2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

කෝටි 100ක දේපළ ගන්න මරා දැමූ රටක් වටින මිනිහා

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 40

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු වශයෙන් වසර විසි පහක අත්දැකීම් ඇති සමන් විජේසිරි මහතා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවෙක් ලෙසද කටයුතු කළේය. වෘත්තීය අවශ්‍යතා අනුව ඕනෑම රටකට ගමන් කළ හැකි පරිදි වීසා බලපත්‍ර ඔහුට හිමිව තිබුණේ ඔස්ට්‍රේලියා රජයෙනි. සියල්ල අතර කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහු හලාවත කාකපල්ලිය, ඉදිගොඩවිල පදිංචිව සිටියේ ජපන් ජාතික බිරිය සමඟිනි. හිටි හැටියේම ආ ගිය අතක් නොවූ සමන් විජේසිරි විදෙස් ගතවූ බවට කෙටි පණිවුඩයක් තබා තිබුණේ එම දින ආසන්නයේදීමය. අනතුරුව කිසිදු හෝඩුවාවක් නොවූ ඔහු පසුවූයේ අතුරුදන් තත්ත්වයෙනි.

එසේ අතුරුදන් වීමක් ලෙස හැඟෙන අයුරින් යට ගැසුණු සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත්තේ මිනීමැරුමක් වශයෙනි. කෝටිපති ව්‍යාපාරික ඉංජිනේරුවරයා ඝාතනය කර හලාවත කලපුවේ සඟවා තිබුණේ මීට වසර තුනකට ඉහතදී බව හෙළි විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සිදු කළ විමර්ශන අනුව එහි යටගියාව මෙසේ වාර්තා වේ.

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ වීරබද්ධරාළලාගේ සමන් විජේසිරි (63) අත මිට සරු කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු සතු දේපළ වටිනාකම පමණක් කෝටි 100ක් පමණ වෙතැයි පැවසේ. විවාහක බිරිය ජපන් ජාතික කාන්තාවක වන අතර දෙදෙනා සුපිරි පැලැන්තියේ ජීවිකාවක් ගත කළහ. දෙදෙනාගේ ජීවිතයේ පැවති එකම අඩුපාඩුව තමුන්ට කියා දරුවකු නොමැති වීම පමණය. 

කාලයක් පුරා ඉටු නොවුණු බලාපොරොත්තුව හමුවේ ඔවුහු හදාවඩා ගැනීම පිණිස දරුවකු තෝරාගෙන පවුලට එක්කරගෙන සිටියහ.

සුපිරි ජීවිතයක් ගත කළ සමන් විජේසිරි පවුල බොහෝ අවස්ථාවල විදේශ සංචාරවල නිරත වූහ. රාජකාරි බහුල විටෙක බිරිය හා දරුවා පමණක් වුව සංචාරවල යැවීමට විජේසිරි මහතා කටයුතු කර තිබිණි. ඒ හැර හලාවත නිවෙසේ නිවාඩු පාඩුව ගත කරන අවස්ථාවලදී ඥාතීන් හිතවතුන් හා ව්‍යාපාරික සගයන් කැටුව ප්‍රිය සම්භාෂණවල නිරත වීම සමන් විජේසිරි පවුලේ සිරිතකි. ඒ සඳහා අත දිගහැර වියදම් කිරීම සමන් විජේසිරිගේ පුරුද්දකි. එවැනි විශේෂ ප්‍රිය සම්භාෂණ අවස්ථාවක් නොවේ නම් නිහාල් රුවන් හා ජෙරාඩ් යන හිතවතුන් සමඟ සාදයක් පවත්වා විනෝද වීම හෝ සිදු කරයි. පිරිස අතර නිහාල් විජේසිරිගේ ඥාතිවරයෙකි. ඔහු හරහා හඳුනාගෙන සිටි ජෙරාඩ් ලින්කන් ඉතාලියේ සිට පැමිණි ව්‍යාපාරිකයෙකි. අනෙක් මිත්‍රයා රුවන් මෙරට රැඳී සිටිමින් ව්‍යාපාරවල නිරත වූවෙකි.

සමන් විජේසිරි සතුව තිබූ පොල් වගාවක් සහිත අක්කර පනහක පමණ ඉඩමකි. එහි තැනක පවත්වාගෙන ගිය වාහන සර්විස් ආයතනයකි. සාර්ථක ව්‍යාපාරයක් වූ එය පරිපාලනය සඳහා කාලය වෙන් කිරීම විජේසිරිට ගැටලුවක්ව පැවතිණි. ඒ වෘත්තීය වශයෙන් කාර්යබහුල නිසාය. එබැවින් ව්‍යාපාරය බදු දීමට අදහස් කරන බව ඥාති නිහාල් වෙත දන්වා තිබිණි. ඔහු හරහා හඳුනාගත් ලින්කන් යන අයට ව්‍යාපාරය බදු දුන්නේ නිහාල්ගේ දැන හැඳුනුම හා විශ්වාසය මතය.

ඒ සමඟ විජේසිරිගේ හිතවත් ඥාතියා වෙත ව්‍යාපාරික ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබා දී තිබිණි. එය ජාඇළ නගරය ආශ්‍රිත පැවති වටිනා ස්ථානයකි. එහෙත් නියමිත පරිදි නිහාල්ගෙන් බදු මුදල් හෝ ලබාගැනීමට විජේසිරි කටයුතු කර නැත. ඒ පැවති විශ්වාසය හා මුදල් පසුපස එළවීමට නොහැකි නිසාය.

මේ අතර විජේසිරි නිවෙසේ පැවැත්වූ සාදයකි. නිහාල්, ලින්කන් හා රුවන් එහි පැමිණ සිටියහ. තරමක් මධුවිත තොල ගාමින් සිටියදී “අයියේ ඔයාලට නීත්‍යානුකූලව දරුවෙක් නෑ.. ඉතින් මේ දේපළට මොකද කරන්නේ...?” යැයි අසා තිබුණේ නිහාල්ය. “ඇයි මේ මම හදාගන්න දරුවා ඉන්නේ. එයා මගෙම දරුවෙක් වගේ තමා. එයාට තමයි මගේ සේරම වස්තුව. හිතාගෙන ඉන්නේ මේ පාර ටුවර් එක ගිහින් ඇවිත් දරුවට ලියල ඉවරයක් කරන්න.” යනුවෙන් සමන් විජේසිරි කරුණු නොසඟවා ප්‍රකාශ කර තිබිණි.

එහිදී ''එතකොට මම ඉන්න බිල්ඩිම කොහොමද?'' ඔහු පෙරලා අසා තිබුණේ නිහාල් විසිනි. ඊට පිළිතුරු දුන් විජේසිරි ''හා.. ඒකත් දරුවට තමයි.. එතකොට ඉතින් ඔයාට බදු කුලිය ගෙවන්න වෙන්නේ මගේ දරුවාට තමයි.'' කියා ඇත්තේ කතාව මැදට විහිළුවකුත් එක් කරමිනි. නිහාල් සිතා ඇත්තේ කාලයක පටන් ව්‍යාපාර කටයුතු කරන තමාට ගොඩනැගිල්ල ලබාදෙනු ඇති බවය. ඉහත කතාව අසා ඔහුට ඇතිව තිබුණේ අපේක්ෂා භංගත්වයකි. එතැන් සිට ඔහුගේ මනස ක්‍රියා කර ඇත්තේම අදාළ ගොඩනැගිල්ල තමා සතු කර ගන්නා ක්‍රමයක් පිළිබඳවය.

ව්‍යාපාර තබා රට ගැනවත් විජේසිරිගේ බිරියට හා දරුවාට තේරුමක් නැති නිසා දේපළ දරුවාට පැවරීමට මත්තෙන් යමක් කළ යුතු යැයි නිහාල් කල්පනා කර ඇත. මේ ගැන ලින්කන් හා රුවන් සමඟ කියා තිබුණේ රහසක් වශයෙනි. “හරි හරි අපි ගේමක් ගහමු. මේ වැඩ ගැන මම දන්නවා.” යැයි ලින්කන් උදම් අනා යෝජනාව ස්ථිර කොට තිබිණි. ඒ අනුව සැලසුමක් සැකසූ තිදෙනාගේ අදහස් අතර මත්පැන් සාදයක්, පැහැර ගැනීමක්, පහර දීමක් හා සිරැර සැඟවීමක් වැනි අමානුෂික කාරණා රැසක් තිබී ඇත. 

2018 ඔක්තෝබර් 18 වැනිදා හෝ ආසන්න දිනක සමන් විජේසිරි පැහැර ගැනීම සිදු කර තිබිණි. ඒ අතර මාරවිල ප්‍රදේශයේ නීතිඥවරයකු හා සුහද වෙමින් ඔහු අත මුදලක් මිට මොලවා ව්‍යාපාරික විජේසිරි සතු සියලු දේපළ පවරා ගැනීමට, විකිණීමට වශයෙන් අවශ්‍ය ඇටෝර්නි බලපත්‍ර ලේඛනවලට අත්සන් ලබාගැනීමෙන් පසුව ඉංජිනේරු සමන් විජේසිරි ඝාතනය කිරීමට පියවර ගෙන ඇත. හලාවත කලපුවේ සිරුර සඟවා ඇත්තේ ඉන් පසුවය. මේ ආකාරයට ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයකින් ඔහු සතු කෝටි 100ක තරම් දේපළ පවරා ගැනීමට නිහාල් ඇතුළු තිදෙනා සමත්ව තිබිණි.

මේ ආකාරයට ආ ගිය අතක් නොවූ සමන් විජේසිරි සම්බන්ධයෙන් ඔහු සතු අක්කර 50ක ඉඩමේ මුරකරු විසින් හලාවත පොලීසියට පැමිණිලි කරමින් කියා තිබුණේ සිය ස්වාමියා අතුරුදන්ව ඇති බවකි. එහෙත් විමර්ශනයක් සිදුව නොතිබිණි. මේ අතර අතුරුදන් වූ අයගේ ළඟ ඥාතියකු වූ ජයවීර මහතා අදාළ සිදුවීම පිළිබඳ පොලිස් කොමිසම වෙත පැමිණිලි කොට ඇත. ඒ අතුරුදන් වීමෙන් දෙවසරකට පසුවය. ඒ අනුව අතුරුදන් වීම පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙත බාර කොට තිබිණි.

එහිදී අදාළ අයගේ තිබූ දේපළවල වර්තමාන භාරකාරීත්වය හා පරිහරණය පිළිබඳව විමර්ශනයට ලක් කර ඇත. ඒ අනුව අනාවරණය වී ඇත්තේ බිරිය, දරුවා හෝ ඥාති සබඳතාවක් නොමැති තෙවැනි පාර්ශ්වයක් විසින් ව්‍යාපාර හා දේපළ භුක්ති විඳින බවකි. මේ අතර වැඩි දේපළ හිමිකමක් ජෙරාඩ් ලින්කන් යන අයටත් ජාඇළ තිබූ ගොඩනැගිල්ල නිහාල් යන අයටත් වශයෙන් අයත් බව හඳුනාගෙන තිබිණි. මේ කරුණු බිරිය, දරුවා හා ළඟ ඥාතීන්ට බරපතළ ගැටලුවක්ව පැවතිණි. කෙසේ හෝ විමර්ශනවලදී හෙළි කරගෙන තිබුණේ ඉංජිනේරුවරයා ඝාතනයට පෙර ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් ඊට පෙර දිනයක් සඳහන් කර දේපළ පවරාගෙන ඇති බවය.

ඝාතකයන් විසින් ඝාතනය යට ගැසීම සඳහා අපූරු සැලසුමක් භාවිත කර තිබිණි. 2019 මැයි 28 වැනිදා UL 225 දරන ගුවන් යානයෙන් සමන් විජේසිරි යන අය විදෙස්ගතව ඇති බව හැඟවීම එම උපක්‍රමයයි. ඒ සඳහා ගුවන් තොටුපොළේ ආගමන හා විගමන අංශයේ නිලධාරීන් තිදෙනකුගේ සහාය ලබාගෙන එක් අයකුට රැපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් ගෙවා ඇතැයිද වාර්තා වී ඇත. මේ අතර අත්අඩංගුවට ගෙන සිටින ලින්කන් යන අය ඊට ආසන්න දිනක විදෙස් ගතවී සමන් විජේසිරි බවට හැඟවෙන කෙටි පණිවුඩ කිහිපයක් විජේසිරිගේ නිවැසියන් වෙත යවා තිබිණි. එසේ සිදු කර තිබුණේ විජේසිරි විදෙස්ගතව සිටින බවට මවාපෑම සඳහාය.

ඝාතනයට හා දේපළ ජාවාරම සම්බන්ධයෙන් සැක නීතිඥවරයකු ඇතුළු කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. සැකකරුවන්ගේ පාපොච්චාරණය අනුව ඉංජිනේරුවරයා මරා සැඟවූ බව කියන කලපුව ආශ්‍රිත සිරුරු කොටස් හෝ සාක්ෂි ඇතිදැයි සෙවීමට විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර