2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ලක්දිව සැඟවුණු වනකතා ලියූ ගෘහ නිර්මාණ විශාරදයා ලලා ආදිත්‍ය

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 81

සුලලිත කාව්‍යයක් ඉමිහිරි වදන් වැලක් එකිනෙක හා එකතු කොට තනාලීම නිර්මාණයකි. සුදෝසුදු සදිසි පිළිමයක් තනාලීම නිර්මාණ ක්ෂේත්‍රයට අයත්ය. එසේම දළ, දඬු, රළු, පරළු, ගල්, ගඩොල්, සිමෙන්ති, වීදුරු ආදිය ගෙන හද නළවන ලතාවකින් හැඩ ගස්වා ප්‍රායෝගික නිමැවුමකින් ඉදිරිපත් කොට නිවාස, විදුහල්, ආරෝග්‍ය ශාලා ගගණ යාත්‍රාංගණ ආදී පෞද්ගලික හා ප්‍රසිද්ධ ගොඩනැගිලි තනවාලීමත් එදා ලෝකයේ මෙන්ම අද ලෝකයේත් සුවිශේෂ නිර්මාණ කාර්යයකි. ගාහ නිර්මාණ ශිල්පිය සෙසු කලා ශිල්පයන්ට වඩා ශික්ෂණයකින් පුහුණු කළ යුතු කලාවක් හා ශිල්පයක් වෙයි. ඒ ශික්ෂණය කලක් මුළුල්ලේ සාමාජික වතාවතක් සේ නිර්මාණයක් සේ සකස් කොටගත් ගෘහ නිර්මාණ ශිල්පියකු අපට මුණගැසුණේ වසර 40කට පෙරය.

නවයුගය පුවත්පතේ විශේෂාංගයක් ලිවීමට බම්බලපිටියේ මෙල් ඇව්නිව්හි මුහුදට යාබද පිහිටි අංක 27/3 දරණ දෙමහල් නිවෙසට මා 1981 සැප්තැම්බර් 17 ගිය දිනයේ බව මගේ පැරණි දින පොතක සටහන් වී තිබුණි. එදා ඔහු හමුවීම අද වනවිට හරියටම වසර 40ක් කල් ඉකුත් වී ඇත. එහෙත් වෙනස නම් ඔහු අද ජීවතුන් අතර නොසිටීම පමණකි.

ඔහු නමින් ලලා ආදිත්‍යය. ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ඔහු ලේඛකයකි. ලංකාවේ සැඟවුණු සොබා සොඳුරු සෞන්දර්යය හෙළිකැර හඳුන්වාදීමට ඔහුට තිබුණේ අසීමිත සතුටකි. ඔහු තවුසකු සේ තැන්පත් එහෙත් වරෙක යුද්ධ සෙබලකු සේ ලෞකිකත්වයෙන් ඔද වැඩුණේ වෙයි. නගරය මෙන්ම වන ගහණත් ඔහුට එකසේ පුරුදුය. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයනුත් ඔහුට සවාරිය පුරුදු තැන්ය.

දෙමහල් නිවෙසේ තම විශාල කුටියේ විවේක සුවයෙන් සිටි ආදිත්‍ය හාන්සි පුටුවට බර දී අලුත් සිගරුට්ටුවක් ෆිල්ටරයේ බහාගෙන කතා කළ අයුරු මට සිහිපත් කරගත හැකිය. ඒ කුටියේ ක්‍රමානුකූලව සකස් කරන ලද දැවැන්ත පුස්තකාලයකි. දඩයක්කාරයකුගේ කුසලතා පෙන්වන රයිෆල් පේළිය තුළින් ඔහුගේ මුළු පෞරුෂත්වය මනාව පිළිබිඹු වෙයි.

ඔහු ගෘහ නිර්මාණ විශාරදයකු වුවද, ලේඛකයකු වන සංචාරකයකුට අමතරව කැමරා ශිල්පියකු, චිත්‍ර ශිල්පියකු නිදහස් මතධාරියකු ලෙස ප්‍රකටය. වන ජීවිතය, සත්ත්ව ජීවිතය හා ජන ජීවිතය ගැන මෙතෙක් කිසිදු ලේඛකයකු ලෙස නව මානයකින් රසවත් ශෛලියකින් 1969 වසරේ ලියූ Ceylon Vagabond කෘතිය ගැන ආර්.ඇල්. බ්‍රෝහියර් මෙසේ සඳහන් කර තිබුණි.

නගර පුරවර ගම් දනව් බිහිවීම නිසා ස්වභාවික සම්පත් හීන වී යෑමෙන් සිදුවන විපත හා පාඩුව මෙබඳු කෘතියක් නිසා බොහෝදුරට පිරිමැසෙනු ඇත. වියළි කලාපයේ අතීතයේ පටන් වර්තමානය දක්වා බොහෝ තොරතුරු මේ කෘතියෙහි අන්තර්ගතය. එහෙයින් ලලා ආදිත්‍්‍්‍යයේ සිලෝන් වාගබොන්ඩ් මහාර්ඝ සම්පත් ලෙස හඳුන්වා දෙනුයේ අවංක හැඟීමෙනි.

ලලා ආදිත්‍ය විසින් ලියූ මේ ඉංග්‍රීසි කෘතිය 2001 වසරේ ප්‍රවීණ ලේඛක සරත්චන්ද්‍ර ජයකොඩි පරිවර්තන කොට සූරිය ප්‍රකාශකයෝ නිකුත් කර ඇත.

මේ ග්‍රන්ථය ආදිත්‍ය පිළිගන්වා ඇත්තේ සිවු හැවිරිදි වියේ පටන් වන සංචාරයනට රුගෙන යමින් වන ජීවිතයට මා හුරු පුරුදු කළ ආදරණීය පියාණන්... කියාය.

ලංකා ලලාම අරුණසිරි ආදිත්‍ය 1935 ජනවාරි 11 වැනිදා මොරටුවේ රාවතාවත්තේ උපත ලැබීය. ගල්කිස්ස ශාන්ත තොමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. ඔහුගේ සිත කුඩා කාලයේ සිටම ඇදී ගොස් ඇත්තේ දඩයමටය.

මගේ පියාත් (ජේ.එෆ්.එන්. ද සිල්වා) දඩයමට දක්ෂයෙක්. මගේ සීයාත් දඩයමට අති දක්ෂයෙක්ලු. මම වයස අවුරුදු හතරේ සිටම තාත්තා එක්ක ගිහින් වන ජීවිතයට හුරු කළා වගේම අද මගේ පුතා එක්ක දඩයමට ගියා. එතකොට පුතාට වයස දෙකක් විතර ඇති. අද 1981 දී පුතාට වයස අවුරුදු 7යි.

දැන් පුතා කොහිදැයි මා ඇසූ විට ඔහු සිනාසෙමින් එදා මෙසේ කීවේය.

අපේ උයන අම්මේ නිවාඩුවකට ගමේ ගියා. ඒ එක්ක පුතාත් ගියා. රටතොට ගැන දැනගන්න කටුක ජීවිත අත්දැකීම් ලබන්න පුතා එහෙම යන්න ඕනෑ. මගේ රුකියාව ගෘහ නිර්මාණ ශිල්පය වුණත්, ඒ රාජකාරි නිමවා ගෙදර ඇවිත් සවස 5 සිට රාත්‍රී වෙනකන් මම පොත් කියවනවා. ලියනවා. නිවාඩු දවස්වල චිත්‍ර අඳිනවා. ඇවිදින්න යනවා. ලංකාවේ මම නොගිය කැලයක් නැතිව ඇති. ඒ කැලෑ අතරින් මගේ හිත ඇදී ගියේ මනම්පිටිය වැලිකන්දත්, මහියංගනයත් අතර පිහිටි වනාන්තරයට. ආදිත්‍ය කීවේය.

ඔහු ආර්.එල්. ස්පිට්ල්, ආචාර්ය බ්‍රෝහියර් කැලෑව ගැන ලියූ පොත් ආසාවෙන් කියවන බවත් කීය. ලෝකයේ තිබෙන විශාල කැලෑවන් ගැන ලියැවුණු පොත්පත් සහිත විශාල එකතුව ඔහු සතුවෙයි.

මගේ හිත ගෘහ නිර්මාණ ශිල්පයට ගියේ තාත්තාත්, සීයාත් ගෘහ නිර්මාණ ශිල්පියෝ වීම නිසා. හමුදා නිලධාරියකුව සිටි සීයා මවුන්ට් බැටන් සාමිගේ හිතවත් මිත්‍රයෙක්. මගේ පියා මිය වනවිට මට අවුරුදු 7ක් විතර ඇති. මම අවුරුදු 8 වනවිට මගේ අම්මා මාව සිංහල ඉගෙන ගැනීමට පණ්ඩිත ගණේගම සරණංකර හාමුදුරුවන් වෙත යැව්වා. උපතින් ක්‍රිස්තු බැතිමතියක වූ මගේ අම්මා මට රට, ජාතිය, මව්බිම ගැන බුදුදහම ගැන උතුරා යන හැඟීම් සම්භාරයක් ලබාදීමට සරණංකර හාමුදුරුවන්ගෙන් උපදෙස් ලබාදුන්නා. එපමණක් නොවෙයි ඒ හිමියන්ගේ මාර්ගයෙන් මා හඳුනාගත් බුදු දහමේ විශාරද දැනුමක් තිබූ මහා පඬිරුවනක් සේ වැඩ සිටි වේරගොඩ අමරමෝලි හිමියන්ගේ උපදෙස් දැනුම මගේ ජීවිතයට පදනමක් ලැබුණා. ආදිත්‍ය කීවේය.

තමා වාසනාවන්තයකු බවත්, තමා සිංහල භාෂාව, සාහිත්‍ය හා බෞද්ධ සංස්කෘතිය ගැන මනා පරිචයක් ලබාගැනීමට අමරමෝලි හිමියන් විසින් කැඳවාගෙන ගොස් ඇත්තේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට බවත් ඔහු කීවේය. වැලිවිටියේ සෝරත, යක්කඩුවේ ප්‍රඥාරාම, අකුරුටියේ අමරවංශ, හම්මලව සද්ධාතිස්ස, කළුකොඳයාවේ පඤ්ඥාශේඛර යන පාණ්ඩිත්‍යයෙන් හෙබි විශාරද ස්වාමීන් වහන්සේලා යටතේ ගැමි ජීවන රටාව, දේශාභිමානය, සිංහල සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය ගැන අවබෝධයක් ලබාගත් බවත් ඔහු කීය.

අවුරුදු 18දී මම ගත කළේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක්. දඩබ්බර කොල්ලන් සමඟ එක්වී තක්කඩි වැඩ කළා. මාව යළිත් නිසි මගට යොමුකළේත් වේරගොඩ අමරමෝලි හිමියන්. මගේ මවට උපදෙස් දෙමින් මාව එංගලන්තයට යවා ලන්ඩන් ගෘහ නිර්මාණ ශිල්පායතනයට යැවීමට ඒ හිමියන් අනුබල දුන්නා. මේ අනුව 1953 වසරේ මම එංගලන්තයට ගියා. මේ ගමනේදී මට මුළු යුරෝපයේම ඇවිදීමට අවස්ථාව ලැබුණා. මේ කාල සීමාව තුළ මම දුෂ්කර ක්‍රියා කළා. කාණු කැපුවා. මේසන් වැඩ කළා. ලයිට් වැඩ කළා. ගෘහ නිර්මාණ ශිල්පයට අයිති යටිතල පහසුකම් ගැන ඉගෙන ගත්තා. උපයාගත් මුදල්වලින් ස්විඩනය නෝර්වේ, සිට ඉතාලිය දක්වාත්, එංගලන්තයේ සිට ඉතාලිය දක්වාත් ඇවිද්දා. ආදිත්‍යය අතීතය සිහිපත් කළේය.

පෙරළා ලංකාවට පැමිණි ලලා අදිත්‍ය කැලෑවල ඇවිද්දේය. ගමනාගමන දුෂ්කරතා ඇති වනගත ප්‍රදේශවල කූඩාරම් බැඳගෙන සහායකයා සමග දුෂ්කර ජීවිතයක් ගතකළ ඔහු මේ ගමන්වලදී සිංහල ගැමි ගෙවල් හදන හැටිත්, එය සැලසුම් කරන හැටිත් ගැන පුහුණුවක් ලැබීය. සෑම සිංහල ගමක්ම මැන්නේය. ලංකාවේ ශිෂ්ඨාචාරයට ඔබින ලෙස සිංහල ගෘහ නිර්මාණ ශිල්පියට උචිත ලෙස ඔහු උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බස්නාහිරටත් ඇවිද්දේය. ගෙවල්වල පිංතූර ගත්තේය. අවශ්‍ය තැන්වල තොරතුරු ටේප් රෙකෝඩරයකින් පටිගත කර ගත්තේය. මේ සියලු අත්දැකීම් ඔස්සේ ඔහු ගෘහ නිර්මාණ ශිල්පයට බැස්සේය.

මම හා පුරා කියා නිර්මාණය කළ ගොඩනැගිල්ල 1959 ගංගොඩවිල විද්‍යෝදය විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලයි. මගේ ජීවිතයට පදනම දැමූ විද්‍යෝදය පිරිවෙන ආශ්‍රයෙන් ගොඩනැගුණු ඒ විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි නිර්මාණය කිරීමට මට ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් කොට සලකනවා. විශ්වවිද්‍යාල පරිශ්‍රය දකින විටම ඔබ දකින්නේ නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජ්‍යෙෂ්ඨ, ප්‍රභාෂ්වර යන ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය සහිත ගොඩනැගිල්ල නිර්මාණය කළා. එසේම විද්‍යාලංකාර මුල් ගොඩනැගිල්ලත්, රත්මලාන මැලිබන් ආයතනය, මැකලම් බ_වරීස්, මූන් ලයිට් බීච් හෝටලය, සීගිරි හෝටලය, නුවර වැවේ තානායම, නිල්වලා හෝටලය ආදී ආයතන නිර්මාණය කළා. ආදිත්‍ය අපට කියා තිබුණි.

ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස ප්‍රවීණතා දැක්වුවද ආදිත්‍ය පොතපත ලිවීමටද අමතක නොකළේය. ඔහු විසින් ලියූ ග්‍රන්ථ අතර සන් ඔෆ් ලයන්, සර්ච් ඔෆ් සුගලා, ෆුට් ප්‍රින්ට් ඉන් ද ජන්ගල් කෘතිද වෙයි.

දිවංගත ඩබ්ලිව්.ටී. කේබ්ල්ගේ Ceylon Beaten Track නමැති කෘතිය ඉතාම කුඩා වියේ සිටම මගේ පොත් බෑගයේ තිබුණා. එහි ඡේද දිනපොතක සටහන් තබාගෙන සංචාරය සඳහා පෙළඹුවා. ඒ අනුව උපදෙස් ලැබූ මම වන සංචාරයේ යෙදුණු ගමන් මගේ ක්ෂේත්‍ර සටහන් පොතේ ලිව්වා. මා ලියූ Ceylon Vagabond පොතට මේ කරුණු බෙහෙවින් උපකාර වුණා. බොහෝ සති අන්තවල මගේ මිතුරන් සමග දුක, සතුට, අතවර, දුෂ්කරතා, හිරිහැර සමසේ බෙදා ගනිමින් වනාන්තරයේ සංචාර කළා. අප ආපසු පැමිණියේ ලෑන්ඩ් රෝවර් රථය අබලන් වී යටිපතුල් ලෙලි ගැලවී තුවාල වී මැසි මදුරුවන්, කිනිතුල්ලන් ආදීන්ගෙන් ලද පීඩා පොදි බැඳගෙනයි. අපේ මේ සංචාරයේ දී ගම්මානයන් හි ජීවත් වූ ගැමියන්ගෙන් ලත් ආගන්තුක සත්කාර අපමණයි. ඔහු දුෂ්කර අත්දැකීම් වරක් විස්තර කළේය.

ලලා ආදිත්‍ය වරක් රෝගාතුරව ආරෝග්‍ය ශාලාවක ප්‍රතිකාර ලබමින් සිටියේය. අලස සුවයෙන් සිටි ඔහු කළේ මහාවංශය හා චූලවංශය ඉතා පරෙස්සමින් කියවීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එහි එන සතුන්ගේ සූචියක් ඔහු සකස් කළේය. වංශකතාවල එන පරාක්‍රමබාහු රජු හා සුගලා සතුව තිබූ දන්තධාතුව හා පාත්‍ර ධාතුව ගැනීම සඳහා පරාක්‍රමබාහු රජුට වසර 10ක් යුද්ධ කිරීමට සිදුවූ අතර යුද්ධ හමුදා 6ක් ගෙන යාමට සිදුවූ පුවත ඔහුට කුතුහලයක් වී තිබුණි. සනීප වූ වහාම ආදිත්‍ය කළේ සුගලා නමැති ප්‍රතාපවත් දේවිය විසූ තැන් හා යුද්ධ හමුදා ගිය තැන් පරීක්ෂා කර බැලීමය. පොළොන්නරුව, දිඹුලාගල ප්‍රදේශවල වසර 2 ½ක් පැරණි සිතියම් අනුව යමින් එහි පැරණි ග්‍රාම තොරතුරු, දැන් එයට භාවිතා කරන නාම පිළිබඳ  පර්ෙය්ෂණ කොට සර්ච් ඔෆ් සුගලා නමින් ඉංග්‍රීසි ග්‍රන්ථයක් ලිවීය. ඊට අමතර මහාවංශය, චූලවංශයහි එන ගම්, දේශ, ගංගා, වැව් රජවරු, භික්ෂූන් වහන්සේලා, වෙහෙර විහාර ඇතුළත් සම්පූර්ණ සූචියක් ඔහු සකස් කළේය.

ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සභාපති වශයෙන් දෙවරක්ම තේරී පත්වූ ලාලා ආදිත්‍ය විදේශීය රටවල් 10ක නියෝජිතයන් සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආකේෂියා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමයේ උප සභාපතිවරයාද විය. 1967 ජර්මන් ජාතික කාන්තාවක් වූ මාරියනේ (චිකෝ) හා විවාහ වූ ආදිත්‍ය දූවරුන් තිදෙනකුගේ හා පුතෙකුගේ පියෙකි.

අප 1981 දී හමුවන විට මසල් නමින් ළමා නවකතාවක් රචනා කර තිබුණි.

සංචාරයේ යෙදෙමින් වනාන්තරයේ විවිධ තැන් නරඹමින් අතීත තොරතුරු විමසා බැලීමේ රුචිය ටිකෙන් ටික අඩුවන බව පෙනී යන බව ඔහු කීවේ සංවේගයකිනි. කූඩාරම් ගසාගෙන මෙසේ සංචාරය කිරීමට හැටේ දශකයේ සිව් දෙනෙකුට වියදම් වුණේ රුපියල් පහළොවක් පමණක් බව ඔහු කීවේය. තමා විසින් ලියූ ලක්දිව සැඟවුණු වනකතා කියවා තරුණයන් කිහිපදෙනෙක් හෝ වනාන්තරේ සංචාරය කොට යම් තැනක කැන්වස් කූඩාරමක් තනාගෙන ස්වභාවධර්මය, ඉතිහාසය, ගැමි ජීවිතය පිළිබඳ උනන්දුවක් ඇති වුවහොත් තමාගේ වෑයම සඵල වන බවද අවධාරණය කළේය.

