිඳියාව සඳහා විශාල දායකත්වයක් ඇති කළ බවද පැවසීය. නිසි නීති ක්‍රියාවලියට අනුකූලව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සොයා බලා ඔවුන්ට නඩු පවරන අතර වර්තමානයේ මතුව ඇති කොවිඩ් වසංගතයේ අභියෝග යටතේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයක මූලික වගකීමක්. බවද අභියෝගවලට විවෘතව මුහුණ දෙන අතර පිළිගතයුතු රජයක් වශයෙන් වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ තිරසර සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන බවද ඔහු කියා සිටියේය. 

සැප්තැම්බර් 14 දින මානව හිමිකම් කවුන්සිලය ඇමතූ රටවල් 19න් වෙනිසුයෙලාව, කියුබාව, රුසියාව, චීනය, පාකිස්තානය, එරිත්‍රියාව, ඊජිප්තුව, දකුණු කොරියාව, බෙලාරස්, සිම්බාබ්වේ, ලාඕසය, ඉරානය සහ අසර්බයිජානය යන රටවල් 13ක් ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළහ. යුරෝපා සංගමය, ස්ලොවේනියාව, එක්සත් රාජධානිය,  නෝර්වේ සහ චෙක් රාජ්‍යය වෙතින් ශ්‍රී ලංකාවට සහයක් නොලැබිණි.
මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම්වලට එරෙහි වන බව චීනය පැවසූ අතර, ජාතික සංහිඳියාව සහ මානව හිමිකම් යන අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ස්වේච්ඡාවෙන් ක්‍රියා කිරීම අඛණ්ඩව සිදු කිරීම වැදගත් වන අතර ජාත්‍යන්තර ප්‍රජාව මෙම උත්සාහයේදී ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බව ජපන් නියෝජිතයා පැවසීය. ශ්‍රී ලංකා රජය සිය මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීම සහ වගවීම සහතික කිරීම සඳහා අඛණ්ඩව ගෙන යන උත්සාහයන් පිළිගන්නා බව කොරියානු නියෝජිතයා ප්‍රකාශ කළේය. විදේශ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදයට එරෙහි අරගලයේදී ශ්‍රී ලාංකික ජනතාව විඳි දුක් වේදනා කවුන්සිලය අමතක නොකළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ ආර්ථික ජයග්‍රහණ ප්‍රශංසනීය බවත් පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා සඳහන් කළේය. යුරෝපා සංගමය ප්‍රකාශ කළේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකාවට බලකර සිටිය යුතු බවටය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිෂෙල් බැෂලේ විසින් කරන ලද ප්‍රකාශය පිටුපස සිටින්නේ කතෝලික සභාව යැයි කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නොමැති බැවින් මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට සිදුවූ බවද, පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු  කර තිබුණේ නම් තමන් ජාත්‍යන්තරයට යාම වළක්වා ගන්නට තිබූ බවද එතුමා පැවසීය.

රටක අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් සැකසීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නොමැති අතර, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත බවත් ඒ පිළිවෙතට අනුව යමින් බල අරගලයන්ට මැදි නොවී ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවද ඔහු පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ දී මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම, එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්දන පනත සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ශ්‍රී ලංකා රජය ගත් පියවර ඇගයීමට ලක් කිරීම සුබවාදී ලකුණක් බව ද විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05