2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

සංචාරකයන්ට පැය 3න් ප්‍රතිඵල දෙන පී.සී.ආර්. ලැබ් එක

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

ශ්‍රී ලංකාව පුරා කොරෝනා වසංගත රෝගී තත්ත්වය ව්‍යාප්ත වී යාමත් සමඟම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ජනතා අවධානයට ලක් වූයේ, මෙම ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන් නිසා, නවතම කොරෝනා වෛරස ප්‍රභේද රට තුළට ඇතුළු වන බවට ජනමතයක් රටපුරා පැතිර යාම හේතුවෙනි.

එහෙත් වර්තමානයේ රජයේ තීරණය වූයේ, ගුවන් තොටුපළ විවෘතව තබා ගනිමින්ම, රට තුළ කොරෝනා මර්දන කටයුතු ක්‍රියාත්මක කරළීමටය. මේ සඳහා ඒ වනවිටත් කටුනායක ගුවන් තොටුපළ තුළ, ශ්‍රී ලංකාවේ විශාලතම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන පරීක්ෂණාගාරය ස්ථාපිත කර තිබුණි. මෙම පරීක්ෂණාගාරය තුළ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 5,500 ක් පමණ සිදුකර, ඒවායේ වාර්තා නිකුත් කිරීමේ ධාරිතාවයක් සතුව පවතී.

මෙම පරීක්ෂණාගාරය සතු ධාරිතාවය නිසාම, ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ මෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවල නියැදීන්ද පරීක්ෂා කර වාර්තා නිකුත් කිරීමද සිදු කෙරිණි. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාව පුරා පිහිටි සංචාරක හෝටල් විශාල සංඛ්‍යාවක් ඇති අතර, ඒවා මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා දැඩි ලෙස අසීරුතාවට පත් වී තිබුණේ, ඒවාට සංචාරකයන් නොපැමිණීම නිසාය.
ඒ අනුව තුන්වැනි කොරෝනා රුල්ල තුළදී, යළිත් කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමගම, ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික සහ විදේශීය සංචාරකයන් නිරෝධායනය ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේ වැඩසටහනක්ද ගුවන් තොටුපළ තුළින්ම ක්‍රියාවට නංවා තිබුණි. එහිදී විදේශ රටවල රුකියා සඳහා ගොස් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රජයේ වියදමින්, රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කෙරුණි.

මෙම කටයුත්ත කටුනායක ගුවන් තොටුපළේ සිට නිරෝධායන මධ්‍යස්ථානය දක්වා වූ සියලුම මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි. එහිදී ශ්‍රී ලංකා යුධ හමුදාවට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවද නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගෙන ගිය අතර එවකට එවැනි මධ්‍යස්ථාන 82ක් පමණ මෙම හමුදාවන් විසින් පවත්වා ගෙන යමින් තිබුණි. එහෙත් සංචාරකයන් සහ අනෙකුත් අතමිට යහමින් ගැවසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා, සංචාරක හෝටල් ආශ්‍රිතව, හෝටල් නිරෝධායන ක්‍රියාවලියක්ද හඳුන්වා දෙමින් තිබුණි.

මෙම වැඩපිළිවෙළ තුළ සංචාරක හෝටල් අයිති කෝටිපති ව්‍යාපාරිකයන් මෙන්ම, දේශපාලනඥයන් පිරිසක්ද හිස ඔසවමින් සිටියහ. ඔවුන්ගේ මැදිහත් වීම මත, ක්‍රමයෙන් රජයේ නිරෝධායන ක්‍රියාවලිය අහෝසි වන්නට පටන්ගත් අතර, හෝටල් නිරෝධායනය ක්‍රමයෙන්, නිරෝධායන ක්‍රියාවලිය තුළ ව්‍යාප්ත වන්නට විය. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස, අවසානයේදී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන් සියලුදෙනාම මුදල් අය කරන නිරෝධායන ක්‍රියාවලියක් වෙත යොමු වන්නට විය. විදේශ රටවල ශ්‍රමය වගුරුවා ශ්‍රී ලංකාවට පැමිණෙන, දේශීය ශ්‍රී ලාංකිකයන් මෙම ක්‍රියාවලිය තුළ මහත්සේ අසරණ වන්නට පටන් ගෙන තිබුණි. මෙම සිදු වීම කොතරම් උග්‍ර වූවාද කියතහොත් එවැනි ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නිවාඩු ලබා තිබුණද ඔවුන් මෙරටට නොපැමිණ, එම රටවලම රැඳී සිටින්නට වූයේ ගුවන් තොටුපළ තුළ සිදුකෙරෙන නිරෝධායන මංකොල්ලය සඳහා මුදල් පිදීමට ඔවුන් සතුව මුදල් නොතිබූ නිසාය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ මේ පිළිබඳව විශාල කතිකාවක් රට තුළ මෙන්ම විදේශයන් තුළද ඇතිවීමයි.

මෙම හෝටල් නිරෝධායන ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට දින දෙක තුනක කාලයක් සඳහා රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වැය කරන්නට සිදු වී තිබුණි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමත්, ලංකා බැංකුවත්, හොස්පිනෝම් (Hospinorm) නැමැති වෛද්‍ය පරීක්ෂණ ආයතනයත් එක්ව කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ කැනඩා මිත්‍ර මාවතේ 18 කණුව මංසන්ධිය අසළ නවතම පහසුකම් වලින් සමන්විත පී.සී.ආර්. පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම හොස්පිනෝම් ආයතනය ජර්මනියේ සහ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළවලද මේ ආකාරයට පී.සී.ආර්. පරීක්ෂණාගාර පවත්වා ගෙන යමින් වඩා හොඳ අත්දැකීම් ඇති ආයතනයකි. මෙම පරීක්ෂණාගාරය මගින් පැයකට පී.සී.ආර්. පරීක්ෂණ 500ක් සිදුකරනු ලබන අතර දිනකට එවැනි පරීක්ෂණ 7,000ක් පමණ සිදු කිරීමේ ධාරිතාවයකින් යුතුය. මෙම පරීක්ෂණාගාරය එක් ගුවන් මගියකුගෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 40ක මුදලක් අය කරනු ලබයි.

ශ්‍රී ලංකාවට පිවිසෙන විදේශීය ගුවන් මගීන් සඳහා මෙම පරීක්ෂණාගාරය වෙන් කිරීමට තීරණය කර තිබුණද, මේ වනවිට ශ්‍රී ලාංකික ගුවන් මගීන්ද මේ පරීක්ෂණාගාරය වෙත යොමු කිරීමට මේ වනවිට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට මෙම පරීක්ෂණාගාරය නිසා ඇමෙරිකානු ඩොලර් 40ක මුදලක් වැයකර උපරිම පැය 03ක කාලයක් තුළ ගුවන්තොටුපළෙන් පිටත්ව යාමේ අවස්ථාවද උදා වී තිබේ.

ගුවන් යානා තුළින් පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන්ට මුලින්ම ගුවන් යානය තුළදී ගුවන් තොටුපළ නවතම මෙම පී.සී.ආර්. පරීක්ෂණාගාරය පිළිබඳව මූලික දැනුම් දීමක් සිදු කරනු ලැබේ. ඊට අමතරව ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට පිවිසෙන සියලුම ගුවන් මගීන්ට අවස්ථා කීපයකදීම මෙම පරීක්ෂණාගාරය පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරයි. 

ඉන්පසුව ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල තුළට පිවිසෙන ගුවන් මගීන් සිය ආගමන විගමන කටයුතු නිමවා තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන රේගු කටයුතු නිමවා බැංකු පරිශ්‍රය වෙත ගොස් එහි ඇති ලංකා බැංකු කවුන්ටරය වෙත පිවිස පී.සී.ආර්. පරීක්ෂණය සඳහා මුදල් ගෙවීම සිදු කළ යුතුය. එයින් පසු ගුවන් තොටුපළෙන් පිටතට පැමිණෙන ගුවන් මගීන් පැමිණීමේ පර්යන්තයේ විශේෂයෙන් සූදානම් කර ඇති සුඛෝපභෝගී බස් රථ වෙත යොමුකරන්නේ කටුනායක 18 කණුව පී.සී.ආර්. පරීක්ෂණාගාරය වෙත රුගෙන යාමටය. මෙම බස් රථ සේවාව ගුවන් තොටුපළ මගින් මෙම ගුවන් මගීන් සඳහාම සූදානම් කර ඇති බස් සේවාවකි.

ගුවන් තොටුපළ සිට කිලෝමීටර් දෙකක තරමේ දුරකින් පිහිටා තිබෙන මෙම හොස්පිනෝම් පරීක්ෂණාගාරය මුළුමනින්ම වායුසමනය කර තිබේ. එහිදී පී.සී.ආර්. පරීක්ෂණය සඳහා පෙනී සිටීමෙන් පසුව අවශ්‍ය නම් තම නිවෙස් කරා ශ්‍රී ලාංකිකයන්ටත්, විදේශීය සංචාරකයන් සඳහා තම සංචාරය ආරම්භ කිරීමටත් අවස්ථාව හිමිවේ. එහිදී සංචාරකයන්ට තමා මුහුණ දුන් පරීක්ෂණයේ ප්‍රතිඵල කෙටි පණිවිඩයක් සේ ජංගම දුරකථනය වෙත ලබාදීමට මෙම රසායනාගාරය විසින් පියවර ගනු ලැබේ.

එහිදී මෙම ගුවන් මගියා කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගෙන ඇති අයකු නම් මෙම පරීක්ෂණය තුළින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුවහොත් එම ගුවන් මගියාට සමාජගත වීමට හෝ තම ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කළ හැකිවේ. අවශ්‍ය නම් මෙම පරීක්ෂණාගාරය තුළ රුඳී සිටිමින් තම පරීක්ෂණයේ ප්‍රතිඵල දැන ගෙනම මෙම ස්ථානයෙන් පිටත්ව ගිය හැකි අතර එහිදී මෙම රසායනාගාරය තුළ රුඳී සිටීම සඳහා විශේෂිත වූ පහසුකම්ද සලසා දී තිබේ

මෙම පරීක්ෂණයෙන් මෙම ගුවන් මගියා ආසාදිතයකු බවට තහවුරු වුවහොත්, ඔහු ශ්‍රී ලාංකිකයකු නම් නිවෙස් නිරෝධායනය සඳහාද, විදේශීය සංචාරකයකු නම් ඔහු හෝටල් නිරෝධායනය සඳහාද යොමු කරනු ලබයි. එමෙන්ම එක් එන්නතක් පමණක් ලබාගෙන ඇති ගුවන් මගීන් සහ සංක්‍රමණික ගුවන් මගීන් දින 14 ක කාලයක් ආසාදිත නොවූවත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු විය යුතුය. එසේම එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති ගුවන් මගීන්ද තමන් ආසාදිත නොවූ බවට තහවුරු වුවත්, ඔවුන් දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වීමෙන් අනතුරුව සංචාරක බුබුලක් සේ ශ්‍රී ලංකාවේ සංචාරයට යොමු විය යුතුය.

මෙම වෛද්‍ය රසායනාගාරය සැප්තැම්බර් 23 දින උදෑසන  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය සහ බෝවන රෝග රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන සම්භාවනීය ආරාධිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත විය.

මෙම නව හොස්පිනෝම් පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය දේශීය ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ගේද මුදලත් කාලයත් දෙකම ඉතිරිකර දීමට සමත් වී තිබේ. එහෙත් මේ වනවිට මෙම වෛද්‍ය රසායනාගාරය සුළු තාක්ෂණික දෝෂයකට ලක් වීමෙන් තාවකාලික අකර්මණ්‍යතාවයකට පත්වී තිබේ.

 කටුනායක ටී.කේ.ජී. කපිල

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05