1978 වසරේ ඒ දිනය ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වූ ජේ.ආර්.ඩී. රතන් ටාටා හට සිය ජීවිතයේ දුක්බරම දිනය විය. තමන් මෙතෙක් දැරූ ඉන්දියානු ගුවන් සේවයේ සභාපති තනතුරින් තමන් ඉවත් කර ඇති බව ඔහු එදා දැනගත්තේ උදෑසන පුවත්පතිනි.
එයාර් ඉන්දියා ගුවන් සේවය ඔහු අරඹා තිබුණේ 1932දී එවකට ලොව තිබූ ඉහළ පෙලේ ගුවන් සේවයක් හැටියටය. 1953 සියල්ල ජනසතු කරද්දී ගුවන් සේවය රජයට ගත්තේ වුවද ඔහුට එහි සභාපති තනතුර හිමිව තිබුණි. තමන්ගේ ලේකම්වරියට මේ කියන දිනයේ ලහිලහියේ ඇමතුමක් ගත් ඔහුට ලැබුණු ආරංචිය වූයේ මෙදා ඒ වනවිටද ඔහුගේ පුටුවට හිටපු ගුවන් මාර්ෂල්වරයෙකු අරක් ගෙන හමාර බවය. මේ ඉන්දියානු ගුවන් සේවය රජයට පවරා ගැනීමත් සමග සිදුවූ අලකලංචියයි. මෙදා වසර 43 කට, නැතිනම් සැබෑ ලෙසම ටාටා පරම්පරාවෙන් උදුරාගෙන වසර 68කට පසු ඉන්දියා ගුවන් සේවය නැවතත් “ටාටාවරැන්ගේ” සමාගමකටම හිමිව හමාරය.
ජේ.ආර්.ඩී. රතන් ටාටා 1993දී මියගියේ තමන්ගෙන් උදුරාගෙන අවාසනාවන්ත අඩියකට ඇද දමා තිබූ ගුවන් සේවය ගැන දුක්වෙමිනි. ඒ වනවිට ඔහු නිතර කී කතාවක් නම් තමන් සභාපති තනතුර දැරූ කාලයේ තිබූ ලොකුම රාජකාරිය වූයේ මධ්‍යම ආණ්ඩුවෙන් ගුවන් සේවය බේරා ගැනීම බවය. දැන් රජයේ අත පෙවීමෙන් වසර 68කට පසු ඒ කාලයේ තිබූ ජාතිකවාදී රජයට සමාන මෝදිගේ පාලන කාලයේදී පාඩු ලබමින් සුදු අලියෙක් බවට පත්ව තිබෙන ජාතික ගුවන් සේවය බේරා ගැනීමේ කාර්යය ජේ.ආර්.ඩී. රතන් ටාටාගේ ඥාති පුත්‍රයාගේ සභාපතිත්වයෙන් යුතු නූතන ටාටාපුත්‍ර සමාගමටම පැවරී තිබේ. තමන්ට හිමි පරම්පරා අයිතිය මිලදී ගැනීම සඳහා මෙවර ටාටාහට ඉන්දියානු රුපියල් කෝටි 18000ක මුදලක් ලංසු තබන්නට සිදුවිය. මෙයින් සියයට 15ක් රජයේ සාක්කුවට යද්දී ඉතිරි මුදල වැයවන්නේ සමාගම මේ වනවිට වැඩි ඇති ණය අගාධයෙන් මිදීමටය. ඉන්දියානු රුපියල් කෝටි 15,300ක ණය බරක් මේ මුදලින් පියවන්නට නියමිතය. එදා නේරු රජය ඉන්දියානු රුපියල් කෝටි 2.8ක් ගෙවා ඔවුන්ගෙන් අයිතිය උදුරාගන්නා විට ඒ කාලයේ ලොව තිබූ විශිෂ්ටතම ගුවන් සේවා අතරින් ප්‍රමුඛස්ථානයක පැවතුන මේ සේවාව මෙදා තිබුණේ දිනකට ඩොලර් ලක්ෂ 30ක පාඩුවක් ලබමිනි. දිනපතා පාරිභෝගිකයන්ගේ අඳෝනා, නෝක්කාඩු, සාප කිරීම්වලට ලක්වෙමිනි. 2001දී සිට මේ තත්ත්වය සමනයට මධ්‍යම රජය නොයෙකුත් උප්පරවැට්ටි හඳුන්වා දුන්නද ඉපැරුණි සෞභාග්‍යය ඒ වෙත ළඟා වූයේ නැත. අන්තිමේ නැවත ටාටාවරුන්ටම මේ ගුවන් සේවයේ ගැලවුම්කාරයන් බවට පත්වන්නට සිදුවිය.