ලලා ආදිත්‍ය මහතා මේ වනවිට ජීවිතයෙන් සමුගෙනය. ඔහු විසින් ලියූ ලක්දිව සැඟවුණු වනකතා පොතේ විසිතුරු බස අපූරුවට සිංහලට නගා තිබුණි. එහි ඡේදයක් හා ඔහු විසින් ලියූ පද්‍ය කිහිපයක් මොනවට පැහැදිලි වෙයි. පරිවර්තනය සරත්චන්ද්‍ර ජයකොඩිගෙනි.

වල් ඌරා මධ්‍යහ්නයෙහි විවේක සුව විඳී. අභිමානවත් ගෝනා දිවා කළ සැනසිල්ලේ නින්දේ වැතිර සිටී. මයිනා කුළු හරකකුගේ පිට නැගී කිනිතුල්ලන් ඇහිඳමින් ගමන් ගනී. වලසා වේ තුඹසකට මුව පොවා වේයන් අදින හඬ ඇසේ. නැතහොත් සිය පැටවුනට පලු ගසකට නැඟෙන පාඩම උගන්වනු පෙනේ. කොටියා ගල් කුලකින් ඔබ්බෙහි වූ ගුහාවකට රිංගන්නට සැරසේ. ඈතට ඈතට තවත් ඈතට ඝන වනාන්තරය තුළට පියවර නගන කළ අලි ඇතුන් සිය ආයුෂ කෙළවර වූ බව දැන මියැදෙන්නට සැතපෙන අලි සොහොන් බිම හමුවේ. පොළඟා සැඟ වී සිටිනුයේ කොතැනද? කවුඩා සින්දු කියනු ඇසේ. පිළිහුඩුවා උස් හඬින් සිනාසෙයි. වළිකුකුලා ටිකස්- ජෝර්ජ් පොයිස් යනුවෙන් හඬලන නාදය පැතිරේ. ගොම කුරුමිණියා ගොම ගුලියක් පෙරළාගෙන පෙරළාගෙන යන්නේ ආහාරය සඳහා කිසියම් තැනෙක සඟවා තබන අටියෙනි.

එම්බා නාගරිකයාණෙනි! කිමද ඔහේ

සුව සහනයෙන් නගරය තුළ විසිය නොහේ

ඔබ මා සතුය! හනිකට එනු මැනැව මෙහේ

හැම උදයෙකම වනපෙත අඬගසනු ඇහේ

 

දඩ මං දිගේ මගෙ පියවර ඇඳුණු වනේ

ඈතින් සුනිල් පෑ ගිජි නිම්වළලු පෙනේ

සැඩ හිරු මුදුන් වී ගිනිගත් ඉහත දිනේ

වියළුණු වනපෙතෙහි සුළඟේ සිසිල දැනේ

 

කච්චන් සුළඟ සොළවන විට අතු පතර

දොළ ගී කුරුලු ගී නද හිනැහෙයි නිතර

නොදටිමි සොඳුරු දසුනක් වනපෙත විතර

මම හුදෙකලා වී වනු රිසියෙමි නිතර

ආදිත්‍ය යනු සෙනෙවි අරුත දනවන නාමයකි. කලක් යුද්ධ හමුදාවේ යෙදී සිටි ලලා ආදිත්‍ය වැනි රට ජාතියට කැපවී සිටින සෙනෙවිවරුන් තව තවත් අවශ්‍ය කාලයකි මේ.

ඒ.ඩී. රන්ජිත් කුමාර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05