2021 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත වූයේ පසුගිය අගෝස්තුවේය. එහෙත් පාසල් යළි විවෘත නොවීම හා ගුරු විදුහල්පති සංගම් වැඩ වර්ජනය හේතුවෙන් සැප්තැම්බර් මාසයට කල් ගිය අතර යළි ලබන නොවැම්බරයේ පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව විභාගය නොවැම්බර් 15 දින සිට පැවැත්වීමට නියමිතය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සංඛ්‍යාව 40,00,00කට ආසන්නය. එහෙත් එදිනට විභාගය පැවැත්විය හැකිද යන්න පිළිබඳව තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. අධ්‍යාපන අමාත්‍යංශයේ අපේක්ෂාව වන්නේ කඩිනමින් පාසල් විවෘත කර විභාගවලට පෙනී සිටින දරුවන්ට අවම වශයෙන් එක් වාර විභාගයක් හෝ පවත්වා දරුවන් අවසන් විභාගය සඳහා සූදානම් කිරීමය. සාමාන්‍යයෙන් වසරකට වාර විභාග 6ක් පමණ පැවැත්විය යුතු වුවද මෙතෙක් පවත්වා ඇත්තේ එක් වාර විභාගයක් පමණි.. දරුවකුගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ තක්සේරුවක් කිරීමට වාර විභාග අත්‍යවශ්‍ය කරුණකි. මෙවැනි වාතාවරණයක් යටතේ 12 ශ්‍රේණියේ දරුවන් එක්වරම උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ කෙසේද යන්න ගැටලුවක් වී තිබේ.
උසස් පෙළ විභාගය 2022 පෙබරවාරිය තෙක් කල් දමන ලෙසට “උසස් පෙළ විභාගය කල් දැමීම වෙනුවෙන් ඉල්ලුම් කරන්නන්ගේ සංසදය” නමැති සංවිධානයක සාමාජිකයන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් සහ අධ්‍යාපන ඇමැතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.. 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ගුරු වර්ජනය. සෑම සිසුවකුටම මාර්ගගත අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමට නොහැකි වීම, විධිමත් ලෙස වාර විභාග පවත්වා ඇගයීම් සිදු නොවීම, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පහසුකම් නොමැතිවීම, වැනි කරුණු පාදක කර ගනිමින් ඔවුන් මෙම ඉල්ලීම කර තිබේ.
සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය වී නොමැති හෙයින් උසස් පෙළ විභාගය කල් දැමීමට පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයද මාධ්‍ය හමුවත් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේය.. එහි ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක ප්‍රකාශ කළේ විෂය නිර්දේශ ආවරණය කර ගැනීමට සුදුසු වටපිටාවක් නොමැතිව විභාගයට දින නියම කර තිබීම දරුවන්ට කරන බලවත් අසාධාරණයක්. බැවින් විභාග පැවැත්වීම සඳහා අවම වශයෙන් මාස තුනක්වත් ලබා දිය යුතු බවයි.
සිසුන්ගේ ඉල්ලීම අනුව උසස් පෙළ විභාගය කල්දැමීම විභාග අපේක්ෂකයන්ට අහිතකර ලෙස බලපාන බව ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා එම කණ්ඩායමට ප්‍රකාශ කර තිබේ. උතුරු නැඟෙනහිර යුද්ධය දරුණුවට පැවති කාලයේ හා සුනාමි ව්‍යසනය පැවති කාලයේ වුව විභාග කල්දැමීමක් සිදු නොවූ අතර, කොවිඩ් වසංගතය කෙදිනක අවසන් වේදැයි පැවසිය නොහැකි නිසාත්, දිගින් දිගටම විභාග කල් දැමීමෙන් රුකියා වියුක්තිය ඉහළ යෑම හා ජාතික සංවර්ධන ඌණ තත්ත්වයකට පත්විය හැකි බවත්, ඇතැම්විට දේශපාලන පසුබිමක් සහිතව මාස දෙකකට අධික කාලයක් පුරා පැවැත්වෙන ගුරු වර්ජනයට සහය පිණිස විභාග කල් දැමීමේ උත්සාහයක් ලෙස මෙවැනි ඉල්ලීමක් සිදුකරනවා විය හැකි බවත් විභාග කල්දැමීමට එකඟවීමට ඇති අපහසුතා සහ ගැටලු ලෙස ලේකම්වරයා ඔවුන්ට පෙන්වා දී තිබේ.
