බොලිවුඩයේ කිංග් ඛාන්, ශාරැක් ඛාන් කියන්නේ දරුවන් තිදෙනකුගේ පියකු බව බොලිවුඩයට හිතැති සැවොම දන්නා කරුණකි. මේ දරුවන් තිදෙනාගේ වැඩිමහල් පුත්‍රයා වන ආර්යන් ඛාන් පසුගිය ඉරිදා මුම්බායි වෙරළ තීරයේ යාත්‍රාවක් තුළ සිටියදී ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (එන්.සී.බී.) මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට ආර්යන් හැර ඉන්දියාවේ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන අර්බාස් මර්චන්ට් සහ ශක්ති කපූර්ගේ පුත්‍රයා සිද්ධාර්ත් කපූර්ද (ශ්‍රද්ධා කපූර්ගේ සහෝදරයා) සිටී. ආර්යන් ඛාන්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරැව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ගෙන එන ලද අතර මුම්බායි සිට ගෝවේ දක්වා ගමන් කරමින් තිබූ සුපිරි නෞකාවේ පැවැති සාදය ගැන ආර්යන්ගෙන් ප්‍රශ්න කර තිබිණි.
සෙනසුරාදා රාත්‍රියේ මුම්බායි සිට ගෝවේ බලා ගමන් කරමින් තිබූ නෞකාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් වැටලීමේදී ඒ තුළ විශාල පිරිසක් සිටි බවත් එයින් අට දෙනකු පමණක් නිලධාරීන් විසින් භාරකාරත්වයට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තිදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බවත් සඳහන්ය. එන්.සී.බී. නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් තිදෙනා අතරට බොලිවුඩයේ කිංග් ඛාන් ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, අර්බාස් මර්චන්ට් සහ මුන් මුන් ධාමේචා ඇතුළත් වෙති. මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ආර්යන් පවසා ඇත්තේ එම සුඛෝපභෝගී නෞකාව තුළ පැවති සාදයට තමන් අමුත්තකු ලෙස පැමිණි බවය. එම සාදයට සහභාගිවීම වෙනුවෙන් තමන්ට කිසිදු මුදලක් නොලැබුණු බවද ඔහු පැවසීය. එම සාදය සංවිධානය කළ සංවිධායකවරයා තමන්ගේ නම භාවිතා කරමින් සාදය සඳහා පැමිණ සිටි පිරිසට ආරාධනය කළ බවද ඔහු කියා තිබිණි. ප්‍රශ්න කිරීම් සිදුකිරීම අතරතුර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ආර්යන් ඛාන්ගේ ජංගම දුරකතනය රාජසන්තක කළ අතර ඔහු විසින් ලබාගෙන ඇති ඇමතුම් සහ ඔහුට ලැබුණු ඇමතුම් මොනවාද සහ ඔහු එම පිරිස සමග කතා කළේ මොනවාද යන්න ගැනද පරීක්ෂා කොට තිබේ.
එන්.සී.බී. විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව එම මත්ද්‍රව්‍ය වැටලීමේ නිලධාරීන් කණ්ඩායම විසින් ඔක්තෝබර් 2 වැනි දින කොඩ්‍රේලියා ක_ස් නම් සුඛෝපභෝගී නෞකාව වටලනු ලැබූ අතර එහි විනෝද චාරිකාවේ යෙදී සිටි සියලුම පුද්ගලයින් සෝදිසි කොට ඇත. එම මත්ද්‍රව්‍ය නිවාරණ කණ්ඩායමේ නිලධාරීන් විසින් නෞකාවේ පැවති සාදයේ තිබී එම්.ඩී.එම්.ඒ, කොකේන්, එම්.ඩී. සහ චරාස් යන මත්ද්‍රව්‍ය වර්ග සහ මුදලින් ඉන්දියානු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබිණි. වාර්තාවලට අනුව, මෙම සාදය පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් 22 ක් සාමාන්‍ය ඇඳුමින් සැරුසී නාවික මගීන් ලෙස මෙම නෞකාවට පැමිණ ඇත. මෙම සුපිරි නෞකාවෙහි මගීන් 1800ක් පමණ සිට ඇති අතර ඉතාම භයානක ගණයේ මත්ද්‍රව්‍ය සාදයක් එහි පැවැත්වෙමින් තිබී ඇති බව සඳහන්ය. මෙම සාදයට සම්බන්ධව සිටි පිරිස සෝදිසි කිරීමෙන් අනතුරුව ශාරුක් ඛාන්ගේ පුතා ඇතුළු පුද්ගලයන් 8 දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන එන්.සී.බී. කාර්යාලය වෙත ගෙන එන ලද අතර එහිදී ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබේ.
මෙම නෞකාව අයත් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරි ජුර්ගන් බෙලොම් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සමහර මගීන්ගේ ගමන් මලු වලින් මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙහි මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ නිලධාරීන් විසින් සොයාගත් අතර එම පිරිස් වහාම ගොඩබැස්ස වූ බවත් මෙම ක්‍රියාව හේතුවෙන් නැව් ගමන සැලසුම් කිරීම ප්‍රමාද වූ බවත්ය. ඒ සඳහා ඔහු මගීන්ගෙන් සමාව අයැද සිටියේය.
ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ මව ගෞරී ඛාන් ඔවුන්ගේ නීතීඥ සතිෂ් මනේෂින්ඩේ සමඟ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණියාය. මේ වනවිට එන්.සී.බී. නිලධාරීන් විසින් උත්සාහ කරමින් සිටිනුයේ ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සෙවීමටය.
එන්.සී.බී.හි නිලධාරීන් ආර්යන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළද, ආර්යන්ට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනාවක් යටතේ නඩු පවරා හෝ ඔහු අත්අඩංගුවට ගෙන නොමැති බව එන්.සී.බී. හි කලාප අධ්‍යක්ෂවරයා ඉන්දීය මාධ්‍ය අමතා නිවේදනයක් නිකුත් කොට ඇත.
නෞකාව තුළ සාදය පැවැත්වෙන අතරතුර වීඩියෝවක්ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් තමන් සතුකොට ගෙන ඇති අතර ආර්යන් ඛාන්ද එහි දකින්නට සිටින බව ඉන්දියාවේ මාධ්‍යවල වාර්තාකොට තිබේ. ආර්යන් ඛාන් සුදු ටී ෂර්ට් එකක්, නිල් පැහැති ජීන්ස් එකකින් සහ රතු පාට ෂර්ට් එකකින් සැරසී කැප් එකක්ද පැළඳගෙන එහි සිටින බව කියති.
ආර්යන් ඛාන්ට අමතරව ශක්ති කපූර්ගේ පුතා වන ශ්‍රද්ධා කපූර්ගේ සොහොයුරු සිද්ධාර්ත් කපූර්ද අත්අඩංගුවට ගෙන ඇති අතර එන්.සී.බී. කණ්ඩායම විසින් ඔහුගෙන්ද මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටී.
ඊට අමතරව ඉන්දියාවේ ව්‍යාපාර ලෝකයෙහි ඉහළින්ම නම තබාගෙන සිටින ව්‍යාපාරිකයන් තුන් දෙනකුගේ දියණියන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී. මෙම සුපිරි නෞකාවේ පැවැත්වෙන සුපිරි සාදය ගැන ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙහි නිලධාරීන්ට සිකුරාදා වනවිට තොරතුරු ලැබී තිබිණි. ඉන්පසු ඔවුන් විසින් සැකසූ සැලසුමකට අනුව ඔක්තෝබර් 02 වැනිදා නැව වටලා එහි සිටි සියලුම පුද්ගලයන් සෝදිසි කර තිබේ.
ආර්යන් ඛාන් දැනට අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි. පසුගිය සඳුදා දිනය වනවිට තවත් දහ දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ප්‍රශ්න කරමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
චන්දන වරාවිටගේ