කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි පසුගිය දිනවලදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙක්ම කියා සිටියහ. ඒ අතර සංකූලතා සහිත සහ විවිධ නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවනට කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීම ගෙවුණු සතියේදී ආරම්භ විය. එම නිසාම දරුවන් සහ එන්නත්කරණය සම්බන්ධව පළවූ විද්වත් මත කිහිපයක් සලකා බැලීමට අපි තීරණය කළෙමු.
ලෝක සෞඛ්‍ය සංවිධනය තවමත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශ ලබා දී නොමැත. වයස අවුරුදු 18ට වඩා වැඩි ඕනෑම අයෙක්ට තමන් අනුමත කර ඇති ඕනෑම එන්නතක් ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියි. එහෙත් අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට ඔවුන් අනුමත කරන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත පමණි. එහෙත් ඇතැම් රටවල් සිය අභිමතය පරිදි තම රටවල සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත දරුවන්ට වෙනත් එන්නත් ලබාදුන් අවස්ථාද වාර්තා වේ. ඒ කෙසේ වෙතත් මෙරට එන්නත්කරණය සම්බන්ධව කටයුතු කරන විශේෂඥ කමිටුවද ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමට නිර්දේශ කොට තිබේ. එසේම දරුවන් සඳහා එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත් එම විශේෂඥ කමිටු නිර්දේශ කොට තිබේ. මේ දිනවලදී දරුවන් සඳහා සිදු කෙරෙන එන්නත්කරණයේ පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මෙම නිර්දේශවලට අනුකූලවය.
දරුවන් සඳහා එන්නත්කරණය සිදුකිරීමේ වැඩසටහනේ සක්‍රීය සාමාජිකයකු ලෙස කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙම ක්‍රියාවලිය සම්බන්ධ සිදුකළ පැහැදිලි කිරීම් කිහිපයක් වෙත අවධානය යොමු කරමු.
“එන්නත් පිළිබඳව අනුකමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානය, සී.ඩී.සී. ආයතනය, ඔක්ස්ෆර්ඩ් මයෝමින් කියන ආයතන නිර්දේශයන් ලබාදීලා තියෙනවා ෆයිසර් එන්නත තමයි දරුවන්ට නිර්දේශිත එන්නත කියලා. අපි කාණ්ඩ තුනක් යටතේ එන්නත ලබාදීම සිද්ධ වෙනවා. ඒ අවුරුදු 12-19 කාණ්ඩය. එහිදී දීර්ඝකාලීන රෝග තියෙන අයට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගෙන තියෙනවා. ඊට ප්‍රධාන හේතුව තමයි එම කණ්ඩායම අවදානමකට ලක්නොකර පාසල් ආරම්භයේදීම ඔවුන්ට සම අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම. වයස අවුරුදු 15ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය ඉදිරි කටයුතු කරනවා වගේම එන්නත් මිලියනයක් ඉදිරියේදී රටට ලැබෙනවා.
ඒ අනුව අපි වයස අවුරුදු 19-18-17 කියන වයස් කාණ්ඩයන්ට එන්නත් ලබාදීම සිදුකරනවා. අනතුරුව 12-15 කියන වයස් කාණ්ඩයට එන්නත දෙනවා. සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දුර්මතයක් පැතිර යනවා මේකෙන් දරුවන්ට භයානක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා කියලා. නමුත් ලෝකයේ කිසිම තැනක දරුවකුට ජීවිත හානි සිදුවුණා කියලා වාර්තා වෙලා නෑ. සුළු ප්‍රමාණයක් රෝහල් ගතවීම් සිද්ධවෙලා තියෙනවා. ඊට වැඩිය කිසිම සිදුවීමක් සිදුවෙලා නෑ. වයස අවුරුදු 12-15 අතරේ දරුවන්ට දෙවැනි එන්නතක් ලබාදීම පිළිබඳව තවම තීරණයක් නෑ.
අන්තර්ජාලයේ විවිධ විදෙස් ලිපි පරිවර්තන මෙන්ම එන්නත් විරෝධී කණ්ඩායම්වල මිත්‍යා මත පැතිරවීම ආදිය හේතුවෙන් දෙමව්පියන් තුළ දරුවන් එන්නත්කරණය බියක් නිර්මාණය වෙමින් පවතී. වෛද්‍ය පාදෙණිය මහතා ඒ පිළිබඳවද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කරයි.
