:
අලුතෙන් සම්මත වූ මුදල් පනත උපයෝගී කරගෙන පැනවූ මෙම නියෝග අනුව එම භාණ්ඩ හයසිය ගණන ආනයනය කිරීමේදී ආනයනය කරන තොගයේ වටිනාකමෙන් සියයට සියයක් තැන්පත් කිරීමකින් තොරව ආනයනකරුවන්ට ණයවර ලිපි නිකුත් කිරීම බැංකුවලට තහනම් කෙරිණි. එම භාණ්ඩ හයසිය ගණනට විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, පළතුරු ආදිය ඇතුළත් විය. අත්‍යවශ්‍ය නොවන ගණයේ ලා සැලකුණු එම භාණ්ඩ අතරට යට ඇඳුම් ඇතුළත් වීම කාගේත් අවධානය ඇදගත් කාරණයක් විය.
එසේ අවධානය ඇදගැනීමත් සමඟ යට ඇඳුම පිළිබඳ කතිකාවලින් සමාජ මාධ්‍ය පිරී ගියේය. එම බොහෝ කතිකා, පෝස්ටු ආදියෙන් ඉතාමත් නිර්මාණශීලී ලෙස යට ඇඳුමේ අත්‍යවශ්‍යතාවය විමර්ශනය කිරීමත් ඇගයුම් කිරීමත් නන් අයුරින් සිදුවිය. යට ඇඳුම පිළිබඳ රස කතා අතීත කතා ආදිය ඒ අතර බහුලව තිබිණි. වඩාත් සිත් ඇදගන්නා කාරණය වූයේ, ආචාර්ය උපාධිලාභී උගතුන්, ප්‍රවීණ නිර්මාණකරුවන්, තම තමන්ගේ බුද්ධියේ කිරීටයන් පසෙක තබා ඉතාමත් නිහතමානීව පොදු ජනයාගේ එම කතිකාවන්ට හවුල් වීමය. ඒ නිසා දැන් සුපර් මෑන් මෙන් යට ඇඳුම, ඇඳුමට උඩින් අඳින තරමට විවෘතය. ඒ ගැන කතා කරන්නට පැකිලෙන්නට දැන් අවශ්‍ය නැත. පසුගිය සතියේ සමාජ කතිකාවල ඉහළින්ම කැපීපෙනුණු මෙම මාතෘකාවට නව යොවුන් වියේ, මැදි වියේ, මහළු වියේ කාන්තාවන්ද හවුල් වී තිබිණි. ඔවුන්ගේ වෝලවලද යට ඇඳුම්වල පින්තූර දිස්වනු පෙනුණි.
ඇඳුම් පිළිබඳ ඉතිහාසය පිරික්සා බැලූ විට මිනිසා තමාගේ කටී ප්‍රදේශ නැතහොත් ලිංගේන්ද්‍රිය වසාගන්නා යට ඇඳුමට කෙතරම් වැදගත්කමක් දී ඇත්තේදැයි පැහැදිලිය. ඇතුළේ මොළය තිබෙනා ඔළු ගෙඩිය වසාගන්නටද, තොප්පි නැතහොත් හිස් වැසුම් පළඳින්නට මිනිසා හුරු වී ඇත්තේද පසු කාලීනවය. මිනිසා ප්‍රජනේන්ද්‍රිය වසාගෙන තිබෙන්නේ ඊට බොහෝ කලකට පෙරය. ක්‍රිකට් ක්‍රීඩාව ඇසුරින් බැලුවත් මෙහි සත්‍යතාව පැහැදිලිය. ක්‍රිකට් ක්‍රීඩාවට ලිංගේන්ද්‍රිය ආරක්ෂා කරන බෝල් ගාඩ් එක හඳුන්වා දුන්නේ අවුරුදු 140කට පෙරය. හෙල්මට් එක ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන්නේ ඊට අවුරුදු 100ක් ගතවූ පසු හැත්තෑ ගණන්වල අග භාගයේදීය. එම නිසා ඔළුවට වඩා ලිංගේන්ද්‍රිය පරිස්සම් කර ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාවේද ප්‍රමුඛත්වයක් ලැබිණි. යට ඇඳුම සම්බන්ධයෙන් මෙසේ ඇතිවූ විවෘත කතිකා නිසා අන්තර්ජාලය ඔස්සේ ඒ ගැන කරුණු පිරික්සා බලන්නට පෙළඹුණෙමි. යට ඇඳුම පිළිබඳ ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියන්නට තරම් කරුණු අන්තර්ජාලයේ තිබේ.
