ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය සතියේදී සහල් නිෂ්පාදකයෝ සහල් සඳහා පාලන මිලක් නිවේදනය කළහ. කුමන රජයක් බලයට පත්වුවද මෙතෙක් කල් සහල් අලෙවි කළ යුතු උපරිම මිල නිවේදනය කළේ රජය මගිනි. එහෙත් මේ වන විට එම බලය සහල් ව්‍යාපාරිකයන් සතු කරගෙන ඇත. මෙයට මඟ විවර වූයේ සහල් සඳහා රජය උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කිරීමත් සමඟය. එම ගැසට් පත්‍රය අවලංගු කර දිනක් ගතවන විට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සහල් මිල ප්‍රකාශයට පත් කළහ. මේ පිළිබඳ ආණ්ඩුව දැනුවත්ව සිටියාද යන්න පිළිබඳ කුකුසක් සමාජය තුළ මතුව තිබේ. ඇතැමුන් කියන්නේ ආණ්ඩුව මේ පිළිබඳ දැනගෙන සිටියද නොදන්නා ලෙස රඟපා ඇති බවය. කෙසේ වුවද බලධාරීන් පවසන්නේ මේ පිළිබඳ හාන්කවිසියක් නොදන්නා බවය. එසේ නම් රජයේ බලය තමන් අතට ගන්නට මෙම ව්‍යාපාරික බලවතුන් අතළොස්සට හැකියාවක් හා ශක්තියක් ලැබුණේ කෙසේද යන්න අබිරහසකි. මේ අය සමඟ රජයේ බලවතුන් සිටින බවද පැවසේ.
මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් පසුගිය 28දා පොළොන්නරුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සහල්වල තොග සහ සිල්ලර මිල ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව නාඩු සහල්වල කිලෝවක සිල්ලර මිල රුපියල් 115ක් සහ තොග මිල රුපියල් 110ක් බවට නිවේදනය විය. සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 140ක් වූ අතර තොග මිල 135ක් විය. කීරි සම්බා කිලෝවක සිල්ලර මිල රුපියල් 165ක් සහ තොග මිල රුපියල් 160කි. ජනතාව වැඩි වශයෙන් පාරිභෝජනය කරන කැකුළු සහල් පිළිබඳ මිලක් මෙහිදී ඉදිරිපත් නොවීය.
මෙම සාකච්ඡාවට ඩඩ්ලි සිරිසේනට අමතරව මිත්‍රපාල ලංකේශ්වර, ගාමිණී ලත්පඳුර සහ ආනන්ද හෙට්ටිආරච්චි යන ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයෝද සහභාගි වූහ. මෙහිදී සහල් මිල පිළිබඳව කතා කර ඇති ඩඩ්ලි සිරිසේන පවසා ඇත්තේ පාලන මිල ඉවත් කළද සහල් මිල ඉහළ යන්නේ නැති බවය. ජනතාවට බිය වන්න එපා යැයි ඔහු පවසා තිබේ. තමන් සහල් පැකට්වල ස්ටිකරයක් අලවා මිල සඳහන් කරන අතර එම මිලට වැඩියෙන් මිලට නොගන්නා ලෙසද පවසා තිබේ. එසේම ඔහු පැවසූ තවත් කාරණයක් වන්නේ ඉදිරියේදී වී මිල තීරණය කරනුයේ සහල් මිල අනුව බවකි. එසේම තමන් පාරිභෝගිකයන් හා ගොවියන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරන බව ඔහු කියා සිටියේය. ඔහු කියන්නේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මෝල්වලට පැමිණ හාල් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළ පසු නිෂ්පාදනය අඩු වූ අතර, අඩු මිලට වී දීමට ගොවියන්ද අකැමැති වූ බවකි.
තම කතාවේදී සහල්වලට උපරිම මිලක් පනවා නිකුත් කළ ගැසට්ටුව අවලංගු කිරීම පිළිබඳ රජයට ස්තූති කිරීමටද හෙතෙම අමතක නොකළේය.
