2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

කොවිඩ් සුව වීමෙන් පස්සෙ ඉන්න ඕන මෙහෙමයි

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 87

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය යම්තාක් දුරකට පාලනය වී ඇති අතර වාර්තා වන රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේද යම් අඩුවක් දක්නට ඇත. රෝහල්ගතව මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අඩුවීම හේතුවෙන් රෝහල් ධාරිතාවයේද යම් සැලකිය යුතු අඩුවක් වාර්තා වේ. කොවිඩ් රෝගියකු නිවෙසේ හෝ රෝහලේ දින දාහතරක් ප්‍රතිකාර ගෙන සුවපත් වුවද එවැනි පුද්ගලයකු සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වෛද්‍යවරු උපදෙස් ලබා දෙති. මේ අතර කොවිඩ් රෝගය සුවපත් වුවද වැළඳිය හැකි අතුරු ආබාධ කිහිපයක් පවතින බවද පැවසේ.

“කොවිඩ් රෝගය වැළඳී එය සුවපත් වුණු පුද්ගලයකුට නැවත වතාවක් කොවිඩ් රෝගය වැළඳීමට හැකියාව පවතිනවා. විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්, දිගුකාලීනව පවතින රෝග ඇති පුද්ගලයන් වැනි අයට නැවත වතාවක් කොවිඩ් වැළඳීමේ ප්‍රවණතාවය වැඩියි. කොවිඩ් වැළඳී සුවපත් වුණු රෝගියකුගෙන් කාලයක් යනතුරු රෝග ලක්ෂණ කිහිපයක් දැකගත හැකිවෙනවා.” යැයි කොළඹ වෛද්‍ය පීඨයේ ආරාධිත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පවුල් වෛද්‍ය එම්.ජී.එච්. තිලකරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව මෙවැනි පුද්ගලයන්ගේ හිසරදය, සෙම ගතිය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය, ඉක්මනින් තෙහෙට්ටුව දැනීම, සිරුරේ අප්‍රාණික බව, නින්ද නොයාම, ආහාර අරුචිය වැනි ලක්ෂණ කලක් පවතී.

“මෙම රෝගය වැළඳී සති හතරක් පමණ ගතවනතුරු මෙම රෝග ලක්ෂණ මඳ වශයෙන් හෝ පවතිනවා. සති හතරකට වඩා වැඩි කාලයක් මෙම රෝග ලක්ෂණ පවතී නම් එය Long Covid ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම රෝගය මූලික වශයෙන් වැළඳෙන්නේ පුද්ගලයකුගේ පෙනහැල්ල ආශ්‍රිතවයි. ඊට අමතරව අනෙකුත් ඉන්ද්‍රියන්ටද මෙම රෝගය ආසාදනය වෙන්න පුළුවන්.” යැයි වෛද්‍ය එම්.ජී.එච්. තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ඕනෑම පුද්ගලයකු කොවිඩ් ආසාදිත කාලයේදී මෙන්ම පහුකාලීනවද දීර්ඝ කාලීනව රෝගවලට ගනු ලැබූ ඖෂධ නිසි පරිදි නිසි වෙලාවට ගැනීම අනිවාර්ය වේ. දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, පිළිකා වැනි රෝගී තත්ත්වයන්ට ගනු ලබන ඖෂධ කොවිඩ් කාලයේ පවා ගැනීම සිදු කළ යුතුය. කොවිඩ් සඳහා ඔබ ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා මේ පිළිබඳ දැනුවත් කිරීමද වැදගත් වේ. එම ඖෂධ කිසිසේත්ම කොවිඩ් ප්‍රතිකාරවලට බලපාන්නේ නැත.

“කොවිඩ් රෝගය සඳහා මේ වන විට සාර්ථක ක්‍රමය වන්නේ කොවිඩ් එන්නත්කරණයයි. 2019 දෙසැම්බර් මාසේදී තමයි කොවිඩ් රෝගය ලෝකයෙන් සොයාගත්තේ. මේ අවුරුදු දෙකක කාලයක් තුළදී එන්නත්කරණය සම්බන්ධව අත්හදා බැලීම් කරමින්, නිරීක්ෂණය කරමින්, එන්නත්කරණය සොයාගනු ලැබුවා. එය සාර්ථක පිළියමක් ලෙසින් මේ වන විටත් ලෝකයේ බොහෝ රටවල් සොයාගෙන තිබෙනවා. දැනට සොයාගෙන ඇති කරුණුවලට අනුව පළමු එන්නත්කරණයෙන් ප්‍රතිදේහ සෑදෙනවා. එක් එන්නතක් නොව නිසි කාලයේදී දෙවැනි එන්නත් මාත්‍රාවද සෑම කෙනකුම ලබාගත යුතු වෙනවා. එයින් ප්‍රතිශක්තිය වැඩි වී රෝගය පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.” වෛද්‍ය එන්.ජී.එම්. තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර කොවිඩ් සෑදී සුවපත් වූ පුද්ගලයකු සැලකිය යුතු කරුණු කිහිපයකි.
ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම.
රෝගය සුව වී ඇතත් දිනකට එක් වරක් හෝ හුමාලය ඇල්ලීම.
රෝගය සුවපත් වූ පසු දින කිහිපයක් යනතුරු වැඩි දුර ප්‍රමාණයක් එකදිගට ඇවිදීම සිදු නොකිරීම. 
සුවපත් වූ මුල් කාලයේ පඩිපෙළ නැගීමෙන් වැළකීම.
තම නිවෙසේ ආදරණීයන් සමඟ කාලය ගත කිරීම. 
විනෝදාංශවලට හිත යොමු කිරීම.
ප්‍රමාණවත් විවේකයක් ලබාගැනීම.
සුවපත්වූවන් සම්බන්ධව ධනාත්මක තොරතුරු බෙදාගැනීම. 
දිනපතා පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම.

සැහැල්ලු ව්‍යායාම්වල නිරත වීම. (පපුව හිරවීම, හිස කැක්කුම, කරකැවිල්ල එකදිගට කෙටි හුස්ම වැටීම වැනි රෝග ලක්ෂණ පවතී නම් ව්‍යායාම්වල නිරත වීමෙන් වළකින්න.)

“මත්පැන් භාවිත කිරීමෙන් පුද්ගලයකුගේ ශරීරය දුර්වල කරනවා. ඒ නිසා කොවිඩ් වැළඳුණු කෙනකුගේ ශරීරයේ ඉන්ද්‍රියන් බොහෝවිට දුර්වලව පවතිනවා. සුවපත් වීමත් සමඟ එම ඉන්ද්‍රියන් යථා තත්ත්වයට පත්වෙන්න යම් කාලයක් ගත වෙනවා. මේ නිසා කොවිඩ් සුවපත් වීමෙන් පසුවද මත්පැන් ශරීරගතවීම එතරම් සුදුසු වන්නේ නැහැ. ඒ නිසා කොවිඩ් සුවපත් වූ පුද්ගලයකු යම් කාලයක් ගතවන තුරු මත්පැන් පානය කිරීමෙන් වළකින්න.” යැයි වෛද්‍ය එම්.ජී.එච්. තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබ කොවිඩ් රෝගය ආසාදිත වී සුවපත් වූ පුද්ගලයකු නම් නිවෙසින් පිටතට යන සෑම මොහොතකම මුඛ ආවරණය නිසි පරිදි පැළඳ නිවෙසින් බැහැර වන්නට වගබලාගත යුතුය. වයස අවුරුදු හැටට වැඩි වැඩිහිටියන්, වයස අවුරුදු පහට අඩු දරුවන් මෙන්ම විශේෂ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් අත්‍යවශ්‍ය දෙයකට හැර නිවෙසින් බැහැර නොවිය යුතුය. නිවෙසින් බැහැරවීමෙන් පසු හැකි හැම මොහොතකම සමාජ දුරස්ථභාවය තබාගැනීමට සැලකිලිමත් විය යුතුය.

 දිශානි ජයමාලි කරුණාරත්න