2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ආයෝජන කැඳවන එකඟතාවයක් ඇති කරගැනීම

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

ධනය උත්පාදනය කරන්නට ආයෝජනයක් අවශ්‍යය. රටට ප‍්‍රමාණවත් තරමට වත්කමක් නැත. වෙළඳපොළ අර්බුදයට පසුබිම එය බව දැක්විය යුතුව තිබේ. එක පැත්තකින් විදේශ වත්කම් පිරිහී ඇත. අනෙක් පැත්තෙන් රජයේ ආදායම අඩු වී තිබේ. ආදායම හා වියදම කළමනාකරණය කරන ක‍්‍රම ගැන නොයෙක් කතාබහ සිදුවෙයි. වියදම අඩුකරන අන්තිම ප‍්‍රයත්නය දක්වා ගමන් කළ හැකිය. එහි පීඩාව දැනෙන්නේ ජනතාවටය. දැනට පත්ව ඇති අපහසුතා කෙරෙහි අවධානය සලකා බලනවිට ඉදිරි කාලවකවානුව තවත් දුෂ්කරය.

අලුත් ප‍්‍රතිපත්ති අවශ්‍යය. නවතම පැති ගැන සොයාබැලීම සුදුසුය. ආයෝජන අවස්ථා වැඩිදියුණු කළ යුතුව තිබේ. රටකට පැමිණ සිය කර්මාන්ත හෝ සේවා ආරම්භ කරන සේ යෝජනා කිරීම පහසු නැත. ලෝකයේ නොයෙක් තැන්වල අවස්ථා තිබේ. තවත් තැන්වල අභියෝග ඇත. හොඳම හා සුරක්ෂිතම ස්ථානවල ආයෝජනය කරන අතර ශ‍්‍රී ලංකාව ආයෝජනය වෙනුවෙන් යෝග්‍ය ස්ථානයක් බව දක්වා උනන්දුවක් ඇතිකර ගැනීම අවශ්‍යය.

• කියන තරමට ආයෝජන වැදගත්ද

මහත් උත්සාහයකට පසු කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනය පැවැරීමට සමත්ව තිබේ. වරාය අධිකාරිය, ඉන්දියාවේ ප‍්‍රමුඛ ආයෝජකයෙකු වන අදානි සමූහ ව්‍යාපාරය සහ දේශීය සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිං සමග ගිවිසුම ඉකුත් බ‍්‍රහස්පතින්දා එනම් සැප්. 30 වැනිදා අත්සන් කළේය. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කොළඹ සිට, ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලියේ සිට මෙම ගිවිසුම අත්සන් කරන අවස්ථාව නිරීක්ෂණය කළේය. දෙරටේ නියෝජිතයෝ අන්තර්ජාල සම්බන්ධතා භාවිත කර එකවර දෙරටක දී අත්සන් කිරීමද විශේෂත්වයකි. මෙම ආයෝජනය සමඟ රටට ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 700 කි. ඉකුත් ජූලි මාසයේ ශ‍්‍රී ලංකාවේ විදේශ සම්පත් ඇමරිකානු ඩොලර් බිලියන 2.8 කට සීමා වී තිබුණ අතර එය සලකන විට එයින් හතරෙන් එක කොටසකි. ආර්ථික කරැණු නිරීක්ෂණය කරන විට මෙය කොපමණ වාසිදායකද යන්න තහවුරැ වෙයි.

මෙම වරාය සංවර්ධන ව්‍යාපෘතිය ඉකුත් ආණ්ඩුවේ සිට තිබුණ යෝජනාවකි. නැගෙනහිර පර්යන්තය ආයෝජනයට පැවැරීමට යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ. නමුත් වෘත්තීය සමිති හා රට තුළ නොයෙක් පාර්ශවවල ඇවිලුන විරෝධතා හේතුවෙන් අවුරැදු තුනකට වැඩි කාලයක් කල්ගත වූ බව මතක් කළ යුතුය. නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර යෝජනා කළ අතර එදා විරැද්ධත්වයකට ලක් වූ ඉතාම වටිනා සම්පතක් බව දක්වන ලද එම නැගෙනහිර පර්යන්තය තවමත් කිසිම වෙනසක් නැතිව තිබිය දී බටහිර පර්යන්ත ආයෝජනය ලැබීම ගැන කල්පනා කළ යුතුව තිබේ. වසර ගණනකට කලින් තීරණ ගන්නට හැකිවිණි නම් අද පළමුවරට අලුත් පර්යන්තයෙන් කන්ටේනර් පිටරටට යවන උත්සවය පවත්වන විය හැකිව තිබිණි. අවාසනාවකට එය එසේ වූයේ නැත. වර්ජනය කරන ලද පාර්ශව රටට අහිමි වූ අවස්ථා දෙස ආපසු හැරී බැලීම වැදගත්ය. 

