මේ දවස්වල විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ කෙසේ හෝ මැතිවරණයක් තබන්න යැයි කියාය. ඔහු ඒ වෙනුවෙන් ආණ්ඩුවට අභියෝග පවා කළේ පුළුවන් නම් මැතිවරණයක් තබන්න*යැයි පවසමිනි. ඔහු එක් වතාවක් කීවේ ජනමත විචාරණයක් තබා ආණ්ඩු බලය පිරික්සන ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන මැතිවරණ තැබීම පිළිබඳ විපක්ෂනායකවරයාගේ ඉල්ලීම එක් පැත්තකින් සාධාරණය. එහෙත් තවත් පැත්තකින් ගතහොත් එය ඉතාම ආසාධාරණය.
ලෝක වසංගතය හමුවේ ඉතාම අන්තිම අඩියකට හේත්තු වී සිටින ලංකාවට මැතිවරණයක් සඳහා දැරීමට මුදල් නැතුවාක් මෙන්ම ඡන්ද කෙරුවාව නිසා රට ඊළඟ කොවිඩ් රුල්ලකට යාමේ ඉඩකඩද නැතුවාම නොවේ. කෙසේ වෙතත් එසේ කියූ විට විපක්ෂයේ අයට ඇසිය හැකි එකම ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව මහමැතිවරණය තිබ්බේ එවැනි අවදානමක නොවේද යන්නය. එසේම විපක්ෂයට කිව හැකි තවත් කාරණයක් වන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවට යම් අවාසියක් සිදුවිය හැකි නිසා මැතිවරණයට නොයන බවය. ඒ නිසා පක්ෂ විපක්ෂ බොහෝ අයට නොයෙක් නොයෙක් කතා කිව හැක.
කෙසේ වෙතත් දැනටමත් පළාත් සභා මැතිවරණය දින බර ගාණකින් කල් ගොස් ඇත. පළාත් සභා මැතිවරණයක් තිබ්බ කාලයක් නැත. එදා පළාත් සභාවේ සිටි පක්ෂ විපක්ෂ බහුතරයක් අද ඉන්නේ පාර්ලිමේන්තුවේය. සැබැවින්ම පළාත් සභා මැතිවරණයට දැන් වගේ වගක් නැත. පළාත් සභා මැතිවරණයට පසුව ඊළඟට තියන්නට තිබෙන්නේ පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණයයි. 2018 වසරේ අවසන් වරට පැවැත්වූ අතර එකී මැතිවරණයෙන් පළාත් සභාවට තේරුණු පිරිස ගිනස් වාර්තාවට සමාන වන තරම්ය. එතරම් සංඛ්‍යාවක් ප්‍රාදේශීය සභා නගර සභාවලට තේරී පත් වූහ.
එම මැතිවරණයෙන් පසුව බොහෝ දෙනා විවේචනය කළේ විශාල පිරිවැයක් දරා මේ ආකාරයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් නඩත්තු කිරීම සුදුසු නොවන බවය. ඒ නිසා පළාත් පාලන මැතිවරණය සඳහා යොදාගත් කොට්ඨාස ක්‍රමය නවත්වා පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බව පක්ෂ විපක්ෂ බොහෝදෙනාගේ ඉල්ලීම විය. විශේෂයෙන් දූෂණ වංචාව නැති කිරීමේ අරමුණින් එම මැතිවරණ ක්‍රමය පැවැත්වුවත් එයද හරි ගියේ නැත. ඇතැම් බලය අල්ලාගත් ආයතනවල බලය හුවමාරු වූයේ මුදල් මත බවද චෝදනා එමටය. ඒ නිසා මෙම මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු යැයි බොහෝ දෙනා කීවේය.
මෙවර මැතිවරණය එවැනි වෙනස්කම් මත පැවැත්වෙතැයි බොහෝදෙනා සිතන මොහොතක ආණ්ඩුවේ මතය පසුගියදා ප්‍රකාශ කරමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය. මේ සම්බන්ධයෙන් පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළ විට ඔහු සඳහන් කර සිටියේ &නියත වශයෙන්ම මැතිවරණය කල්දානවා. විපක්ෂ නායකතුමාට රටේ තත්ත්වය ගැන කැක්කුමක් නෑ. මේ මැතිවරණ කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මේ ඔලුව උස්සන්න ඕන වෙලාවක්* යන්නය. එම කතාව එක් පැත්තකින් සාධාරණය. එහෙත් එයට චෝදනා නගමින් විපක්ෂයේ බොහෝදෙනා සඳහන් කරන්නේ මෙය ආණ්ඩුවේ කඩා වැටීම වසා ගන්නට කරන උප්පරවැට්ටියක් බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂය බරපතළ ලෙස අභියෝග කරන්නේද නැත. ඒ එසේ කිරීම හරහා ජනතා අප්‍රසාදය ඇති වෙතැයි සැකයෙනි. විශේෂයෙන් ජනතාවට මේ අවස්ථාවේ පුංචි ආණ්ඩු මැතිවරණය සම්බන්ධයෙන් මහා කැමැත්තක්ද නැත. එනම් ඊට වඩා ජනතාව ආර්ථික වශයෙන් පීඩනයක සිටීම නිසාය. ඒ නිසා ජනතාව පැහැදිලිවම මෙවැනි ඡන්දයක් ප්‍රතික්ෂේප කරන බව පක්ෂ විපක්ෂ බොහෝදෙනා දන්නා දෙයකි.
එපමණක් නොව වර්තමාන ආණ්ඩුව පත්ව ගතවූ අවුරුදු දෙකක කාලයක තුළ ජනතාවට දැනෙන වැඩක් ග්‍රාමීය මට්ටමෙන් සිදුකරන්නට හැකිවූයේ නැත. විශේෂයෙන් පොහොර අවුල, හාල් ප්‍රශ්නය, ගුරු අරගලය ආදී ගැටලුවලට නිශ්චිත විසඳුම් ලබාදීමට නොහැකි නිසා බිම් මට්ටමේ දේශපාලන උනන්දුව පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගෙන් ගිලිහී ගොස් ඇත. ඒ නිසා ඕනෑම ආණ්ඩුවක් අවාසිදායක ප්‍රතිඵලයක් ලබාගන්න උත්සාහ ගන්නේ නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝදෙනාගේ මතවාදය වන්නේ මේ අවස්ථාවේ මැතිවරණයක් අවශ්‍ය නොවන බවය. වසරකින් දීර්ඝකොට අවශ්‍ය ප්‍රතිපදාන වෙන්කර මේ තියෙන ආකාරයෙන් පවත්වාගෙන යන අදහස ආණ්ඩු හිතවාදීන්ගේ මතය වී ඇත. තවත් පිරිසකට මේ මැතිවරණය තිබ්බත් නැතත් ගාණක් නැත. මෙකී මැතිවරණය අවශ්‍ය වන්නේ සැබැවින්ම ආණ්ඩුවේ සහ විපක්ෂයේ අයට තම බලය මේ මොහොතේ පෙන්වීම සඳහාය. එහෙත් රටේ ඇත්ත තත්ත්වය ජනතාවට පෙනෙන මොහොතක පක්ෂ විපක්ෂ බොහෝදෙනා සම්බන්ධයෙන් ජනතා මතය එක තැනකට රොක්වෙමින් ඇත. ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී ජනතාව තම මතය පෙන්වනු ඇත. එහෙත් එය දේශපාලනඥයන් කෙතරම් තේරුම් ගනීද යන්න ගැටලුවකි.
ගයාන් ගාල්ලගේ