පිළියන්දල කහපොළ බොල්ගොඩ ජලාශයට නුදුරින් පිහිටා ඇති රෙජිඩේල් වත්ත අක්කර 78ක් විශාල වන අතර, ප්‍රදේශයේ ඉතිරිව පවතින එකම විශාල තනි ඉඩමයි. නගරයට එතරම් දුර නොවුවද සුන්දර ග්‍රාමීය වටපිටාවකින් යුත් මේ වතුයාය තැනින් තැන වනවදුලුවලින් සමන්විත උස් බිමක පිහිටා තිබේ. එම ඉඩම රජයට තම අන්තිම කැමැත්තෙන් පරිත්‍යාග කර ඇත්තේ සමරකෝන් නම් කැස්බෑවේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි. ඔහු මෙම ඉඩමද ඇතුළුව දේපල රාශියක් මහා බාරකරුට පවරා ඇති අතර මෙම ඉඩම බෞද්ධ කාර්යයකට යොදාගත යුතු බව ඔහු අවසන් කැමැත්තේ සඳහන් කර ඇත.
මෙම ඉඩම පැවැති රජයන් විසින් අවස්ථා හතරකදී විවිධ ව්‍යාපෘති සඳහා යොදාගත්තද ඒ සියල්ලම සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිධූරය දැරූ සමයේදී 2014 වසරේදී එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා එහි මුල්ගල් තැබීය. එහෙත් එයද මුල්ගලකට පමණක් සීමා විය. ඉන්පසු ගහපාලන ආණ්ඩුව පැවති සමයේ එම ඉඩම බුද්ධ ශාසන අමාත්‍යංශයට පවරාගෙන ශාක්‍ය ජනපදය සහ ජාත්‍යන්තර බෞද්ධ සන්නිවේදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මුල්ගල තැබුණි. ඒ වර්ෂ 2017දීය. එහි වියදම රු. කෝටි 50ක් විය. එය අතරමග නැවතුණු අතර මෙම වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට 2020 දී උපදෙස් දී තිබුණද එයද ක්‍රියාත්මක වූ බවක් නොපෙනේ.
මෙම වතුයාය කලින් රබර් වත්තක්ව තිබී පසුව අත්හැර දමන ලද්දකි. මහා භාරකාර දෙපාර්තමේන්තුව භාරයේ පැවැති එය පසුව බුද්ධශාසන අමාත්‍යංශයට පවරා ඇත්තේ සමරකෝන් පවුලේ ඉල්ලීම පරිදි බෞද්ධාගමික කටයුත්තකට යොදා ගැනීම සඳහාය. සම්පූර්ණ ඉඩමෙන් අක්කර 65ක් පමණ ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණයට යොදාගැනීමට යෝජිතව පැවතුණි. දැනට ඉඩමේ බොහෝ ප්‍රදේශ විශාල වෘක්ෂ වැවී වනගත ස්වරෑපයක් පළකරන අතර එම ශාක ඉවත් නොකර එලෙසම යොදාගැනීමට සැලසුම් කර තිබුණි. බුද්ධශාසන අමාත්‍යංශයේ අධීක්ෂණය සහිතව ලයිට් ඔෆ් ඒෂියා පදනමේ නිර්මාණ හා ප්‍රතිපාදන දායකත්වයෙන් ශාක්‍ය ජනපදය සැලසුම් කළ අතර, ඒ සඳහා භාරකාර මණ්ඩලයක් පත් කිරීමටද යෝජනා වී තිබුණි. බුද්ධශාසන අමාත්‍යංශයේ නියෝජිතයන් 6ක් සහ ලයිට් ඔෆ් ඒෂියා පදනමේ නියෝජිතයන් 4ක් එයට එම මණ්ඩලයට අයත් වීමට නියමිත විය. නේපාල පුරාවිද්‍යාඥ බසන්ත බිදාරිගේ අධීක්ෂණය යටතේ මෙහි සියලු ඉදිකිරීම් කිරීමට යෝජිත විය. මේ සඳහා ඇස්තමේන්තුගත මුදලින් රුපියල් කෝටි 40ක් පමණ විවිධ පරිත්‍යාගශීලින්ගෙන් එකතු වූ බව එවකට බුද්ධ ශාසන ඇමතිව සිටි විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි. නමුත් ඒ මුදලට වූයේ කුමක්ද යන්න පැනයකි.