පාසල් ගමන සීමා වූ කාලයේ උසස් පෙළ සිසුන් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීමේදී පැවැති දුරකතන සංඥා සම්බන්ධයෙන් අහඹු ලෙස කරන ලද සමීක්ෂණයකින් ලබා ගත් දත්තවලට අනුව එම සමීක්ෂණයට සහභාගී වූ සිසුන් 55873ගෙන් යහපත් මට්ටමේ සංඥා ලැබී ඇත්තේ 9%කට පමණි. 50% සංඥා සාමාන්‍ය තත්ත්වයේ පැවති අතර 41%කට ප්‍රමාණවත් ලෙස සංඥා ලැබී නොතිබිනි. මෙම සිසුන්ගෙන් 90% පමණ පිරිසකගේ ඉල්ලීම වූයේ ද උසස් පෙළ විභාගය කල් දැමිය යුතු බවටය.
සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් වී තිබේ. ඒ අනුව පාසල් මට්ටමින් ආවරණය කර ඇති විෂය නිර්දේශ පදනම් කර ගනිමින් ඊට ගැලපෙන ආකාරයට උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් වාර්තාවක් කැඳවීමට පියවර ගැනීම, සිසුන් මුහුණ දුන් ගැටලුකාරී ත්ත්ත්වයන්ට ගැලපෙන පරිදි විභාග ප්‍රතිඵල ඇගයීම් කටයුතු සිදු කිරීම හා සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගැනීමට යම් ක්‍රමවේදයක් සකස් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් සුදුසු පාර්ශ්ව සමඟ පුළුල් ලෙස සාකච්ඡා කිරීම, 2022 පෙබරවාරි දක්වා විභාගය කල් දැමීමක් සිදු කළ හොත් උසස් පෙළ සිසුන් සඳහා පාසල් විවෘත කර ඔවුන්ගේ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය යම් අඛණ්ඩ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීම පිළිබඳ සාකච්ඡා කොට ක්‍රියාමාර්ගයක් ගැනීම එම යෝජනා අතර වේ.
ගුරු විදුහල්පති වර්ජනය හේතුවෙන් අපොස උසස් පෙළ විභාග අයැදුම්පත් නිසි පරිදි විභාග දෙපාර්තමේන්තුවට යොමු කෙරුණේ නැත.. එම අයැදුම්පත් සම්පූර්ණ කිරීමේ අවසන් දිනය ලෙස දක්වා තිබුණේ පසුගිය සැප්තැම්බර් 15දාය. විභාග සඳහා අයැදුම්පත් භාර ගැනීම එදින අවසන් වුවද, පැවති වාතාරණය යටතේ බොහෝ සිසුන්ට නියමිත දිනයේ තම අයැදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ ඒවා විදුහල්පතිවරුන් විසින් ඉදිරිපත් කළ යුතු වූ බැවිනි. බොහෝ විදුහල්පතිවරුන් වැඩ වර්ජනයේ යෙදී සිටි හෙයින් අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනයට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පාසල් 354න් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණේ පාසල් 16ක් පමණි. ඒ අනුව අපොස උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන් සහිත පාසල් 338ක් ඒ වන තෙක් අයදුම් පත් සම්පූර්ණ කර ඉදිරිපත් කර තිබුණේ නැත. පසුව ඇතැම් විදුහල්පතිවරු දරුවන්ගේ විභාග අයදුම්පත් යොමු කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළහ.
පසුගිය 25 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ මේ වන විට අපොස උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්පත් ප්‍රමාණයෙන් 97%ක් පමණ ලැබී ඇති බවයි.
ඇතැම් දුෂ්කර දිස්ත්‍රික්කවල දරුවන්ට නියමිත පරිදි තම අධ්‍යාපන කටයුතු ආවරණය කර ගැනීමට විවිධ බාධා මතු වූ බව පසුගිය කාලය පුරාම දකින්නට ලැබිණි.. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් කිසිදු ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා නොමැත උදාහරණයක් ලෙස විද්‍යා විෂයන්ගෙන් විභාගයට පෙනී සිටින දරුවන් විද්‍යාගාරයක කිසිදු පරීක්ෂණයක් අත්හදා බලා නොමැත. මෙවැනි ගැටලු නිසා දරුවන්ට වන අසාධාරණය වැළැක්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ අදහස වී ඇත්තේ පාසල් ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු බවටය. ඔහුගේ එකම අපේක්ෂාව කඩිනමින් සියලුම පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් ඇතිවනු දැකීමය. පාසල් විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් දරුවන්ගේ පාර්ශ්වයෙන් සිතා බැලිය යුතු හෙයින් ඇතැම්විට උසස් පෙළ විභාගය යළිත් කල් යාමට ඉඩක් ඇතිවිය හැකි බව ලේකම්වරයාගේ අදහස වී තිබේ.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව මේ වන විට අදියර 4කින් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානමින් සිටියි. මෙරට ඇති පාසල් 10155න්න් ලබන ඔක්තෝබර් 6 දින සිසුන් 200ට අඩු පාසල්වල 1 සිට 5 දක්වා වන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ ලැබී තිබේ. ඒ අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් කරණය අවශ්‍ය නොමැති බවට නිර්දේශ වීම මතය. සමස්ත ශිෂ්‍ය ප්‍රජාව 200ට අඩු පාසල් 5131ක් තිබේ.
තම ඉල්ලීම් ඉටු කර දෙන්නේ නම් කඩිනමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු හා ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට තමන් සූදානම් බව ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඔවුන් දිගින් දිගටම වර්ජනයේ යෙදී සිටියහොත් යළි පාසල් විවෘත කළද ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදු කළ නොහැකිය. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා සිටින්නේ මේ වන විට ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට සාධනීය පිළිතුරක් ලැබී ඇති හෙයින් දරුවන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමුකර යළි සේවයට පැමිණෙන ලෙසටය. එහෙත් ගුරුවිදුහල්පති වර්ජනය තව දුරටත් ඉදිරියට ඇදී යන බවක් පෙනෙන්නට තිබේ. ඔවුන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා වෙනත් විවිධ වෘත්තීය සමිතිවල සහය ලැබෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් ගුරු සංගම් ප්‍රකාශ කරන්නේ පාසල් විවෘත කළද තම ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් තමන් අධ්‍යාපන කටයුතුවල නිරත නොවන බවයි. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි ප්‍රකාශ කළේ පාසල් විවෘත කළද ගුරුවරුන් සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ තමන් නිරත වන බවයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ අය වැය පිළිබඳව විශ්වාසය තබා තමන්ට නැවත සේවයට වාර්තා කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංයේ ලේකම්වරයා ඉල්ලා සිටින්නේ කුමන පදනමකින්ද යන්න තමන්ට පැහැදිලි නොමැති බවයි. පාසල් විවෘත කිරීමට පෙර තම වැටුප් ගැටලුවට රජය විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොමැති වුවහොත් පාසල් ක්‍රියාකාරකම්වලට ගුරුවරුන්ගේ සහභාගීත්වයක් නොමැති වන බවද ඔහු කියා සිටියේය.
එම ප්‍රකාශයට අභියෝග කරන අධ්‍යාපන සේවා පරිපාලන සංගමයේ ලේකම් බුද්ධික අත්තනායක ප්‍රකාශ කළේ පාසල් විවෘත කිරීමෙන් පසු ගුරුවරුන් පාසල්වලට ගෙන්වා පෙන්වන බවටය. අධ්‍යාපන ක්‍රියාවලිය තව දුරටත් කඩාකප්පල් කිරීමට තමන් ඉඩ නොතබන බවද ඔහු කියා සිටියේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා