පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට තරුණ මවකගේ අක්මාවේ කොටසක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කර අක්මා ආබාධයකින් පෙළෙන 15 හැවිරිදි පුතුට සාර්ථකව බද්ධ කිරීමට පියවර ගත්හ.
පැය දහතුනක් පමණ වේලාවක් තුළදී ඉතා සාර්ථකව ශල්‍යකර්මය සිදු කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් වූහ. ජීවත්ව සිටින අයකුගේ අක්මාවෙන් කොටසක් ඉවත් කර දරුවකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව බව ශල්‍යකර්මයට එක්වූ වෛද්‍යවරු පැවසූහ.
පෞද්ගලික රෝහලක මෙවන් ශල්‍යකර්මයක් සිදු කරන්නේ නම් රුපියල් ලක්ෂ 100 (කෝටියක) මුදලක් වැය වන බව පැවසේ. මෙම සුවිශේෂී ශල්‍යකර්මය රජයේ රෝහලකින් සිදු කිරීමට හැකිවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේද ජයග්‍රහණයක් ලෙස වෛද්‍යවරු සලකති.
මෙයට පෙර මෙවැනි ශල්‍යකර්මයක් සිදු කර ඇත්තේ රාගම ශික්ෂණ රෝහලේ බව වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනකු පමණ අක්මා බද්ධ ශල්‍යකර්මයට දායක වී තිබේ.
ඇළහැර බකමූණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් වූ තම පුතුට කලක සිට පැවති සිරුර කහ වීමේ රෝගය සහ උදරය පිම්බීම වැනි රෝග තත්ත්වයක් ඇතිවී එම දරුවාට ප්‍රතිකාර ගැනීමට බකමූණ රජයේ රෝහලට එම මව පැමිණ සිටියාය. මව දරුවා රෝහලේ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍යවරු එම දරුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගත්හ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බුද්ධික දසනායක මහතා දරුවා පරීක්ෂා කර එම දරුවාට කඩිනමින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවට තීරණය කර ඇත. මසක් පමණ රෝගී දරුවාගේ රෝගී තත්ත්වය නිරීක්ෂණය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම දරුවාගේ අක්මාවද පරීක්ෂාවට ලක් කර තිබේ. පසුව දරුවාගේ මව වන 37 හැවිරිදි කාන්තාවගේ අක්මාවේ වම් පෙදෙසේ කොටසක් දරුවාට බද්ධ කළ හැකි බවට වෛද්‍යවරු තහවුරු කර ගත්හ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දරුවාට ඉතා කඩිනමින් ශල්‍යකර්මය සිදු කිරීමට වෛද්‍ය කණ්ඩායම තීරණය කර තිබිණි.
අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල යොදාගත් වෛද්‍යවරු දීර්ඝ ලෙස සාකච්ඡා කොට, ශල්‍යකර්මය සිදු කිරීමටත් ශල්‍යකර්මයෙන් පසු කළ යුතු නේවාසික ප්‍රතිකාර මෙන්ම රෝගියා රුකබලා ගැනීම සම්බන්ධවද දීර්ඝ ලෙස අවධානය යොමු කළහ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාගේද පූර්ණ සහාය ලබාගනිමින් ශල්‍යකර්මය ආරම්භ කරනු ලැබීය.
මහාචාර්ය වසන්ති ප්‍රින්ටෝ මහතාගේ මගපෙන්වීම යටතේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර, සේනානි සමරසිංහ, සමීර වාසල, අමිලා ජයසිංහ, අනුර අබේසුන්දර, රෝචන පෙරේරා, නිර්වින්දන වෛද්‍ය මහාචාර්ය කේ.බී. ගල්කැටිය, ශල්‍ය වෛද්‍ය විශේෂඥ බුද්ධික දසනායක, බන්දුල සමරසිංහ, අරින්ද ධර්මපාල යන වෛද්‍ය කණ්ඩායම ශල්‍යාගාර ප්‍රධාන හෙද නිලධාරිනිය ඇතුළු හෙද හෙදි කාර්ය මණ්ඩලය, ශල්‍යාගාර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු තිස් දෙනකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මයට දායක වූහ.
විශේෂඥ විකිරණවේදී රුධිර පාරවිලයනය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්, කේතවේද විශේෂඥ වෛද්‍යවරුන්, ක්ෂ්ද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍ය වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, (කනිෂ්ඨ සේවක සේවිකාවන්ද ඇතුළුව) අක්මා බද්ධ ශල්‍යකර්මය සාර්ථකව සිදුකර මිනිස් ජීවිතයකට යළිත් පුනර්ජීවයක් ලබාදීමට සිය කාලය ශ්‍රමය වැය කළේ වැටුපටත් එහා ගිය සේවාවක් ඉටුකරමිනි.
ඉතා සූක්ෂමව අක්මා කොටසක් ශල්‍යකර්මයෙන් ඉවත් කොට අක්මා බද්ධයට ලක්වූ දරුවාට සාර්ථකව බද්ධ කිරීමේ මෙහෙවරට දායක වූ වෛද්‍ය කණ්ඩායම දෙවිවරුන් සේ ඉටුකළ සේවය අගය කළ යුතුමය.
රුධිරය වහනය වීම අවම කරමින් වෛද්‍යවරුන් පැය දහ තුනක් වැනි කාලයක් තුළ සිදු කළ අක්මා බද්ධ ශල්‍යකර්මය සාර්ථක කරගත් අතර මේ වන විට අක්මාව පරිත්‍යාග කළ මවත් සිය මවගේ අක්මාවේ කොටසකින් යළිත් ජීවත්වීමේ වරම් ලද ඇගේ පුතුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා පවසයි.
ඉතා අසීරු වූත් අවදානම් වූත් අක්මා බද්ධ ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන් අක්මාව නරක් වී දැඩි සේ රෝගාතුරව සිටි දරුවාගේ අක්මාව ශල්‍යකර්මයක් සිදුකොට ඉවත් කර නිරෝගී තත්ත්වයෙන් සිටි ඔහුගේ මවගේ නිරෝගී අක්මාවෙන් කොටසක් ඉවත් කර ඉතා ආරක්ෂිතව බද්ධ කිරීමේ සුවිශේෂී ක්‍රියාවලිය මෙරට වෛද්‍ය ඉතිහාසයේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් සේ සැලකෙයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෙන්ම වෙනත් රෝහල්වලද වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහායද මෙම සුවිශේෂී අක්මා බද්ධ ශල්‍යකර්මය සඳහා ලබාගෙන තිබේ.
ශල්‍යකර්මයෙන් පසුව රෝගියා රැකබලා ගැනීමේ වගකීමද ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට පැවරී තිබේ. අක්මා බද්ධයට ලක්වූ දරුවාට අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම සාත්තු සේවා කටයුතු සියල්ල පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ප්‍රමුඛ ශල්‍යකර්මයට දායක වූ සියලුම වෛද්‍ය කණ්ඩායම විසින් බාරගනු ලැබුවේ මෙරට වෛද්‍ය සේවාවේ ඉහළම ගුණාංගයන් රටටම පසක් කරමිනි. මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරවන මෙවන් වෛද්‍යවරුන්ට දීර්ඝායු පැතීම ඔවුන්ට සිදුකෙරෙන ලොකුම උපහාරයයි.
ජේ.ඒ.එල්. ජයසිංහ