එහි දැක්වෙන අන්දමට මිනිසා යට ඇඳුම් අඳින්නට හුරු වී ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ය. අවුරුදු 7000කට පෙර විසූ මානවයා දිව යන විට තමන්ගේ ලිංගේන්ද්‍රියට දැනෙන අපහසුතාව වළකාගන්නට සමින් කළ වැස්මක් භාවිත කළ බවට සාක්ෂි ලැබී තිබේ. ක්‍රි.පූ. 2500කට පෙර කාලයේ ඊජිප්තුවේ ජනයා යට ඇඳුම් ඇඳ සිටි බවට සාක්ෂි තිබේ. නවසිය විසි ගණන්වලදී සොයාගන්නා ලද ටුටන්කාමන් රජුගේ මමිය ඊට හොඳ සාක්ෂියකි. විවිධ වර්ගයේ කපුවලින් නිර්මිත යට ඇඳුමක් මිය ගිය ටුටන්කාමන්ට අන්දවා තිබීමෙන් පෙනී යන්නේ පණ පිටින් ඉන්නා විට පවා ඔහු රජ සළු පිළි, රාජාභරණ ආදියට යටින් යට ඇඳුමක් ඇඳ සිටි බව නොවේද? ටුටන්කාමන් ඊජිප්තුවේ රජ කළේ ක්‍රි.පූ. 1341 – 1323 පමණ කාලයේය.
රෝම යුගයේ අඳින ලද යට ඇඳුම නම් කරනු ලැබ ඇත්තේ සබ්ලිගාකුලුම් (Subligaculum) යනුවෙනි. හෙලුවැල්ලෙන් කවපෙත්ත විසි කරන ක්‍රීඩකයකුගේ ග්‍රීක යුගයට අයත් ප්‍රතිමාවක් ඇත. එහෙත් රෝම යුගයේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ සබ්ලිගාකුලුම් ඇඳගෙනය. ක්‍රීඩකයන් පමණක් නොව, ජුලියස් සීසර්, ඔගස්ටස් සීසර් ආදී අධිරාජ්‍යයන්ද සළුවට යටින් ඇන්ඳේ සබ්ලිගාකුලම්ය.
දහඅට වැනි සියවසේ එංගලන්තයේ යට ඇඳුම හැඳින්වූයේ පැන්ටලූන්ස් (Pantaloons) යනුවෙනි. යට ඇඳුම නිසා දිව පටලාගන්නට අකැමැති වූ එංගලන්ත වැසියෝ ඒ නම කෙටි කරමින් පෑන්ට්ස් යනුවෙන් 19 වැනි සියවසේදී යට ඇඳුම හැඳින්වූහ.
යට ඇඳුම් ඇඳීමේ අරමුණු බොහෝය. වටිනා බාහිර ඇඳුම ශරීර ස්‍රාවයන්ගෙන් කිලිටි නොවී වළක්වා තබාගැනීම, බාහිර ඇඳුම ඇඟට නොඇලී තබාගැනීම, සීතලෙන් ආරක්ෂා වීම ඉන් සමහරකි.
යට ඇඳුම් නැතිව යාම ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Going commando කියාය. ඕනෑම මොහොතක යට ඇඳුම නොමැතිව හෝ සටන් කිරීමට යුද භටයන්ට දෙන ලද පුහුණුව හේතුවෙන් මෙම ගොයින් කමාන්ඩෝ යන වචනය සෑදුණු බව කියැවේ. පාසල් යන කාලයේ අප නම් ඊට කීවේ ෆ්‍රී වීල් යනවා කියාය.
2008 දී තරුණ කාන්තාවන් ආශ්‍රයෙන් කළ සමීක්ෂණයකදී, ඔවුන් තම පෙම්වතුන් සමඟ හාද වී ඉන්නා කාලයට වැඩි කාලයක් යට ඇඳුම් ප්‍රවේශම් කොට පාවිච්චි කරන බැව් අනාවරණය වූ බව අන්තර්ජාලයේ දැක්වේ.
