ලංකාවෙන් මෙන්ම ලෝකයෙන්ද මේ වන විට කොරෝනා ගැන මඳක් සිත සනසන ආරංචි ලැබෙමින් පවතී. කොවිඩ් කම්මුතු කරන්නට සමත් ප්‍රතිදේහ දැන් මිනිස් සිරුරු තුළ නිපදවෙමින් ඇති බවට “දේශය” පසුගිය සතියේ වාර්තා කළේය. ඒ අමෙරිකාවේ රොකෆෙලර් සරසවියේ පර්යේෂණ වාර්තාවක් අනුවය. දැන් මේ වන විට කොවිඩ් ගැන තවත් සුබ ආරංචි සහ යහපත් අනාවැකි ලැබෙමින් පවතී. ලංකාව ද සිය දීර්ඝ කාලීන කොවිඩ් ඇඳිරිය ඉවත් කරන්නට මේ වන විට ලක ලැහැස්ති වී හමාරය.
පසුගිය සතියේ අප කාටත් කලින් වාර්තා කළ ආකාරයටම කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රබල සුපිරි ප්‍රතිදේහයක් මානව සිරුර තුළ වර්ධනය වී හමාරය. මේ නිසා ඉතා නොබෝ කලකින්ම කොවිඩ් යන්න එදිනෙදා උණ හෙම්බිරිස්සාවක් තත්ත්වයටම සාමාන්‍යකරණය වනු ඇති බවට වෛරස විද්‍යාඥයන් ගණනාවක්ම අනාවැකි පළ කර ඇත.
අමෙරිකාවේ රොකෆෙලර් සරසවියේ මෙම නව ප්‍රතිදේහය සොයා ගත් Paul Bieniasz ඇතුළු කණ්ඩායමට අනුව දැනට ඇති සියලුම කොවිඩ් වෛරස මාදිලිවලට මෙන්ම අනාගතයේ ඇති විය හැකි සියලුම SARS-CoV-2, මාදිලිවලට එරෙහි සුපිරි ප්‍රතිශක්තියක් මේ ප්‍රතිදේහය නිසා ලැබේ. ඒ අනුව දැනට ප්‍රතිඵල වී ඇති ඩෙල්ටා, ඇල්ෆා ඇතුළු විපරීත මාදිලි 6ට මෙන්ම සියලුම ආකාරයේ අනාගත කොවිඩ් මාදිලිවලට සාර්ථකව මුහුණ දීමට හැකියාව මේ සුවිශේෂී ප්‍රතිදේහ සතුය. එපමණක් නොව මීට වසර 20කට පමණ පෙර සොයා ගත් සාර්ස් රෝගය සාදන මුල් කොරෝනා වෛරසය හෙවත් SARS-CoV-1 වෙරසය සහ එහි විපරීත මාදිලිවලටද එක සේ ප්‍රතිරෝධය දැක්වීමට මේ නවතම සුපිරි ප්‍රතිදේහවලට හැකි බව සනාථ වී තිබේ.
ඒ අනුව නම් මෙය සර්ව කොරෝනා නාශක සුපිරි ප්‍රතිදේහ විශේෂයක්ද වෙයි.
එකී පර් යේෂකයන් මෙය හයිබ්‍රීඩ් හෙවත් දෙමුහුම් ප්‍රතිශක්තියක් ලෙස හඳුන්වා ඇත්තේ එය එක් වරක් කොවිඩ් සෑදුණු සහ දෙවනුව ආර්.එන්.ඒ. වැක්සීන ලබාගත් පුද්ගලයන් තුළ යහමින් වර්ධනය වන බව සොයාගෙන ඇති නිසාය.
මේ අතර පෙන්සිල්වෙනියා සරසවියේ තවත් වෛරසවේදී පර් යේෂකයන් පිරිසක් තහවුරු කර ඇත්තේ තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම මගින්ද මේ ආකාරයටම ප්‍රතිඵල ලැබෙන බවය.
තුන්වැනි මාත්‍රාවෙන් ඒ අන්දමටම සර්ව කොවිඩ් මාදිලි සඳහා ප්‍රතිරෝධය දක්වන සුපිරි ප්‍රතිදේහ වර්ධනය විය හැකි බවත් ඒ මගින් සර්ව කොවිඩ් නිවාරණයක් සිදුවන බවත් ඔවුහු කියති.
තුන්වැනි හෙවත් බූස්ටර් එන්නත් වඩාත් ඵලදායී බවට වූ අනුමාන මතය මේ අනුව පර්යේෂණාත්මකව සනාථ වී තිබේ.
ඒ නිසාමදෝ ලෝකය පුරා රටවල් මේ වන විට තුන්වැනි බූස්ටර් එන්නත ගැන වැඩි විශ්වාසයක් සහිතව කටයුතු කරනු දක්නට ලැබේ. ඒ අනුව අමෙරිකාවේ අවදානම් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පා සිටින වැඩිහිටි පුද්ගලයන්ට සහ අවුරුදු 65ට ඉහළ වැඩිහිටියන්ට බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත දීමට අමෙරිකාවේ සෞඛ්‍ය අංශයට බලය පවරා තිබේ. එරට ජනගහණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් වැඩිහිටි පුද්ගලයන් වන බැවින් අමෙරිකාවේ මේ නිවේදනයට අනුව එරට බහුතර පිරිසකට බූස්ටර් එන්නත ලැබෙනු ඇත.
කොවිඩ් මර්දන එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබා මාස 6ක් ඉක්මවූ වැඩිහිටියන්ට මේ බූස්ටර් එන්නත සැපයීමට තීරණය කර ඇති අතර, මේ වන විට කොවිඩ් වසංගතයේ නව රැල්ලකට මුහුණ පා සිටින අමෙරිකා ජනතාවට එය සුබවාදී තීරණයක් වනු ඇතැයි එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත. අමෙරිකාවේ කීර්තිමත් විද්‍යාඥයන් ඇතුළත් ස්වාධීන කමිටුවක් විසින් මේ බූස්ටර් එන්නත වැඩිහිටියන්ට නිර්දේශ කර තිබේ.
අමෙරිකාවට සමගාමීව බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලය, චීනය, රුසියාව, පිලිපිනය, චිලිය, කාම්බෝජය, ජර්මනිය, ග්‍රීසිය, ගල්ෆ් රටවල්, කැනඩාව, ප්‍රංශය, ආර්ජන්ටිනාව, චෙක් ජනරජය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ඩොමිනිකන් රජය, ඉක්වදෝරය, ෆින්ලන්තය, ඉන්දුනීසියාව, අයර්ලන්තය, හංගේරියාව, ඉතාලිය, සහ ජපානය ඇතුළු රටවල් 38කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ද බූස්ටර් එන්නත් සඳහා සූදානම්ය. යුරෝපීය සංගමයේ තවත් රටවල් ද මේ සඳහා බලාපොරොත්තු සහිතව සිටින්නේ ඒ රටවල ඖෂධ අධිකාරිය තුන්වැනි මාත්‍රාවක් සඳහා අවසර දෙන තුරුය.
ලංකාව ද සෙසු ලෝකයට සමගාමීව ගෙන ගිය එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් ඇඳිරියේ සාර්ථක ප්‍රතිඵල නෙලන අදියරකට පත් වී ඇති බව දැන් ඇතැම් විශේෂඥයන් දරණ මතයයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් වසංගතයේ දරුණුතම අවධිය අවසන් වී ඇතැයි අනුමාන කළ හැකි බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සටහන් කර තිබිණි.
එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙත උපදෙස් ලබාදෙන පර්‌යේෂකයන්ගේ එකතුවක් මගින් දක්වා ඇති දත්තවලට අනුව වසංගතයේ නරකම අදියර දැන් අවසන් වී ඇත. ඉදිරි මාස හය ඇතුළත වසංගතයේ ගමන් පථය ප්‍රක්ෂේපණය කිරීම සඳහා මෙම පර්‌යේෂකයන් විවිධ ගණිතමය ආකෘති නවයක් ඒකාබද්ධ කරගෙන තිබේ.
ඒ අතරම කොවිඩ් වසංගතය තවත් වසරක් ඇතුළත අවසන් වන බව මොඩර්නා එන්නත් නිෂ්පාදනය කරන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් බැන්සෙල් ද ප්‍රකාශ කර ඇත. ලොව පුරා ඕනෑම රටකින් දැන් කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බවත්, කුඩා දරුවන් පවා එන්නත්කරණයට අනුමත කර ඇති බවත් සඳහන් කරමින් ඔහු මේ අනාවැකිය පළ කර තිබේ.
ලබන වසරේ මැද භාගය වන විට ලොව ඕනැම අයකුට එන්නත්කරණයට ලක්වීමේ පහසුව සැලසෙන පරිදි ඇති තරම් එන්නත් තොග නිකුත් වනු ඇතැයි තක්සේරු කරන මොඩර්නා සමාගමේ විධායක නිලධාරියා බූස්ටර් එන්නත ද අවශ්‍ය පරිදි සපයා ගැනීමට ලබන වසර වන විට සමස්ත ලෝක ප්‍රජාවට හැකිවනු ඇතැයි කියා සිටියේය. එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ගේ ශරීර තුළද ස්වභාවිකවම ප්‍රතිශක්තිකරණය වර්ධනය වනු ඇතැයි අවධාරණය කරන හෙතෙම ඒ අනුව බැලීමේදී මේ තත්ත්වය බොහෝ දුරට සාමාන්‍ය උණ රෝග තත්ත්වයක් බවට පත් වනු ඇතැයි පෙන්වා දෙයි.
මේ අතර කොවිඩ් මර්දනය සඳහා නව ඖෂධයක් හඳුන්වා දීමට ෆයිසර් ආයතනය කටයුතු කර ඇත. අදාළ ඖෂධය සම්බන්ධයෙන් වන සායනික පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබේ. එහි සායනික පරීක්ෂණය සඳහා වැඩිහිටි පුද්ගලයන් 2,660 දෙනකු සහභාගී කරවාගෙන පරීක්ෂණ කර ඇති අතර එහිදී සායනික මට්ටමේදී එම ඖෂධය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ.
ඒ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව ඇමතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එතෙක් මෙතෙක් ලොව පළමු වරට කොවිඩ් වෛරසයට එරෙහිව නිපදවන ඩී.එන්.ඒ. එන්නත පිළිබඳ විශේෂ හඳුන්වාදීමක් සිදු කරනු ලැබීය. සිය රට විවිධ ආකාරයේ කොවිඩ් මර්දන එන්නත් නිපදවීම සම්බන්ධව අත්හදා බැලූ බවත්, ලොව පළමු වරට ඩී.එන්.ඒ. එන්නත නිපදවීමට ඉන්දියාවට හැකිවූ බවත් සිය දේශනයේදී සඳහන් කර තිබේ. මේ එන්නත අවුරුදු 12න් ඉහළ ඕනෑම පුද්ගලයකුට ලබා දීමට හැකියාව තිබේ. එමෙන්ම ලොව පළමු වරට නාස් කුහර තුළින් ශරීරගත කරන කොවිඩ් මර්දන එන්නත නිපදවීම සඳහා ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම අඛණ්ඩව වැඩ කටයුතු කරමින් සිටින බවද ඉන්දීය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
වසර සියයකට පසු ලොව ඇතිවූ දරුණුතම වසංගතයකට වසර එකහමාරකට වැඩි කාලයක් සමස්ත ලොවම මුහුණ පා සිටි අතර දැන් මානව ප්‍රතිශක්තියම මිනිසාගේ ගැලවුම්කරු බවට පත්ව තිබේ.
සුගත්