ඩඩ්ලි සිරිසේනගේ මෙම කතාව නිසා පැන නගින ප්‍රශ්න කිහිපයක් ඇති බව මැදහත් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. ඔවුන් සහල්වල තොග මිල ප්‍රකාශයට පත් කළද සිල්ලර මිල නියම කරන්නට ඔවුන්ට බලය ලැබුණේ කෙසේද යන්න මුල්ම ප්‍රශ්නය වේ. සිල්ලර වෙළෙඳපොළ මෙහෙයවීමට ඩඩ්ලිලාට බලය දුන්නේ කවුද යන්න ගැටලුවකි. අනිත් පැනය වන්නේ පාලන මිල ඉවත් කළද මිල ඉහළ නොයන බව ප්‍රකාශ කිරීමට ඔහුට පුළුවන් වී ඇත්තේ කෙසේද යන්නය. සහල් මිල මෙයින් මතු ඉහළ නොයන්නේ යැයි ඔහුට සහතිකයක් දීමට හැකි නම් මෙතෙක් කල් එය මිල ඉහළ දැම්මේ තමන් බව අනියවාර්ථයෙන්ම ප්‍රකාශ කිරීමක් නොවන්නේද? අනෙක් අතට වෙළෙඳපොළේ සහල් හිඟ වූයේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් තොග ගබඩා පරීක්ෂා කිරීම නිසා බවද ඔහු කියයි. එහෙත් ලැබෙන ආරංචි අනුව සනාථ වන්නේ මහා පරිමාණ මෝල් හිමියන් තොග බෙදා නොහැරීම නිසා වෙළෙඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇතිවූ බවය. සහල් මිල වැඩිකර ගැනීම සඳහා එය ඔවුන් කළ කූඨ උපක්‍රමයක් වන අතර කොළඹ පිටකොටුවේ සහල් ව්‍යාපාරිකයන් පැවසුවේ පසුගිය සතිය පුරාවට ඔවුන්ට සහල් නොලැබුණු බවය. ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් තම දුරකතන විසන්ධි කර ඇති බවද ඔවුහු පැවසූහ. එසේ වුවද සහල් මිල ඉහළ දැමුවාට පසු මෝල් හිමියන් සහල් ප්‍රවාහනය යළි අරඹා ඇති අතර මේ වන විට වෙළෙඳපොළේ සහල් හිඟය සමනය වෙමින් පවතින බවට වාර්තා වේ. මේ අනුව පෙනී යන්නේ මෙම මෝල් හිමියන් අතළොස්සක් දෙනා මුළු රටේම සහල් ව්‍යාපාරය මේ වන විට තම අතට ගෙන වෙළෙඳපොළ හසුරුවන බවකි. මෙයට පෙර පැවැති රජයේ උපරිම මිල ගැසට්ටුවට පමණක් සීමා වූ බවද වෙළෙඳුන් තමන්ගේ මිලට සහල් අලෙවි කළ බවද නොරහසකි. වෙළෙඳුන් පැවසුවේ තමන්ට පාලන මිලට සහල් නොලැබෙන නිසා එම මිලට අලෙවි කළ නොහැකි බවය. ඇතැමුන් කෙටි කාලයක් සහල් අලෙවිය අත්හැර තිබූ බවද දැනගන්නට ලැබිණි.
ගැසට් නිවේදනය අවලංගු කළාට පසු පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මාධ්‍යයට පවසා තිබුණේ ගැසට් නිවේදනය අවලංගු කළේ පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමට බවය. එහෙත් සිදුවූයේ කුමක්ද? ගැසට්ටුව අවලංගු කළ විගසම සහල් මිල ඉහළ යාමය. ගැසට්ටුවේ සඳහන්ව තිබූ උපරිම සිල්ලර මිල වූයේ කැකුළු රුපියල් 95, නාඩු 98, සම්බා 103 සහ කීරි සම්බා 125කි. එහෙත් නව මිල අනුව සහල් කිලෝව රුපියල් 20 සිට 40 අතර ගණනකින් වැඩි වී තිබේ. එසේ නම් රාජ්‍ය ඇමැති පැවසූ පරිදි ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා වී නොමැති අතර සිදුව ඇත්තේ ඔවුන් විපතට වැටීම බව පෙනී යයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ මෝල් හිමියන් නිවේදනය කර ඇති සහල් මිල වැඩි අතර එම මිලට සහල් අලෙවි කිරීමට ඉඩ නොදෙන බවය. සහල් මිල තීරණය කළ යුත්තේ රජය මිස ව්‍යාපාරිකයන් නොවන බව ඔහු අවධාරණය කරයි. එසේම සහල් මිල පාලනය සඳහා සහල් ටොන් ලක්ෂයක් ආනයනය කරන බවද ඔහු කියයි. එහෙත් රටේ අවශ්‍යතාව වන වාර්ෂික මෙට්‍රික් ටොන් ලක්ෂ 36ට අලගු තබන්නටවත් ගෙන්වන සහල්වලට නොහැකි බව සනාථ වෙයි. ඒ නිසා කෘෂිකර්ම ඇමැතිට ඉහළ නංවා ඇති සහල් මිල පාලනය කිරීමට හැකියාවක් නැති බවද මේ නිසා ව්‍යාපාරිකයන් රජයට බියක් නොදක්වන බවද සනාථය.
සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසන්නේ රටේ අවශ්‍ය තරම් වී තොග තිබෙන නිසා සහල් ඇටයක්වත් ගෙන්වීම අවශ්‍ය නොවන බවය. ඔහු කියන්නේ රටේ ඩොලර් අර්බුදයක් පවතින මෙම සමයේ සහල් ගෙන්වීම ඩොලර් නාස්තියක් වන අතර අවශ්‍ය වන්නේ රටේ ඇති සහල් නිසි ලෙස කළමනාකරණය කිරීම පමණක් බවකි.
&ගිය වසරේ මහ බැංකු වාර්තාවෙන් සනාථ වන්නේ මාස 17කට අවශ්‍ය තරම් හාල් රටේ තිබෙන බවයි. වී තොග නිසි ලෙස සහල් කර රටේ බෙදාහැරීමට කටයුතු කරනවා නම් ඇටයක්වත් රටින් ගේන්න ඕනැ නැහැ. රටට වසරකට අවශ්‍ය සහල් ටොන් ලක්ෂ 36ක් පමණයි. වසරක නිෂ්පාදනය ටොන් ලක්ෂ 50 ඉක්මවා යනවා. 2020 දි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් පනස් ලක්ෂ තිස්හත් දහසයි. 2019 වී මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක අතිරික්තයක් තිබුණා. 2020 දි වී මෙට්‍රික් ටොන් 22ක් ඉතිරි වෙනවා. ගිය වසරේ අතිරික්තය සමඟ මේ වසරේ අතිරික්තය එකතු කළ විට ටොන් ලක්ෂ 40කට වඩා ඉතිරි විය යුතුයි.
ඉතින් මේවා හරියට කළමනාකරණය කරලා සහල් කර බෙදාහරිනවා නම් මහ මෝල් හිමියන් දණගස්වන්න පුළුවන්. හිඟයක් ඇතිවුණාම රටින් ගෙනෙනවයි කියලා පම්පෝරි ගහන්නේ එය දඩමීමා කරගෙන කොමිස් ගසා ගැනීමට මිසක ජනතාවට කන්න දෙන්න නොවෙයි.
රාජාංගණය, මහකනදරා වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්.ආර්. රාජපක්ෂ පවසන්නේ සහල් සහ වී මිල පිළිබඳ දැනට උද්ගතව ඇති අර්බුදය විසඳන පිළිතුරක් ඈත දකින මානයේ හෝ නොමැති බවය. රජය එක් දෙයක් කියන අතර ගොවියන් පවසන්නේ තවත් දෙයකි. එසේම මහා පරිමාණ මෝල් හිමියන් කියන්නේ වෙනත් කතාවකි. දෙතුන් පාර්ශ්වයක් ඒ මේ අතට අදින මෙම ගැටලුව තව බොහෝ කාලයක් පවතිනු ඇතැයි ඔහු කියයි. එයට හේතු වන්නේ මේ පාර්ශ්වයන් තුනම එකට එකතු කර සාකච්ඡාවක් පවත්වා විසඳුමක් ලබා දී නොමැති වීමය. ගෑස් හෝ කිරිපිටි ආදියේ ගැටලු ඇතිවන විට රජය සෑම පාර්ශ්වයක් සමඟම සාකච්ඡා කර තීරණයක් ගත්තද, මෙහිදී එක එක පාර්ශ්ව තනි තනිව තීරණ ගන්නා නිසා අවුලක් ඇති වී ඇතැයි ඔහු කියයි.
මහා පරිමාණ මෝල්කරුවන් මෙන්ම රජයද කරනුයේ ගොවියන් අමාරුවේ දැමිල්ලයි. ඒ නිසා රජය හෝ මෝල් හිමියන් කියන මිලට වී අලෙවි නොකිරීමට මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේම ගොවි සංවිධාන තීරණය කරලයි තියෙන්නේ. ඒ අනුව නාඩු වී රුපියල් 70, සම්බා 75, සහ කීරි සම්බා 80 මිලට අඩුවෙන් අපි කාටවත් වී අලෙවි කරන්නේ නැහැ. වී ළඟ තබාගත්තයි අපට ලාභයක් මිස පාඩුවක් වෙන්නේ නැහැ. පොහොර අර්බුදය නිසා ලබන කන්නයේ වී නිෂ්පාදනය වාර්තාගත ලෙස පහළ යනවා. එහෙම නිසා වී තොග නොවිකුණා තියාගන්නා තරමට වෙන්නේ වාසියක්.
පොළොන්නරුවේ ගොවියන් මුහුණපා ඇති රසායනික පොහොර තහනමෙන් උද්ගත වී ඇති අර්බුදය මේ කන්නයේ අපට ඇතිවුණේ නැහැ. එයට හේතුව පොහොර තහනම් කරන විට අප පොහොර යොදා අවසන්ව තිබීමයි. ඒ නිසා අපේ අස්වැන්නට පොහොර තහනම බලපාන්නේ නැහැ. කෙසේ වුණත් ලබන කන්නයේ අස්වැන්න කපන්නට පෙර හෝ දැනට උද්ගතව ඇති අර්බුදය විසඳාගත යුතු වෙනවා. එසේ නොවුණහොත් සහල් මිල බොහෝ ඉහළ ගිහින් පාරිභෝගිකයා අමාරුවේ වැටීම වළක්වන්න බැහැ. ගොවියාගෙන් තුට්ටු දෙකට වී අරගෙන අතරමැදියන් විශාල ලාභයක් ලැබිල්ලයි සිදුවෙන්නේ.
පුලතිසි ගොවි වෙළෙඳ පාරිභෝගික සංගමයේ ප්‍රධාන අනුශාසක දිඹුලාගල රාහුලාලංකාර හිමියන් පවසන්නේ දැනට රටේ පවතින සහල් මාෆියාව මැඩපැවැත්වීමට තම සංවිධානය පියවර ගන්නා බවය.
පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගොවීන්ගෙන් තුට්ටු දෙකට වී අරගෙන ජනතාවට ඉහළ මිලකට සහල් අලෙවි කිරීමට පියවර ගනිමින් සිටිනවා. තවදුරටත් එය පැවතුණහොත් අපි එයට එරෙහිව නැගී සිටිනවා. පාරිභෝගිකයා හා ගොවියා රුකෙන ලෙසට මිල පාලනය ඉවත් කිරීම වැදගත්. මහ මෝල් හිමියන් වන අරලිය, නිව්රත්න, නිපුණ, ලක් හා හිරු ඇතුළු සහල් නිෂ්පාදකයන් ගන්නා තීරණ ගැන අපි අවධානයෙන් ඉන්නවා.
පීඩාවට පත්ව සිටින ගොවීන්ගේ වී වලට සාධාරණ මිලක් ලැබිය යුතුයි. අපි කියන්නේ නාඩු සහල් 115, සම්බා 140, කීරි සම්බා 165 ගණනේ අලෙවි කළ යුතුයි. මෙය නොසලකා උසස් ප්‍රමිතියෙන් යුතු සහල් යැයි වැඩි මිලට විකුණා පාරිභෝගිකයන් සූරා කන්නට යනවා නම් අපි එයට එරෙහිව පියවර ගන්නවා.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා
මහා පරිමාණ ව්‍යාපාරිකයන් උත්සාහ කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වසා දමලා සහල් පිළිබඳ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීමටයි. එහෙත් සහල් මිල මේ තරමටවත් රුඳිල තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් නිසයි. පසුගිය සමයේ ඒවා වසා දැමීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. පොළොන්නරුවේ මෝල් 100ක් වැහිලා තියෙනවා. හේතුව පසුගිය වසර 10 – 12 තිස්සේ පැවති ආණ්ඩු ගත් වැරදි තීරණයි. මුළු ලංකාවේම මෝල් 300 – 400 අතර ප්‍රමාණයක් මේ වන විට වැහිලා. ඒ සියලු ව්‍යාපාරිකයන් හාල් මාෆියාවට අහුවෙලා. හම්බන්තොට 50, අනුරාධපුරයේ හා කුරුණෑගල 40 බැගින්, මරදගහමුල මෝල් 20, අම්පාරේ 25 පමණ වැහිලා.
පොළොන්නරුවේ මෝල්කොළනිය කියලා ගමක් තිබුණා. එහි තිබූ හාල් මෝල් 51න් අද ඉතිරිවෙලා තියෙන්නේ 5යි. මේ වන විට ඒවාත් වැහිලද දන්නේ නැහැ. 2008 අප්‍රේල්වල තමා සහල්වලට උපරිම සිල්ලර මිලක් පැනවීමට රජය කටයුතු කළේ. ඒත් ඒ සැමවිටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා නොකරයි තීරණ ගත්තේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා නිකම් කොළ කැබලි බවට පත්වුණා. අද සිද්ධවෙලා තියෙන්නේ එයයි.
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහන සලසනවා නම් විශාල මෝල් හිමියන්ට වැඩිය අඩුවට දෙන්න පුළුවන්. එහෙත් අපට වගකිවයුත්තන්ගෙන් සහාය ලැබෙන්නේ නැහැ. අප අඩුවට දෙන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා තමා අපත් ඉවත් කරන්න කටයුතු කරන්නේ. එවිට ඒ අයට ගොවියා සහ පාරිභෝගිකයා ලෙහෙසියෙන් සූරා කන්න හැකියි.
යසවර්ධන රුද්රිගූ