• ජාතියට අහිමි වෙන විදේශ වත්කම්

අහිමි වෙන්නේ අවස්ථා පමණක් නොවේ. ජාතික ආදායමෙන් වැදගත් කොටසක්. විදේශ විනිමය වන අතර මුලින් යෝජනා කළ කාලවකවානුවේ ක‍්‍රියාවට නැගිණි නම් අද රටට විනිමය හිඟය ගැන මැසිවිලි නගන්නට අවශ්‍ය නැත. අඩුම තරමින් කිරි පිටි කන්ටේනර් නිදහස් කරගන්නට හෝ විනිමය රහිත රටක් ලෙස ඉතිහාසයට එක් නොවේ. රටක සම්පත් ආරක්ෂා කරන්නට හා මතු පරපුර වෙනුවෙන් දියුණු කරන්න වගකීම ආණ්ඩුවට පමණක් නොව වෘත්තීය සමිතිවලටද තිබේ. වෘත්තීය සමිති නංවන ලද හඬ අවසානයේ දී රටට නොලැබුණ දේ ගැන සාකච්ඡා කිරීමද ඉතාම කාලෝචිත බව දැක්විය යුතුය. වරාය පර්යන්ත ගිවිසුම අනුව දියුණු කරන වරාය එයින් පසු නැවත බදු කාලය අවසන් වූ පසු සම්පූර්ණයෙන් ශ‍්‍රී ලංකා රජයට භාරදෙන බව වරාය අධිකාරිය සමඟ අත්සන් කරන ලද ගිවිසුමේ සඳහන්ය. නිදහස ලැබීමෙන් පසු ගතවූ කාල පරිච්ඡේදයේ රට විකුණුවා නම්, රට බෙදා වෙන්කළා නම් අද රටට හිමි දෙයක් නැත. සියලුම ආණ්ඩු, සියලුම දේශපාලනඥයන් අලුත් දෙයක් යෝජනා කළහොත් එයින් විශාල අපකීර්තියක් දිනාගෙන තිබේ. එය ඉතා කනගාටුදායක පැත්තකි.

මැදි ආදායම් රටක සිට ඉහළට නැගෙමින් සිටි ශ‍්‍රී ලංකාව පවතින ලෝක ආර්ථික තත්ත්වය සමඟ තීරණාත්මක ස්ථානයකට තල්ලු වී තිබේ. ලෝක ආර්ථිකය සියයට එකකින් දෙකකින් අඩුවන විට ශ‍්‍රී ලංකාව තුන් හතර ගුණයකින් පහළට වැටී ඇත. කොවිඩ් වසංගත තත්ත්වය ඉතිහාසයේ නොවූ ආකාරයේ තර්ජනයකි. ජන ජීවිතය පමණක් නොව නිෂ්පාදන, සේවා හා වෙළඳ අංශ තියුණු පසුබෑමකය. සමහර දැවැන්ත සමාගම්වල සිට සුළු පරිමාණ ව්‍යවසායකයෝ දක්වා අසරණ වී සිටී. මිලියන ගණනක් ජනතාව දුගී දුප්පත් වී ඇත. වාර්තා සනාථ කරන පරිදි ව්‍යවසාය ලක්ෂ ගණනින් වැසී ගොස් තිබේ. කර්මාන්ත ශාලා බංකොළොත් බව ප‍්‍රකාශ කර ඇත. ප‍්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක් ඉන්දියාවේ සිය කම්හල් වහන තීරණයක් ගෙන තිබේ. ජෙනරල් මෝටර්ස් හා ෆෝඩ් යන කම්හල් එයින් ප‍්‍රධානය. එකී කම්හල් දශක දෙකකට වැඩි කාලයක් චෙන්නායිහි ව්‍යාපාර කරගෙන ගිය අතර කොවිඩ් වසංගත තත්ත්වය හෙයින් ව්‍යාපාර පසුබැසීම දරාගත නොහැකි වී ඇත. මෙම කම්හල් දෙක වසා දැමීමෙන් පමණක් දස දහස් ගණනින් වැඩකරන ජනතාවට රුකියා අහිමි වී ඇත. 