දහනම වැනි සියවසේ පවා ශ්‍රී ලංකාවේ කුලින කාන්තාවන් උඩුකය නිරුවත්ව තබාගත් බවට සාක්ෂි මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් නැමති පොතේ ඇත. එය එසේ විය හැක්කේ බ්‍රෙසියරයේ පේටන්ට් බලපත්‍රයට අවුරුදු 100 පිරීම සැමරුණේ 2014 නොවැම්බර් 3 වැනිදා බැවිනි. නිව්යෝර්ක් නගරයේ කුලීන (වංශවත්) කාන්තාවක වූ මාරි ෆෙල්ප්ස් ජාකොබ් බ්‍රෙෂියරය සොයා ගත්තේ අහම්බයකින් බව කියැවේ. අද එම සොයාගැනීම වෝනර් බ්‍රදර්ස් යට ඇඳුම් සමාගමට (කනෙක්ටිකට් ප්‍රාන්තයේ) විකුණා ඇත්තේ ඩොලර් 1500කටයි. 1935 වැනි විට වෝනර් බ්‍රදර්ස් සමාගම බ්‍රෙසියර් විකුණා ලැබූ ආදායම ඩොලර් මිලියන 15කි. ඒ කෙසේ වෙතත් අමෙරිකාව බ්‍රෙසියර් නොමැතිව යන ජාතික දිනයක් සැමරීම අරුමයකි. සෑම ඔක්තෝබර් 13 දාවක්ම අමෙරිකාවේ ජාතික බ්‍රෙසියර් රහිත දිනයකි. (National No Bra day) වාණිජ මට්ටමෙන් බ්‍රෙසියර් අලෙවි කොට මුලින්ම ලොව කීර්ති නාමය දිනාගත්තේ Triumph නාමයයි. ලෝකයේ නිරෑපණ වේදිකාවක කවර හෝ මෝස්තර නිරෑපිකාවක මුලින්ම යට ඇඳුම ප්‍රදර්ශනය කරමින් ඊට අනුරෑප ලැසි ගමනින් පියමං කළේ නම් එහිදී ඈ ඇඳගෙන උන්නේ Triumph යට ඇඳුමකි.
ලෝකයේ ලොකුම ප්‍රමාණයේ බ්‍රෙසියර අඳින්නේ එක්සත් රාජධානියේ කාන්තාවන් වන අතර කුඩාම ප්‍රමාණයේ ඒවා අඳින්නේ ජපානයේ ලලනාවන් බවද වාර්තා වේ. මධ්‍යස්ථ ප්‍රමාණයේ බ්‍රෙසියර් අඳින්නේ ඉන්දියානු ලලනාවන්ය. ඒ සෙන්ටිමීටර් 34ක් බව වාර්තා වේ. අලුත් අවුරුදු සමයේ ඉතාලියානු කාන්තාවන් නිතරම යටට අඳින්නේ රක්ත වර්ණ යට ඇඳුම් බවද වාර්තා වේ.
ලෝකයේ නවසිය විසි ගණන්වල පටන් පළ වූ යට ඇඳුම් වෙළෙඳ දැන්වීම් අන්තර්ජාලයෙන් දැකගත හැකිය. අපේ රටේ ගුවන්විදුලියේ විවෘතවම ඒ ගැන කතා කළේ නිවේදක කරුණාරත්න අබේසේකරයි. ඒ දිනවල පිබිදෙන ගායක පරපුර වැඩසටහන මෙහෙයවූ ඔහු සෑම තරගකරුවකුටම ගීතය කියා හමාර වූ පසු ඩී.අයි.එස්. සපෝටරයක් පිරිනැමුවේය. එකී සපෝටරය පාසල් සිසුන් හැඳින්වූයේ ජොකා නමිනි. එය Jockstrap යන ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආවක් බව පෙනේ. කෑගල්ලෙන් බිහිවූ කාගෙත් සිත් ගත් රංගධරයකුව සිටි මෝතා පාසල් සමයේදී මුදලාලිගෙන් යට ඇඳුමක් මිලට ගත් සැටි ඔහුගේ මිතුරන් මුහුණුපොතේ කතා වී තිබිණි.
මෝතා - මුදලාලි ජොකුන් තියෙනවද?
මුදලාලි - මොකුන්?
යට ඇඳුම් හඳුන්වන්නට පාසල් සිසුන් කියන වචනය රෙදි කඩේ මුදලාලි දැනගත්තේ එදාලු. (එම මෝතා - 2014 පමණ අප අතරින් වෙන්ව ගියේය. මිතුරන් ඔහුට කීවේ මෝතා මහතා කියාය.)
හැත්තෑ ගණන්වල පාසල් සිසුන්ව සිටි අපි යට ඇඳුම් භාවිතයේ පසුගිය දශකවල පරිණාමය ගැන නිතර කතා වී ඇත්තෙමු. හැට ගණන්වල දෙපසින් ගැටගසන පොප්ලින් රෙදිවලින් තැනූ වවුලන් යනුවෙන් හැඳින්වූ යට ඇඳුම් වැලවල්වල එල්ලී සිටීම සුලභ දර්ශනයක් විය. ඉන් පසු පටි සහිත Jock strap භාවිතයට ආවේය. 77^න් පසු විවිධ වර්ගයේ යට ඇඳුම් ලෝක වෙළෙඳපොළේ අලෙවි කරනු ලැබුවේ විවිධ උපහරණ ගෙනහැර පාමිනි.