විශාල උත්සවයක් පවත්වා මුල්ගල තැබූ ශාක්‍ය ජනපදය මේ වනවිට ඉදිකළ ගොඩනැගිලි පවා කැලෑවට ගොස් වේළුවනයක් බවට පත්ව ඇත. අද එය අවට ගම්වාසීන්ට පවා තර්ජනයක් ගෙන එමින් කුඩුකාරයන්ගේ සහ මත්පැන් පානය කරන්නන්ගේ තිප්පොලක් වී අවසන්ය. ගමට සෙතක් නොවන ව්‍යාපෘතිවලින් වැඩක් නෑ. ඒවායෙන් ගමටත් අවැඩක් තමයි වෙන්නේ යයි කහපොළ ගම්වාසීහු පවසති.
&එකට තිබුණු කහපොළ ගම මේ වත්තේ ව්‍යාපෘති නිසා දෙකඩ වී ගිහිල්ලා. බුද්ධ ශාසන ඇමතිවරු කිහිපපොළක් විවිධ යෝජනා ගෙනත් ව්‍යාපෘති පටන්ගන්න හැදුවා. ඒ යෝජනා කිසිවක් පලදරලා නෑ. ඒ වෙනුවට කෝටිගණන් මුදල් නිස්කාරණයේ නාස්තිවෙලා ගිහින්. අද අසංවර ක්‍රියාවලට මෙතැන තෝතැන්නක් වෙලා.* ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් වන උග්ගොඩ ධම්මානන්ද හිමියෝ පවසති.
2017 වසරේ ඉදිකිරීම් ඇරුඹුණු ශාක්‍ය ජනපදයේ ඉදිකිරීම් මේ වනවිට නැවතී වර්ෂ කිහිපයක් ගතවී ඇත. අද ඉන්දියාවේ නටබුන්ව පවතින ශාක්‍ය රාජධානිය මෙන් එයද නටබුන්ව කැලෑවට යටවී ගොසිනි. මිලියන ගණන් වැයකර තැනූ ගොඩනැගිල්ල, ප්‍රවේශය, පියගැට පෙළ, සඳකඩ පහන කැලෑවට යටවී දිරාපත් වෙමින් පවතී. ශාක්‍ය ජනපදය යයි කියමින් රටම ගොනාට ඇන්දවූවා විනා ඉදිවූ ජනපදයක් නැත. අරපරපරිස්සම ගැන ජනතාවට වැදි බණ කියන පාලකයන්ට මේ නාස්තිවන ධනය ගැන වගේ වගක් නැත. එමෙන්ම මෙවැනි කටයුතු එම ඉඩම තෑගි කළ සමරකෝන් පරපුරටම කරන නින්දාවකි.
2019 ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව මෙම ශාක්‍ය ජනපදය විවෘත කිරීමට සැලසුම් සකස් කර තිබුණත් එහි පවතින්නේ ගරාවැටෙමින් පවතින ප්‍රකාරය, ගොඩනැගිල්ලක් සහ පොකුණු කිහිපයක් පමණි. මෙම ගොඩනැගිල්ල සුද්ධෝදන මාලිගය ලෙස හඳුන්වා ඇත. එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවක සිරසටද හානිකර ඇති අයුරු දැක්වෙන සේයාරුවක් මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
මේ සඳහා මුල්වූ එවකට බුද්ධශාසන ඇමතිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය සියලු අරමුදල් සොයාගෙන මෙහි ඉදිකිරීම් ආරම්භ කළත් අතරමගදී තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවයි.* තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ පසු එය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නගරයක් කරන බවට මාධ්‍ය වාර්තා පළ වූ බවද ඔහු සඳහන් කර සිටියේය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම ඉඩමෙන් අක්කර පහක් බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ තබාගෙන ඉතිරිය වන ජීව රුකවරණ අලි වැට හා අගල් ඉදි කිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට පවරා ඇති බවයි. එහෙත් රාජ්‍ය අමත්‍ය විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා* බවයි. අනෙක් අතට අන්තිම කැමැත්තෙන් බුදුදහමේ උන්තියට හේතුවන වැඩකට පරිත්‍යාග කළ ඉඩමක් සත්වෝද්‍යනයක් තනා වනසතුන් කූඩුකිරීමට යොදාගැනීම තවත් පාප කර්මයක් බවයි අපට නම් පේන්නේ.
මේ අතර දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ පසුගිය දා එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. ඔහු සඳහන් කරන්නේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් සහ ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ලෙස මෙය යොදා ගැනීමට පියවර ගන්නා බවයි.
කුසුම්සිරි විජයවර්ධන