• යුද කාලයේ මෙහෙම නොවුණේ මන්ද

කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පවතින රාමුව දෙස වෙනම අධ්‍යයනය කිරීම සුදුසුය. මෙවැනි අත්දැකීමක් ලෝක ඉතිහාසයේ නැත. යුද්ධයක දී ගැටෙන රටවල්වලට අමිහිරි ප‍්‍රතිවිපාක විඳින්නට සිදුවන නමුත් ලෝකයේ අනෙක් රටවල ආර්ථිකය සමබරය. ශ‍්‍රී ලංකාවේ තිස් වසරක යුද කාලය තුළ ආර්ථික ගැටලු මතු නොවුණා නොවේ. එහෙත් යුද්ධය පවතින අතරවාරයේ ලෝකයේ අනෙක් රටවල සහාය හා ආයෝජන රටට ගෙන්වා ගැනීමට හැකිවිය. යම් ප‍්‍රමාණයකට සංචාරකයෝ පැමිණියහ. කටුනායක ගුවන් තොටුපොළට ප‍්‍රහාර එල්ල වී ගුවන් යානා එකොළහක් විනාශ වූ නමුත් එම වසර තුළ පවා ලක්ෂ ගණනක් සංචාරකයෝ පැමිණියහ. මෙම 2021 වසරේ තවමත් සංචාරකයන් දහස් ගණනක් පමණකි. 

ආයෝජන නොලැබීම, සංචරකයන් නොපැමිණීම කොපමණ බලවත් දුෂ්කරතාවයක්ද යන්න මහ බැංකුව හා අනෙක් වානිජ බැංකු හැසිරෙන විලාසය පැහැදිලි කරයි. රටට විනිමය සීමාවන පසුබිම තුළ මහජනතාවට ජාත්‍යන්තර ගනුදෙනු කරගත නොහැකිය. දරැවන්ගේ විදේශ අධ්‍යාපනයට පවා මුදල් ගෙවා ගත නොහැකි වී තිබේ. මාධ්‍ය වාර්තා කරන අන්දමට මල්ලව පොර ජාතික ක‍්‍රීඩා කණ්ඩායමට විදේශගතවීම සඳහා අවශ්‍යය මුදල් ලබාගැනීමද දුෂ්කර වී ඇති අවස්ථාවක විදේශීය ආයෝජන හා එයින් ලැබෙන රුකවරණය බලවත් බව පැහැදිලි තේරැම් ගැනීම අපහසු නැත. 

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය වෙනම තැබිය යුතුය. ආණ්ඩු කරන්නේ සන්ධානයද, සමගි පෙරමුණද හෝ ජනතා විමුක්ති පෙරමුණද යන්න වෙනම කාරණයකි. විවෘත ආර්ථික ක‍්‍රමය පවතින අවස්ථාවක ජාත්‍යන්තරය සමග ආයෝජන හා වෙළඳාම තුළිත මටට්මකින් පවත්වාගෙන යන්නට සූදානම් විය යුතුය. රටට ගැලපෙන අනන්‍යතාවයක් සකස් කර ගැනීම නරක අදහසක් නොවේ. භූතාන රාජ්‍යය එරටට එන සංචාරකයන් සීමා කරගෙන සිටී. කොපමණ ධනය ලැබුණත් රටට එන්නට නොදෙන ප‍්‍රතිපත්තියකය. එරට වැසියෝ සරල සාමාන්‍ය ජීවිත ගත කරති. ආයෝජන හෝ විදේශ සම්බන්ධතා අවශ්‍ය නැති බව තීරණය කලහොත් ශ‍්‍රී ලංකාවටද එවැනි පසුබිමකට ඇතුළු විය හැකිය. මෙරට ජනතාවගේ බහුතරය එයට සූදානම්ද? දැනට පෙනෙන ආකාරයට කිරිපිටි හෝ ගෑස් පමණක් ආනයනය පාලනය කළහොත් පවා රට තුළ විශාල ආන්දෝලනයක් සිදුවෙන බව පෙනේ. 

• අලුත් රාමුවකට ඇතුළු නොවෙන්නේ ඇයි?

ලෝකයේ ආයෝජන රටා වෙනස් වෙමින් තිබේ. මෙයට කලින් චීනයේ කරන ලද දැවැන්ත ආයෝජන ඉවත් කරගැනීමට ඇමෙරිකානුවෝ පියවර ගනිමින් සිටිති. චීන ඇමෙරිකා සම්බන්ධතාවල ඇති ගැටලු එයට බලපා ඇති කරැණකි. ආයෝජන නැවත ස්ථාන ගත කරන තැන් ගැන ඇමරිකානුවෝ අවධානය යොමු කර ඇති බව ජාත්‍යන්තර පර් යේෂණ වාර්තා කියයි. ශ‍්‍රී ලංකාව මෙවැනි පැති අධ්‍යයනය කළ යුතුය. වරාය ආයෝජන එපා කියන මෙරට ඇතැම් පටු කණ්ඩායම් ඇමරිකානු සමාගමක් එළැඹ ඇති යුගදනව් බලාගාරය දෙසද විරෝධය පළ කරති. එහි නිපදවන විදුලිය ඇමරිකාවට ගෙන යන්නේ නැත. ඒවා බෙදා හැරෙන්නේ 2040 වනවිට ශ‍්‍රී ලංකාව විදුලිය අර්බුදයකට ලක්වන බව මෙරට ඉංජිනේරැවන්ම සහතික කර කියා සිටින රටටය. ඇමරිකානුවන්ට පලා බෙදන නමුත් චීනයෙන් බැහැරට යන ආයෝජන ගෙන්වා ගැනීමට වියට්නාමය, ඉන්දුනීසියාව, මලයාසියාව හා ඉන්දියාව විශාල තරඟයක් දෙමින් සිටී. එම රටවල් විවිධ සහන ප‍්‍රකාශයට පත් කර ඇත. ඉන්දීය රජය ඔවුන්ගේ ජාතික ව්‍යවසාය විශාල ප‍්‍රමාණයක් පුද්ගලීකරණය කරන අතර එහි ඉලක්ක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 81 කි. මේවායෙන් කොටසක් ඇමරිකානු සමාගම්වලට පවරන්නට සූදානම්ය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා ජනසමාජයේ අභිලාශය කුමක්ද? 

ශ‍්‍රී ලංකාවට ආයෝජනය කරන්නට ධනය නැත. සියලු සංවර්ධන කටයුතු නතර කර තිබේ. රජයේ ආදායම රැ. බිලියන 1,961 ක් වනු ඇතැයි අය 2021 වසර සඳහා වන වැය යෝජනා දක්වා තිබුණි. පාර්ලිමේන්තුවේ දී කරැණු දැක්වූ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වසර අවසන් වනවිට රැ. බිලියන 1,500 ක පමණ ආදායම පහත වැටීමකි. වියදම රැ. බිලියන 3,525 ක් බව දැක්වෙයි. වසර තුළ පවත්වාගෙන යන හිඟය රැ. බිලියන 1,564 කි. ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් පවා ගෙවන්නට ආදායම ප‍්‍රමාණවත් නැත. මෙවැනි පැති ගැන සියුම්ව කල්පනා කිරීම ජාතික වගකීමකි.

ඉදිරි අයවැය ආයොජන ගෙන්වා ගැනීමට අලුත් අදහස් ඉදිරිපත් කරන එකක් කිරීම ජාතික වගකීමකි. අද පවතින අර්බුදය දෙස අවධානය යොමු කළ යුතු ජාතික නායකයෝ හෙට දවසේ අනාගතය බාරගන්නා දරැවන් ගේ ඉරණම ගැන කල්පනා කිරීම සුදුසුය. දශක අටක් තිස්සේ වරින්වර වෙනස් කරන ප‍්‍රතිපත්ති රට ඉදිරියට ගෙන ගොස් නැත. සියයට පහ ඉක්මවන ආර්ථික වර්ධනයක් දිනා ගැනීමට අසමත්ව තිබේ. සිංගප්පූරැව ගොඩනගන්නට එක නායකයෙකුට එක පරම්පරාවක දී හැකිවිය. දකුණු කොරියාව, මලයාසියාව ගොඩනැගුණේ එක පාලකයෙකු ගේ එක කාලසීමාවක් පදනම් කරගෙනය. තද තීරණ, අමිහිරි බව කියන යෝජනා එම රටවල් ඉහළට ඔසවා තිබේ. සිංගප්පූරැවේ මහල් නිවාස මුල් කාලයේ එරට ජනතාව ප‍්‍රතික්ෂේප කළේය. දැන් එහෙම නැත. ජනතාවගේ චුයින්ගම් හැපීම නතර කරන්නට නීති පැනවීය. මලයාසියාව අධිවේගී මාර්ග තනන විට ඉවත් නොවූ විරෝධතාකරැවන්ගේ නිවාස හා දේපොළ ගිනිතබා විනාශ කළේය. ඒවා ඉතිහාසයේ ලියැවී තිබේ. මැලේසියාවේ පෙට්‍රොනාස් ටවර් ගොඩනැගිල්ල 1996 දී ලෝකයේ උසම ගොඩනැගිල්ලයි. එය හදන්නේ යාපනයේ උරැමයක් ඇති ආනන්ද ක‍්‍රිෂ්ණන්ය. හෙතෙම බුද්ධාගම අදහන බව දැන් කියා තිබේ. මලයාසියාවෙන් එන ආයෝජකයෙකුට කොළඹ ඉඩමක් පැවරැවහොත් ජාතික අපරාධයක් වන රටකට පැවැත්මක් තිබේද?

 සාරා කන්දෙගොඩ