කෙසේ වුවද පුරාණයේ පටන්ම අපගේ ගැමි ජනයාගේ ජනප්‍රිය යට ඇඳුම වූයේ අමුඩයයි. ගැමි පාරක, තොටක, නියරක අමුඩය ඇඳගෙන යන ගැමියකු දකින කාන්තාවක් කිසි විට ඇඹරෙමින් ලජ්ජාවට පත් වූයේ නැත.
ගම්බද ප්‍රදේශවල ගොවීන්ගේ පමණක් නොව අතීතයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්ගේද යට ඇඳුම වූයේ අමුඩය බව කියවෙන යාං හෑල්ලක් ඇත.
ඒ දිනවල පාසල් සහයෝගීතා වැඩසටහන යනුවෙන් හැඳින්වූ වැඩසටහනක් තිබුණේලු. එයින් කරන ලද්දේ ගම්බද පාසල් සිසුන් සමූහ වශයෙන් කොළඹ පාසල්වලට ගෙනැවිත් එම ප්‍රදේශයේ විස්තර කියා දීමත්, කොළඹ සිසුන් ගම්බද පාසල්වලට කැඳවා ගොස් එම ගම්බද ප්‍රදේශයේ තොරතුරු කියා දීමත් බව කියැවේ. ඒ යටතේ කොළඹ කුරුඳුවත්තේ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් ගම්බද ප්‍රදේශයක පාසලකට කැඳවා ගියේය. තිහක් පමණ වූ සිසුන් ඉදිරියේ එකී ගම්බද ප්‍රදේශයේ විස්තර කියා දුන්නේ රෙදි බැනියමෙන් සැරසුණු එම කුඩා විදුහලේ විදුහල්පති ප්‍රධාන ආචාර්යවරයාය. ඔහු තම දේශනය ආරම්භ කළේය.
දරුවනේ මේ පැත්තෙ මිනිසුන්ගෙ ප්‍රධාන රුකියාව ගොවිතැන. ගොවිතැන් කරන අය ඒ කටයුතුවල නිරත වෙන්නෙ බොහෝ විට අමුඩය ඇඳගෙනයි.
අමුඩය යනු කුමක්දැයි සිසුහු විමසූහ. කොළඹ හතේ ජීවත් වුණු ඔවුන් අමුඩයක් දැක තිබුණේ නැත.
විදුහල්පතිවරයා තමා දන්නා ආකාරයට අමුඩය විස්තර කළේය. එය අඳින ආකාරය පවා දෑතින්ම විස්තර කළත් සිසුනට අමුඩය යනු කුමක්දැයි වැටහුණේ නැත.
විදුහල්පතිවරයාට අමුඩය Live පෙන්වන්නට සිතිණි. එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනයා ඇතුළු විදුහල්පතිවරයා පවා රෙද්දට යටින් සාමාන්‍යයෙන් ඇඳ සිටියේ අමුඩයයි. විදුහල්පතිවරයා තමා ඇඳ සිටි වේට්ටිය ඔසවා සිසුනට පෙන්වීය.
මෙන්න මේක තමයි ළමයි අමුඩෙ කියන්නෙ.
ළමයි පමණටත් වඩා කොක් හඬලා සිනාසුණෝය. විදුහල්පතිවරයා මඳක් පහත් වී තමාගේ අමුඩයේ යම් වෙනසක් ඇත්තේදැයි බැලුවේය. කරුමයක මහත! ඔහුට එදා අමුඩය අඳින්නට අමතක වී ඇත.
යට ඇඳුම් ආනයනයට සීමා පැනවීම නිසා ඒවායේ මිල ඉහළ යාම නම් වළක්වන්නට නොහැකි වනු ඇත. යට ඇඳුම් නොමැතිව කොළඹට ඇතුළු වීම වරදක් බව කාලයක් ප්‍රකාශයට පත්වූවා මතකය. යට ඇඳුම් ගණන් ගිය විට ගොයින් කොමාන්ඩෝ වර්ගයේ අභීත මිනිසුන් බිහිවීමද වැළැක්විය නොහැකිය.
සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූප අතර වඩාත් කැපීපෙනෙන රූපය වූයේ ස්වාසිලන්තයේ රාජ්‍ය නායකයාගේ පින්තූරයයි. නළල් පටියත් මාලයත් ඇතුළු නොයෙක් ආභරණවලින් ගත සරසාගෙන ඉන්නා ඔහු තම රහසඟ වසාගෙන ඉන්නා හරක් අඟක් වැනි ආභරණ හැරුණු විට වෙනත් ඇඳුමක් ඇඳ ඉන්නා බවක් එම ඡායාරෑපයේ නොපෙනේ. ආණ්ඩුවට බැණ බැණ ඉන්නෙ නැතුව පොඩ්ඩක් නිර්මාණශීලී වෙයංකො.* යැයි එහි ලියා තිබිණි.
සමන් පුෂ්ප ලියනගේ