අහස උසට ඉදි වූ සුවිසල් මැඳුරු දෙස බලා අනේ මටත් ගෙයක් හදාගන්නට ඇත්නම් යනුවෙන් සිහින දකින අසරණ පිරිස් කොතෙකුත් මේ සමාජයෙන් අපට දැකිය හැකිය. රැකියාවක් හෝ ව්‍යාපාරයක් ඇති අයකුට නිවසක් ඉදිකරගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වුවත් එදිනෙදා කුලියක් මලියක් කරගෙන දරු පැටව් සමඟ ජීවිතය ගැටගසා ගන්නා අසරණ මිනිස්සුන්ට නිවසක් ඉදිකර ගැනීම යනු සැබෑ ලෙසම සිහිනයක්ම පමණි. දිනපතා කුලියක් කර එදිනෙදා කෑමට බීමට කීයක් හරි සොයාගෙන දරුපැටව් සමඟ කටු මැටි පැල් තුළට වී හෝ ඉටි කොළ ගසා වටකරගත් මඩුවක් තුළ හෝ ඉතා අසරණව දිවි ගෙවන අසරණ පවුලකට නිවසක් සාදාදීමට හැකි නම් එය මොනතරම් පිංකමක්දැයි අප අමුතුවෙන් කිවයුතු නැත. කෙනකුට නිවසක් ඉදිකරදීම යනු අට මහා කුසල් ගණයට වැටෙන පිංකමක් බවයි බුදු බණේද සඳහන් වන්නේය. එය එසේ වෙද්දී බොහෝ දේශපාලඥයන්ට පවා ඉටුකිරීමට නොහැකි වූ කටයුත්තකට අත ගැසූ අපූරු තරුණයකු පසුගිය දින සූරියවැව නමඩගස්වැව ප්‍රදේශයේදී අපට හමුවිය.
ඔහු නමින් යූ.එස්.පී. බණ්ඩාරය. වැල්ලවාය, නුගේයාය ප්‍රදේශයේ පදිංචි ඔහු තවමත් 49 වැනි වියේ පසුවන ආදරණීය දියණියන් සිව්දෙනකුගේ පියෙකි. පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවේදියකු ලෙස වසර 30ක පමණ කාලයක් තිස්සේ කටයුතු කරන ඔහු විවිධ පුවත් සොයා ගම්දනව්වලට ගිය අවස්ථාවන්වලදී අසරණ පවුල් විඳින අනන්ත වූ දුක් පීඩාවන් සියැසින් දුටු අයෙකි. දිනපතා දකින මෙම දසුන් ඔහුගේ හිතට වදයක් බවට පත් විය. මේ අසරණ මිනිස්සුන්ගේ කතා රටට කියන්නට මගක් සෙවූ ඔහු වෙල්ලස්ස ටීවී නමින් යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කෙරැවේ මීට වසර කිහිපයකට පෙරය. එහි එකම පරමාර්ථය බවට පත්වූයේ පිහිටක් අවැසි ජනතාවට පිහිටක් වීමය.
මීට වසර කිහිපයකට පෙර ආරම්භ කෙරැණු මෙම යූ ටියුබ් නාලිකාව ඔහුගේ සිහිනය සැබෑ කිරීමට සමත් වී තිබේ. පිහිටක් අවැසි පුද්ගලයන් පිළිබඳව ඔහු කළ බොහෝ හෙළිදරව් අද මල්පළ ගැන්වී තිබේ. අද වනවිට දෙස් විදෙස් බොහෝ දෙනකු අසරණ පවුල් සඳහා පිහිටවීමට ඔහු වටා එකතු වී සිටීමද විශේෂත්වයකි. මේ නිසාම යූ.එස්.පී. බණ්ඩාර මහතා පසුගියදා තවත් අලුත් වැඩකට අත ගැසුවේය. ඒ වසර දෙකක් තුළ අසරණ පවුල් 1000ක් සඳහා නිවාස දහසක් ඉදිකර දීමය. ඒ සඳහා ඔහු රට වටා සිටින අසරණ පවුල් සොයා ගොස් ඔවුන් පිළිබඳව හෙළිදරව් කරමින් ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කර දීමට සමත් වී තිබේ.
මේ වනවිටත් සිය දෙස් විදෙස් හිතවතුන්ගේ ආධාර උපකාර ඇතිව බණ්ඩාර මහතා නිවාස 371ක් සම්පූර්ණයෙන්ම ඉදිකර අසරණ පවුල් සඳහා බාර දී ඇති අතර තවත් අසරණ පවුල් 198ක් සඳහා අත්තිවාරම් දමා නිවාස ඉදිකිරීමේ කටයුතු කරගෙන යමින් තිබේ. නිවාස 1000ක සිහිනයේ ඉතිරි නිවාස 431 සඳහාද ඔහු මේ දිනවල හැබෑ අසරණ පවුල් සොයා යමින් සිටියදී ඔහු අපට මුණගැසුණේ සූරියවැව නමඩගස්වැව ප්‍රදේශයේදීය. ඒ තවත් අසරණ පවුලක් පිළිබඳව ලද තොරතුරකට අනුව එම පවුල පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේදීය.
ගොම මැටි ගා පොල් අතු හා පිදුරු සෙවිළි කළ ගෙයක උපන් යූ.එස්.පී. බණ්ඩාර මහතා තමාගේම කියා සිමෙන්ති දැමූ නිවසක සිහිනය සැබෑකර ගැනීමට බොහෝ කලක් දුක් විඳි අයෙකි. ඒ නිසාම ඔහු අද මේ සිදුකරන සමාජ සත්කාරය පිළිබඳව අපට කීවේ මෙවන් කතාවකි.
මම උපන්නේ 1972. මගේ මහ ගෙදර තිබුණේ හම්බෙගමුව කියන අති දුෂ්කර ප්‍රදේශයක. මාත් එක්ක අපේ පවුලේ සහෝදර සහෝදරියන් 08 දෙනෙක් හිටියා. අම්මයි තාත්තයි එක්ක අපි ඔක්කොම 10 දෙනෙක්. මේ ඔක්කොටම කන්න දුන්නේ අපේ තාත්තා කළ ගොවිතැන් වැඩෙන් ලැබෙන මුදලින්. අපි බත් නොකා සිටි වාර ගණන අනන්තයි. රෑට උයන තලප ගුළියේ ඉතුරැ වෙන ටික අපේ අම්මා රොටී හදලා උදේට අපිට කන්න දෙනවා. අපි ඒක කාලා තමයි ඉස්කෝලේ ගියේ. ජීවිතේට මම සපත්තු දෙකක් දමලා නෑ. එක කළිසමයි තිබුණේ. ඒකත් අණ්ඩ දමපු එකක්. පොත් බෑගයක් අරන් දෙන්න තරම් අපේ තාත්තට පුළුවන් කමක් තිබුණේ නෑ. ඉස්කෝලෙට පොත් ටික දමාගෙන ගියේ ෂොපින් බෑග් එකක. අම්මත් එක්ක අපි ඔක්කොම එකට බිම පැදුරු එළාගෙන රෑට නිදා ගත්තේ. තාත්තා ගේ ඉස්සරහා තියෙන මැටිවලින් හදපු පිලේ තමයි නිදාගත්තේ. වහින දවස් වලට අපි කාටවත් නිදාගන්න විදියක් නෑ. වහළේ සිදුරැවලින් ගේ තෙමෙන නිසා.
ඒ කාලේ සිමෙන්තියෙන් හදපු ගෙවල් දැක්කම ගෙදර ඇවිත් මම තාත්තට කියනවා අනේ තාත්තේ අපිත් සිමෙන්ති ගෙයක් හදමු කියා. මම එහෙම කියනකොට අම්මා මට බනිනවා. මහන්සි වෙලා ඉන්න තාත්තට පාඩුවේ ඉන්න දීපං කියලා. වහින වෙලාවට ගේ සේරම තෙමෙනවා. තෙමි තෙමී ඉන්න බෑ තාත්තේ අපි සිමෙන්ති ගෙයක් හදමුකෝ කිව්වම තාත්තා මාව බදාගෙන අඬපු අවස්ථා මට අද වගේ මතකයි. පුංචි කාලේ මට තේරුණේ නෑ තාත්තට ගෙයක් හදන්න වත්කමක් නෑ කියලා. අපි ලොකු වුණාම තමයි තේරුණේ තාත්තට ගොවිතැන් කරලා ගෙයක් හදන්න තරම් වත්කමක් තිබුණේ නෑ කියලා. අද මගේ තාත්තා නෑ. අම්මා විතරයි ඉන්නේ. එදා තාත්තා අපිට කන්න දෙන්න වගේම උගන්වන්න විඳපු දුක අද මගේ අම්මා මට කියනවා. එදා තාත්තා අඬපුවා අද මට මතක් වෙනකොට පුදුම දුකක් හිතෙන්නේ.
ඒ නිසාම මම හිතුවා අසරණ මිනිස්සුන්ට පිහිටවෙන්න ක්‍රමයක් හදන්න ඕනි කියලා. එහෙම හිතලා මම රුකියාව ලෙස මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. නමුත් මාධ්‍ය තුළ පවා අසරණ පවුල් පිළිබඳ කතා රටට කියන්න ලැබුණේ ඉතා සීමිත ඉඩකඩක් විතරයි. ඒ නිසා මන් මේ අසරණ මිනිස්සු ගැන රටට කියන්න වෙල්ලස්ස ටීවී කියලා මගේම යූ ටියුබ් නාලිකාවක් පටන් ගත්තා. අද ඒ හරහා රටේ සිටින අසරණ මිනිස්සුන්ගේ දුක රටට කියන්න වගේම ඒ අයට පිහිට වෙන්නත් පුළුවන්කම ලැබුණා. අද මේ වෙනකොට මම රට වටා සිටින අසරණ පවුල් විශාල ප්‍රමාණයකට පිහිට වෙන්න අවශ්‍ය මැදිහත්කරණය කර තියෙනවා. ඒ වගේම සරණක් අවැසි පාසල් ළමුන් 5000කට පමණ පාසල් නිල ඇඳුමේ සිට පොත්පත්, සපත්තු, පාසල් බෑග් ඇතුළු උපකරණ පරිත්‍යාග කිරීම් කර තිබෙනවා. විහාරස්ථාන 1000ක් සඳහා කරඬුන් වහන්සේ 1000 නමක් පූජා කිරීමේ පිංකමක් කළා. අසරණ පවුලක් දැක්කම නිතරම මට මගේ අතීතය මතක් වෙනවා. ඒ නිසා අසරණ පවුලක් පිළිබඳව මට තොරතුරක් ලැබුණොත් මම අනිවාර්යෙන් ඒ තැනට ගිහින් සොයලා බලලා ඒ අයට පිහිට වීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. නිවෙසක් නැති කෙනෙකුට නිවෙසක් හදලා දුන්නම තියෙන සතුට මට වචනයෙන් කියන්න බෑ යැයි ඔහු අපත් සමඟ පැවසීය.
දෙස් විදෙස් හිතවතුන් එකතු කරගනිමින් යූ.එස්.පී. බණ්ඩාර මහතා මෙතෙක් රට වටා ගොස් අසරණ පවුල් නඟාසිටුවීම වෙනුවෙන් ඉටුකළ සමාජ සත්කාරය අති මහත්ය. එම සේවය අගයමින් ඔහුට මහ සඟරැවන ඇතුළු විවිධ ආයතන වලින් ලැබුණු ගෞරව නාමද බොහෝය. ඒ අතර 2020.02.23 දින සමස්ත ලංකා දහම් සිසිල පදනමෙන් “දේශාභිමානී දේශබන්දු* නැමති ගෞරව නාමයද, ධර්ම ශක්ති සමාජ සේවා පදනම මගින් 2021.01.08 දින “විශ්ව කීර්ති මානව හිතවාදී ජනරංජන මාධ්‍ය ශූරී විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය* නම්බු නාමයද ලබා දී ඇත්තේ ඔහු සිදුකරන මෙම සේවය දිරි ගැන්වීමක් ලෙසය.
වැල්ලවාය, මැදගොඩ, නෙළුවගල, අගුණුකොළපැලැස්ස, ලුණුගම්වෙහෙර, නුවර, ඇඹිලිපිටිය, ඉබ්බාගමුව, වීරවිල, මොණරාගල, තණමල්විල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රුසක නිවාස 371ක් මේ වනවිටත් ඉදිකර අසරණ පවුල්වලට බාර දී තිබේ. හැබෑ අසරණ නිවසක් අහිමි අයකු වේ නම් පහත දුරකතන අංකයට ඇමතීමෙන් නිවාස සිහිනයට පිහිටක් වීමට සූදානම් බවත් මෙවැනි සමාජ සත්කාර සඳහා තවමත් දෙස් විදෙස් බොහෝ පිරිසක් තමන් සමඟ එක්ව සිටින බවත්, ඕනැම අයකුට මේ පිංකම් සමග එක්විය හැකි බවත් බණ්ඩාර මහතා අපත් සමඟ පැවසීය. මේ කටයුතු සමඟ එක්වීමට කැමැති ඔබට පහත දුරකතනයට ඇමතීමෙන් බණ්ඩාර මහතා සම්බන්ධ කරගත හැකිය. 0762806888 / 0762747888 / 0552280008
සටහන හා සේයා රූ -
සූරියවැව නුවන් ජයසේකර