2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ලංකාවේ හදන ඉලෙක්ට්‍රික් ත්‍රීවීලරය

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

නුදුරේදී ශ්‍රී ලංකාව තුළ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් නිෂ්පාදනය වීමට නියමිතය. මේ වනවිටත් එවැනි විදුලි ත්‍රීරෝද රථ කිහිපයක් Vega innovations ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත. දුප්පතාගේ හිතවතා ලෙසින් හැඳින්වෙන ත්‍රීරෝද රථ රියැදුරන් ලෙසින් තම ජීවනෝපාය කරගෙන යන ජනතාවට මෙහි ඇති ඉතා වැදගත්, සතුටුදායක ආරංචිය වන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ධාවනය වන ඉන්දීය ත්‍රීරෝද රථයේ මිලට සාපේක්ෂව ඉතා අඩු මුදලකට මෙම විදුලි ත්‍රීරෝද රථය පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බව Vega innovations ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෙශාන් කුලපාල මහතා ප්‍රකාශ කිරීමයි.

ආයතනයක් ලෙසින් ගිය වසරේ අප්‍රේල් මාසයේදී පමණ ලංකාවේම ත්‍රීරෝද රථයක් නිෂ්පාදනය කරන්නට අදහසක් ඇතිවුණා. ඒ වනවිටත් මෙරටට වාහන ආනයනය කිරීමේ යම් අඩුවක් සිදුවෙමිනුයි තිබුණේ. ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ ඩොලර් බිලියන තිහක පමණ වෙළෙඳපොළක් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථවලට පවතිනවා. ඒ නිසා අපේ රටේම නිෂ්පාදනය කරල, ලංකාවේම විකුණන ගමන් විදෙස් රටවලටත් අපනයනය කරන්න අපිට ඕනවුණා. ත්‍රීරෝදයක් නිෂ්පාදනය කරන්න පහසුයි. එහි කොටස් අඩු නිසා අපි මේ නිෂ්පාදනය ත්‍රීරෝද රථයකින් ආරම්භ කළා.

වෙශාන් කුලපාල මහතා කියයි.

Vega innovations ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම ඉලෙක්ට්‍රොනික් ත්‍රීරෝද රථය බැටරිය ආරෝපණය කිරීමෙන් පසුව කිලෝමීටර් සියයක් එකසිය විසිපහක් පමණ දුරක් ධාවනය කළ හැකිය. ඉලෙක්ට්‍රික් වීම හේතුවෙන් එයට යන වියදම බොහෝ අඩු බව එම ආයතනය පවසයි. ඒ අනුව පෙට්‍රල් ත්‍රීරෝදයකදී කිලෝමීටරයකට රැපියල් පහයි ශත අසූවක් වැයවන නමුත් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක බැටරිය නිවසේදී ආරෝපණය කිරීමෙන් කිලෝමීටරයකට වැයවන්නේ රැපියල් තුනයි ශත හැටක් පමණි. නිවසේ සූර්ය කෝෂ පහසුකමක් ඇත්නම් මෙය ශත හැත්තෑවකට හැත්තෑපහකට අඩු වන බව ඔවුහු පවසති. මෙම ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයේ ඉහළද සූර්ය කෝෂයක් සවිකර ඇති අතර අවශ්‍ය කෙනකුට එයින්ද ප්‍රයෝජනයක් ගත හැකි අතර එමගින් 10%ක පමණ වැඩි ප්‍රමාණයක් සූර්ය බලයෙන් ඉදිරියට ක්‍රියාකළ හැකිය.

මෙය සාමාන්‍ය ත්‍රීරෝද රථයක මෙන් ඉදිරියේ රියැදුරා සහ පිටුපස අසුනේ මගීන් තිදෙනකුට ගමන් කළ හැකි අතර සාමාන්‍ය ත්‍රීරෝද රථයේ මෙන් මෙම ත්‍රීරෝද රථයේ පිටුපස එන්ජමක් නොමැතිකම නිසා එම පිටුපස දොර විවෘත කිරීමේ හැකියාව ඇත. එමෙන්ම පිටුපස අසුන නැවීමේ හැකියාවද පවතිනවා. එමගින් බඩු භාණ්ඩ දමා ගැනිමට විශාල ඉඩකඩක් මෙම ත්‍රීරෝදර ථයේ පවතිනවා. කුලපාල මහතා කියයි.

තවමත් අත්හදා බලන, මේ වනවිටත් එවැනි ත්‍රීරෝද රථ පහක් පමණ මෙම ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති අතර මෙම ඉලෙක්ට්‍රොනික් ත්‍රීරෝද රථය සඳහා විදෙස් ඉල්ලුම්ද ලැබෙමින් පවතී. 2019 වසරේදී ඉලෙක්ට්‍රොනික් ත්‍රීරෝද සඳහා ලෝක වෙළෙඳපොළේ ඩොලර් බිලියන විසිඅටක ඉල්ලුමක් පැවති අතර මෙය 2027 වනවිට ඩොලර් බිලියන තිස් දෙකක් වන බව වෙශාන් කුලපාල මහතා පවසයි. ඒ අනුව ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයට විශාල ඉල්ලුමක් ඇති වේ.

මේ වනවිටත් අපිට අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින්ම ඉල්ලුමක් ලැබෙනවා. මේ නිසා නුදුරේදීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට මෙන්ම ලැබෙන ඉල්ලුමට අනුව විදෙස් රටවලටද මෙම ත්‍රීරෝද රථය සපයන්නට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ලබන වසරේ අප්‍රේල් මාසය තුළදී සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලද ත්‍රීරෝද රථය එළිදක්වන්නට අපි සූදානම් වන අතර ජූලි මස වනවිට ඉල්ලුමට අනුව මෙම ත්‍රීරෝද රථය වෙළෙඳපොළේ විකිණීමට අපි බලාපොරොත්තු වෙනවා. තවමත් මෙම රථයේ මිල තීරණය කර නැත. නමුත් මේ වනවිටත් වෙළෙඳපොළේ ඇති ඉන්දියන් ත්‍රීරෝද රථයට සාපේක්ෂව අඩු මුදලකට ලංකා වෙළෙඳපොළේ විකිණීමට අපේ බලාපොරොත්තුවයි. ලෝක වෙළෙඳපොළේ මෙවැනි වාහන නිෂ්පාදන ආයතන වසරකට විශාල වාහන ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ බොහෝ රටවල් ඒ වාහන වෙනත් රටවල්වලටද ආනයනය කරනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුවත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට වගේම ලෝකයේ සෑම රටකටම මෙම ඉලෙක්ට්‍රික් ත්‍රීරෝදය ආනයනය කිරීමටයි. ඕනෑම කර්මාන්තයකදීම එහි අමුද්‍රව්‍ය කොටස් රටවල් කිහිපයකින්ම මෙරටට ආනයනය වෙනවා. මෙම ත්‍රීරෝද රථයේ ඇතැම් කොටස් විදෙස් රටවලින් ගෙන්වනවා. හැම කොටසක්ම ලංකාවේ හදනවා කියන්නේ හීනයක්. නමුත් පිටරටින් සියල්ලම ගෙන මෙහි එකලස් කිරීමක් සිදුවන්නේ නැහැ. මෙය මෙරටම නිර්මාණය කරපු, ඇතැම් කොටස් පමණක් පිටරටවලින් ආනයනය කොට ලංකාවේ නිෂ්පාදනය කරන අපේම දෙයක් යැයි Vega innovations ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෙශාන් කුලපාල මහතා දේශයට වැඩිදුරටත් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න