2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

නිවසේ නිරෝධානයෙන් ගොඩයන්න පුළුවන්

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 11

කොවිඩ් ආසාදිතයන් නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ සේවාව මේ වන විටත් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙමින් තිබේ. සෞඛ්‍ය අංශය විසින් මේ වසරේ ජූනි මස සිට මෙම සේවාව රට පුරා ව්‍යාප්තව සිදු කිරීමට පියවර ගත්තේය.
ජූනි මස සිට මේ දක්වා කොවිඩ් රෝගීන් අසූඅට දහස් පන්සිය විසි එක් දෙනකු ලියාපදිංචි කොට මෙම නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට ඇතුළත් කරගෙන තිබෙනවා. එයින් හැත්තෑ නමදහස් හත්සිය හැත්තෑ හයකට වැඩි පිරිසක් මෙම ප්‍රතිකාර ලබා සුව වී මෙම ලේඛනයෙන් නිදහස් වී තිබෙනවා. මේ වන විට මෙම නිවෙස්ගත ප්‍රතිකාර කිරීමේ සේවාව යටතේ හත්දහස් දෙසීයකට අඩු සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් පසුවනවා. පසුගිය කාලයත් සමඟ සංසන්දනය කරද්දි එය විශාල අඩුවීමක්. පසුගිය කාලයේදි දිනපතා රෝගීන් පහළොස් දහසක් පමණ රැඳී සිටි කාලයක් තිබුණා.
 

පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.
පසුගිය කාල වකවානුව තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණු කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවය ඉතා සීඝ්‍රයෙන් අනෙකුත් දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත විය. ඒ අනුව සති කිහිපයක් ඇතුළත රෝහල් ධාරිතාවයද ඉක්මවා යමින් මෙරටින් රෝගීන් වාර්තා විය. සෞඛ්‍ය අංශයේ සියලුම සේවක සේවිකාවන්ගේ දෛනික රාජකාරි කටයුතු තුන් හතර ගුණයකින් ඉහළ ගිය අතර සෞඛ්‍ය අංශයේ නිලධාරීහුද මෙම කොවිඩ් ආසාදිතයන් අතරට එක්වූහ.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් නොකරන, අසාධ්‍ය නොවන ආසාදිතයන් නිවෙස් නිරෝධායනයට ලක් කර නිවෙසේ සිටම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. මේ සඳහා දිවයින පුරා විසිරී සිටින වෛද්‍යවරුන්ගේ සහායද ලැබිණි. මෙම වැඩපිළිවෙළ ආරම්භ වීමත් සමඟම නිවෙසේ සිටම ඒ අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් අනුව ක්‍රියාත්මක වීමෙන් ඉතා ඉක්මනින් රෝගය සුවපත් වූ අතර දින දාහතරක් ගතවීමෙන් පසුව නිවෙස්ගතව ප්‍රතිකාර ලබාගත් ආසාදිතයන්ට තම සුපුරුදු රාජකාරි කටයුතු සිදු කිරීමට අවශ්‍ය නිදහස ලබාගැනීමට හැකියාව ලැබිණි.

&මේ වන විට නිවෙස් ප්‍රතිකාර ලබමින් පසුවන ආසාදිතයන්ගේ අඩුවීමට මාසයකට අධික කාලයක් රට තුළ පැවති නිරෝධායන ඇඳිරි නීතියද හේතුවක් වුණා. සංචරණ සීමා පැනවීමත් සමඟ මිනිසුන්ගේ ගමන් බිමන් සීමා වුණා. පොදු ප්‍රවාහන සේවා, සාද නොපැවැත්වීම වැනි හේතුද මේ අඩුවීමට හේතු වුණා. ඒ වගේම එන්නත්කරණය හේතුවෙන්ද රෝගීන් අසාධ්‍ය වීමේ ප්‍රවණතාවය අඩු වුණා. ලියාපදිංචි වුණු අසූඅට දහස් පන්සිය විසි එකටම අපිට රෝහල්ගත කොට ප්‍රතිකාර ලබාදීමට සිදුවූයේ කොවිඩ් ආසාදිතයන් එක්දහස් දෙසිය පනස් හයක් පමණයි. එය ඉතා අඩු ප්‍රතිශතයක්. නිවෙස්ගත ප්‍රතිකාර කිරීමේ සේවාවට ලියාපදිංචි වූ රෝගීන් අතරින් වැඩිහිටියන් මෙන්ම ළමුන්ද ඇතුළත් වුණා. ඒ අනුව නමදහස් හත්සිය හතළිහක් පමණ සංඛ්‍යාවක් මේ දක්වා අප සමඟ රුඳී ඉඳලා තියෙනවා. ගර්භණී මාතාවන් තුන්සිය දහයක්ද මෙම නිවෙස් ප්‍රතිකාර සේවාව හා එක්ව අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා රෝගය සුවපත් කරගෙන තියෙනවා. ඒ අනුව පවුලෙන් වෙන්ව සිටින කාලය තුළදී පවුලේ අනෙකුත් සාමාජිකයන්ට මේ රෝගය පැතිරීම වළක්වා ගැනීමට රෝගියා අනිවාර්යයෙන්ම වගකියනවා නම් පමණක් අපි ඒ රෝගියාව මේ සේවයට බඳවා ගන්නවා. ඒ සඳහා මෙම වෛද්‍යවරුන්ට රෝගියා හඳුනාගෙන වෛද්‍ය උපදෙස් ලබාදීමට අවශ්‍ය පුහුණුවද ලබා දී තියෙනවා. යැයි ද වි‍ශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කියයි.

