යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳ උණුසුම ගෙවුණු සතිය පුරාද පැවතිණි. ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලද අවසන් එකඟතාවක් නොවිණි. කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟම පක්ෂ විපක්ෂ කණ්ඩායම් තුළ වූ දේශපාලන බෙදීම්වලද වැඩි වර්ධනයක් දක්නට ලැබිණි. එසේම මේ සම්බන්ධව විපක්ෂයේ මැදිහත්වීමේ ද අපැහැදිලි තැන් කිහිපයක්ම විය. එම නිසාම යුගදනවි හමුවේ මෙරට පක්ෂ දේශපාලනයේ හැසිරීම පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු.
යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින්නේ ආණ්ඩුවේ කවුරුන්ද යන්න පිළිබඳ අපි පළමුව අවධානය යොමු කළෙමු. පැහැදිලිවම මේ මොහොතේ යුගදනවි ගනුදෙනු සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් වන්නේ ආණ්ඩුවේ පොදුජන පෙරමුණු බැසිල් රාජපක්ෂ හිතවාදී කණ්ඩායමයි. ඔවුහු ඍජුවම ඒ වෙනුවෙන් පෙනී සිටිමින් යුගදනවි ගනුදෙනුවට විරුද්ධවන්නන් ද්‍රෝහීන් බවද කියා සිටිති. ඒ අතර ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ යහපාලන රජය විසින් සිදු කරනු ලැබූ ගනුදෙනුය. විශේෂයෙන්ම හම්බන්තොට වරාය ගනුදෙනුව ඔවුහු තුරුම්පුවක් කොටගෙන සිටිති.
විරුද්ධ වන්නේ කුහකයෝ
“අවුරුදු 10ක් තිස්සේ අපිට කරගන්න බැරිවෙලා තිබුණු දෙයක් මේ අවස්ථාවේ අපි සිදු කරන්න යනකොට විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ ඒ විරුද්ධ වීම සිදු කරන පුද්ගලයා ඒක කරන්නේ කුහකත්වය මත මිසක් රටට ආදරයෙන් නෙමෙයි."
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්
මේ අතර යුගදනවි එතරම් අදාළ කොට නොගෙන කටයුතු කරන පොදුජන පෙරමුණටම සම්බන්ධ පිරිසක් සිටිති. ඔවුහු යුගදනවි ගනුදෙනු සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් නොවනවා සේම ඊට විරෝධයක් ද ගොනු නොකරති. යුගදනවි අමතක කොට ඔවුහු වෙනත් කාලීන මාතෘකාවක එල්ලී සිටිති. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වූ පිරිස් සහ පොදුජන පෙරමුණට සම්බන්ධ ඇතැම් ජ්‍යෙෂ්ඨයෝ මේ අතර වෙති.
කාගේත් අවධානය දිනාගෙන ඇත්තේ යුගදනවි සම්බන්ධව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවය. මෙහිදී ද නිරීක්ෂණය වන කරුණු කිගිපයකි. විසිවැනි සංශෝධනය, නැගෙනහිර ජැටිය ආදී ගැටුම්වලදී සිදු කළ තරම් විශාල බලපෑමක් මේ උදෙසා සිදු කිරීමට මෙම පක්ෂ කටයුතු නොකරයි. එහෙත් ඔවුහු දිගින් දිගටම අභ්‍යන්තරික වශයෙන් සංවිධානගත වෙමින් සාකච්ඡා කරමින් සිටිති. විශේෂයෙන්ම පෙර අර්බුදය සඳහා සැලකිය යුතු ලෙස මැදිහත් නොවුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට මැදිහත් වෙමින් සිටීම දේශපාලනිකව කියවාගත යුත්තකි.
ශ්‍රීලනිපය සම්පූර්ණයෙන් විරුද්ධයි
“මහා භාණ්ඩාගාරය සතුව තියන බලාගාරයේ සීයයට හතළියක කොටස් ප්‍රමාණයක් විදේශීය සමාගම්වලට ලබාදීම හරහා ආරම්භ වන පෞද්ගලීකරණය සඳහා වූ ව්‍යාපාරයට අපි සම්පූර්ණයෙන්ම පක්ෂයක් විදිහට විරුද්ධයි."
- මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල භූමිකාව මෙහිදී කැපී පෙනෙයි. මුළුමනින්ම ඔහුගේ විෂය පථයට යුගදනවි අයත් නොවෙතත් ඔහු ද මෙම අර්බුදයේ කොටස්කරුවෙකි. එසේම ඔහු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයෙකි. මේ මොහොතේ දෙපැත්ත බේරාගැනීම ඔහුට පැහැදිලි අභියෝගයකි.
ගිවිසුම් කමිටුවල අපේ අය නෑ
“අපිට ප්‍රශ්නය තියෙන්නේ යුගදනවි බලාගාරයේ සීයයට හතළිහක කොටස් අමෙරිකානු සමාගමකට දීම පිළිබඳව නෙවෙයි. ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය 2023 සිට 2028 දක්වා වසර පහකට අමෙරිකානු සමාගමකට විකිණීම පිළිබඳව. ගෑස් සම්බන්ධව දන්න අය ඉන්නේ අපේ අමාත්‍යාංශයේ. එහෙත් ගිවිසුම්වලට එළඹීම සම්බන්ධව කිසිම කමිටුවක අපේ අය නෑ."
- බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය යුගදනවි සම්බන්ධව සැලකිය යුතු මැදිහත් වීමක් සිදු කරයි. ඔවුනට යුගදනවි ගිවිසුම සම්බන්ධ සිදුවීම මේ මොහොතේ දේශපාලන වාසියකි. යුගදනවි ගනුදෙනුවට එරෙහිව බෞද්ධ භික්ෂූන් හමුවී කරුණු පැහැදිලි කිරීමේ වැඩපිළිවෙළක් ද සමගි ජන බලවේගය පසුගිය සතියේ ආරම්භ කළේය.
ඔය සමාගමට ඊළඟ වසර 12 වැදගත්
“දැන් මේ බලාගාරයේ ස්වභාවයක් තියෙනවා. අපූරු ස්වභාවයක්. ඒක තමයි දැනට මේ බලාගාරය ක්‍රියාත්මක වෙලා අවුරුදු එකොළහයි. අපි දන්නවා බලාගාරයට ගෙවීම් කටයුතු කරන ලංකා විදුලිබල මණ්ඩලය කොටස් දෙකකින් ගෙවීම් කළ යුතුයි. එකක් තමයි ධාරිතා ගාස්තු. ඒක විදුලි බලය ගත්තත්, නොගත්තත් ගෙවිය යුතු ගාස්තුවක්. ඊළඟට තියෙනවා, නඩත්තු. ඒ කියන්නේ මේක කළමනාකරණය කිරීමේ ගාස්තු. එතකොට විදුලිය ඒ සඳහා ගෙවන්න ඕනේ. ඒ වගේම ඇතැම් කොටස් තියෙනවා මේකෙ නඩත්තු ගාස්තුවල. ඒකත් විදුලිබල මණ්ඩලය දැරිය යුතු වෙනවා. අදාළ සමාගමේ ලාභාංශයත් එහි තමා තියෙන්නේ. එතකොට මේ සමාගමට මේ ඉදිරි වසර දොළහ තමයි මේ බලාගාරයේ වැදගත් වසර දොළහ."
- සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
කෙසේ වෙතත් මෙහිදී සමගි ජන බලවේගය අමෙරිකානු විරෝධයක් නොනගන බව පැහැදිලිය. ඔවුනට දේශපාලන වශයෙන් වාසි ලබාගැනීමට නම් එවන් විරෝධයක් ඉතා සාධනීයය. එහෙත් වර්තමාන ආණ්ඩුවට ඇති අමෙරිකානු විරෝධය ද කණ්ඩායමට ඇති ආශිර්වාදය ද වෙන්කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැති බව පෙනී යයි. වරාය නගර පනතේ දී චීනය සම්බන්ධව සහ නැගෙනහිර ජැටිය සිදුවීමේ දී ඉන්දියාව සම්බන්ධව කළ පිළිවෙත් ඔවුහු මෙහිදී අනුගමන නොකරති. යුගදනවි අර්බුදය දේශපාලන වශයෙන් පරිස්සමෙන් හැසිරවිය යුතු බව ඔවුන් තීරණය කර ඇති සෙයකි.
යුගදනවි බලාගාර ගිවිසුමට ඍජුව විරුද්ධ වන කණ්ඩාම් අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානය. ඔවුනට කොන්දේසි විරහිත පහරදීමකට අවකාශය සැලසී තිබේ. මේ මොහොතේ තම කඳවුර කෙරෙහි ජනතාව ආකර්ෂණය කර ගැනීමට ද ඔවුහු මෙය යොදා ගනිමින් සිටිති. එහෙත් ඔවුන්ගේ මැදිහත් වීමේ ප්‍රතිඵල කුමක් වී දැයි පැහැදිලි නැත.
සම්පත් විකිණීම ඛේදවාචකයක්
“ඕනෑම රටක උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන සහ ආර්ථික සම්පත් ආරක්ෂා කර ගැනීම බලයට පත්වන පාලකයන්ගේ වගකීමක්. අපි ඉපදෙන විට තිබුණු රටේ සම්පත් මිය යන විට විදේශිකයන්ට පවරා තිබෙනවා නම් එය රටකට කෙතරම් ඛේදවාචකයක් නිර්මාණය කරනවාද? චීනය, ඉන්දියාව සහ අමෙරිකාව අපේ රට සම්බන්ධයෙන් විශාල ආර්ථික සහ දේශපාලනික මැදිහත් වීමක් කරමින් ඉන්න බව පැහැදිලියි.”
- ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක
එක්සත් ජාතික පක්ෂය මේ හා සම්බන්ධව විරෝධය ගොනු කළද එය එතරම් වටිනාකමක් ලබා නොමැති අයුරකි. ඔවුන්ගේ දේශපාලනය ද ගෝලීය වශයෙන් අමෙරිකානු කඳවුරට පක්ෂපාතීය. එසේම මේ වන විට ඔවුනට ජාතික දේශපාලනය තුළ වෙන්වී ඇත්තේ කුඩා වපසරියකි.
කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය හා එම බලාගාරයට ගෑස් සැපයීමේ අයිතිය අමෙරිකානු සමාගමකට ලබාදීම පිළිබඳ පක්ෂ දේශපාලනික කියවීම මෙයයි. මෙය ආර්ථික කියවීමක් නොවන බව සැලකිය යුතුය. එය වෙනම සාකච්ඡා කළ යුත්තකි. එසේ කළද අවසානයේ දී සියල්ල බල දේශපාලනයේ කොටස් බව ඔබට පැහැදිලි වනු ඇත.
චමිඳු නිසල් ද සිල්වා