“දුර්මත පැතිරෙන බව අපට ආරංචියි. විශේෂයෙන්ම ලෝකයේ දැනට මතුවෙලා තියෙන දේ තමයි අවුරුදු 12 -15 වගේ වයස් කාණ්ඩයේ ෆයිසර් දෙවැනි එන්නත දුන්නට පස්සේ තමයි ඔය ‘මයෝකාඩයිටීස්’ කියන ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ. ඒ උනත් කිසිදු දරුවෙක් ඒකෙන් මියගිහින් නෑ. පොඩි කාලයකට ඒ සඳහා රෝහල්ගත කරලා ගෙදර ගියා කියන සාක්ෂිය තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒක නිසා කොහොමටත් 12 – 15 කාණ්ඩයට දෙවන එන්නතක් ලබාදීම ගැන තවමත් තීරණයක් නෑ. පළමුව රෝග තියෙන දරුවන්ට ලබා දී ඊළඟට අවුරුදු 15ට වැඩි දරුවන්ට ලබාදීලා අවුරුදු 12 – 15 කාණ්යට එන්නත් ලබාදීමට තවත් මාසයක් පමණ යයි. ඒ අතරතුර අපට ලැබෙන දත්ත අනුව අපට අවශ්‍ය එන්නත් ගැන තීරණ ගන්න පුළුවන්. ඒ ඇරෙන්න සමාජ වෙබ් අඩවිවල පැතිරෙන මතවාදයන් ගැන තහවුරු කරපු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා එන්නත්කරණයට යොමුවෙන්න කියලා ඉල්ලනවා.”
මීට අමතරව පාසැල් විවෘත කිරීම සහ පාසල් සිසුන් අවුරුදු 12 – 19 කණ්ඩය එන්නත්කරණය යනු කරුණු දෙකක් බව අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙයි. ලොවපුරා පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම යුනිසෙෆ් සහ යුනෙස්කෝ යන ආයතනත් නිර්දේශ කොට තිබේ.
පාසල් විවෘත කිරීමයි ඒ වගේම පාසල් සිසුන් අවුරුදු 12 - 19 කණ්ඩායම වැක්සිනේට් කිරිල්ලයි දෙක කරුණු දෙකක්. ඒ කියන්නෙ වැක්සිනේට් කරලා පාසල් විවෘත කිරීම සඳහා සිටිය යුතුයි කියන ස්ථාවරයක් නෑ. අනිත් පැත්තට යුනෙස්කෝ සංවිධානයයි ලෝක සෞඛ්‍ය සංවිධානයයි යුනිසෙෆ් එකයි තුන් කට්ටියම කියනවා පාසැල් විවෘත කරන්න කියලා. ඒ අය පැහැදිලි ලෙස නිර්දේශ දීලා තියෙන්නෙ පාසල් වසා තැබීමෙන් වෙන පාඩුව හුඟාක්ම වැඩියි කියලා. ඒක හින්දා වෛද්‍ය ක්ෂේත්‍රවල මතය පාසල් විවෘත කිරීම අපේ ප්‍රමුඛතාවයක් වියයුතුයි කියන එක තමයි.
අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිටත් ලබා දී ඇති නිර්දේශය පරිදි නුදුරේදීම පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පසුගියදා පැවසීය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ අනුව, අදියර 3ක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමට නියමිය. පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණි පළමුව ආරම්භ කිරීමට සිදුවනු ඇත. දෙවැනි අදියර යටතේ සිසුන් 200ට වැඩි පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණි ආරම්භ කිරීමටත්, සිසුන් 100ට අඩු පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කිරීමටත් නියමිතය. එසේම, තුන්වැනි අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල 10,11,12 ශ්‍රේණි ආරම්භ කිරීමට හා රෝග ව්‍යාප්තිය සලකා බලා සියලුම ශ්‍රේණි ආරම්භ කිරීම සිදුවේ.
චමිඳු නිසල් ද සිල්වා