මෙම සේවාව හේතුවෙන් රෝහල්වල රෝගීන්ගේ ධාරිතාව අඩුවෙමින් පවතින අතර රෝගීන් දරාගත නොහැකිව රෝහල් සේවක සේවිකාවන් සිදු කළ සේවාවේ යම් අඩුවක් පැවතීම හේතුවෙන් ඔවුන්ටද මඳ අස්වැසිල්ලක්ද හිමිවිය. එමෙන්ම රෝහල් ප්‍රතිකාරවල අඩුවීම හේතුවෙන් රජයට වියදම් වන මුදලේ ද යම් අඩුවක් සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කරන මෙම සුවිශේෂී සේවාව හේතුවෙන් මේ වන විටත් බොහෝ ආසාදිතයන් පිරිසකට විශාල සේවාවක් හිමිව තිබේ. මෙය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක සේවාවකි.

මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය, උපදෙස් හා විශේෂඥ වෛද්‍යවරුන් රෝගියා සමඟ ඍජුව දුරකථනය ඔස්සේ සම්බන්ධ වීමක් සිදුවෙනවා. ඒ අනුව රෝගියා සුරක්ෂිතයි යනුවෙන් අපිට සහතික කරන්න පුළුවන්. මේ සේවාව සඳහා පුහුණු කරන ලද වෛද්‍යවරුන් හයසීයක් සම්බන්ධ වී ඇති අතර විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට අනූ දෙනකු ඇතුළත් වෙනවා. වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම මෙය මෙහෙයවනවා.

මෙම වෛද්‍යවරයෙක් දින දාහතරක් යනතුරු දිනපතාම රෝගියා සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී රෝගියා පිළිබඳව සොයා බැලීමක් සිදු කරයි. මේ දින දාහතර තුළ අදාළ රෝගියා සමඟ සම්බන්ධ වන්නේ ඔහුටම වෙන්වුණු වෛද්‍යවරයෙකි. ඒ අනුව රෝගියාගේ දෛනික රෝග විනිශ්චයක් ලබාගැනීමේ හැකියාව ඒ වෛද්‍යවරයා සතුව පවතී. එමෙන්ම රෝගියා කතා කරනු ලබන භාෂාවට අනුව ඔහුට හෝ ඇයට සම්බන්ධ කරනු ලබන වෛද්‍යවරයාද තීරණය වේ. උදාහරණයක් ලෙසින් දමිළ භාෂාව කතා කරනු ලබන රෝගියකුට මෙම සේවාව තුළින් සම්බන්ධ වන්නේ දමිළ භාෂාව කතා කළ හැකි වෛද්‍යවරයෙකි. කතා කරනු ලබන භාෂාව අනුව වෛද්‍යවරුන් යොමුකර තිබේ. මෙම පද්ධතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පරිගණක තාක්ෂණය ඔස්සේය. එම පරිගණක දත්තවලට අනුව එම රෝගියා ලියාපදිංචි වුණු දින සිට රෝගී සත්කාර සේවයේදී වෛද්‍යවරුන් විසින් ලබාදෙනු ලබන උපදෙස් සහ රෝග ලක්ෂණ ඇතුළු සියලුම දත්ත මෙහි සටහන් වී ඇත. දින දාහතරකට පසුව සුව වන රෝගීන්ට එම පද්ධතියෙන් මුදා හරිනු ලැබේ. යම් හෙයකින් රෝගියාට වෛද්‍ය සහතිකයක් අවශ්‍ය වන්නේ නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයා මගින් එම අවශ්‍ය සහතිකය ලබාගත හැකිය.

එක පවුලකට ලබාදෙනු ලබන්නේ එක් වෛද්‍යවරයෙක් පමණයි. යම් හෙයකින් එම දින දාහතර ඇතුළත රෝගියාගේ නිවෙස් සිටින අනෙකුත් සාමාජිකයන්ද රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් එම වෛද්‍යවරයාගෙන්ම උපදෙස් ලබාගන්නට පුළුවන්. කොයි තරම් රෝගියා වෙන්කර තැබුවත් රෝගියාගේ නිවෙසේ සාමාජිකයන්ට ඒ වන විටත් රෝගය ආසාදනය වී තිබෙන්නට පුළුවන්. ඒ අනුව දින කිහිපයකට පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන එම සාමාජිකයන්ට උපදෙස් ලබා දෙන්නේ එම වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේයි. යැයි ද විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05