වර්තමානයේ එහි හිමිකාරිත්වයට වගකියන රතන් ටාටා ඉපැරුණි ටාටාවරයාගේ පුත්‍රයා නොවුණද ටාටා පවුලේම ප්‍රමුඛ සාමාජිකයෙකි. ඔහු සිය ඥාතියා ඇරැඹු මේ ආයතනයේ කාටත් අමතකව ගිය අතීතය මාධ්‍යය මගින් මතකයට නංවා තිබුණි. මෙය 1932දී ජේ.ආර්.ඩී. රතන් ටාටා ඇරුඹුවේ ටාටා එයාර්ලයින්ස් Tata Airlines නමිනි. පසුව 1948දී අන්තර්ජාතික ඉන්දියානු ගුවන් සේවාව Air-India International ලෙස නම් කුලවැද්දීමට ලක්විය. ඉන්පසු 1953දී නේරු රජයේ ජාතිකකරණ වැඩපිළිවෙළ යටතේ එය ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව බවට වෙස් පෙරුළිණි. 1978දී ටාටා පරිපාලනයේ අවසන් ඇණ මුරිච්චියත් ගලවා දැමීමත් සමඟ සමස්ත සේවාවම කඩාවැටීම ඇරුඹිණි. නමුත් ඉන්දියාවේ දෙවෙනි සුවිශාලතම ගුවන් සේවය ලෙස එය රඳාපැවැතිණි.
ඉන්දියා ගුවන් සේවයේ නිර්මාතෘ ජේ.ඩී.ආර්. ටාටා කුඩා කළ වැඩි හරියක්ම ගතකළේ ප්‍රංශයේය. ලෝකයේ මුල්වරට 1907දී ඉංග්‍රීසි ඕඩය තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින් තරණය කරමින් වාර්තා ගතවූ Louis Bleriot, සිටියේ ඔහුගේ නිවෙස අසලය. වසර 20කට පසුකාලයේ 1927දී පමණ ජේ.ඩී.ආර්. ඒ කාලයේ ගුවන් වීරයෙක් වූ අත්ලාන්තික් තරණය කළ චාර්ල්ස් ලින්ඩ්බර්ග්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඇඳ තිබේ. මේ කාලයේ ඔහුට ගුවන්ගත වීමේ පිස්සුව වැළඳී තිබුණි. පසුව 1929 දී එකල බොම්බාය ලෙස නම්කර තිබූ දැන් මුම්බායිහි ඇරැඹුණු ගුවන් පියසර සමාජයේ සාමාජිකයෙක්ව ඔහු පියාසරණයේ විද්‍යාත්මක උප්පරවැට්ටි හඳුනාගත්තේය. පසුව වසර 3කට පසු ඔහු රුපියල් ලක්ෂ 2ක් යොදවා මුල්ම ඉන්දිය ගුවන් සේවය ටාටා ගුවන්තැපෑල - Tata Air Mail ලෙස අරඹා පියාසර සිහිනය සැබෑකර ගත්තේය. මුල්ම ඉන්දීය ගුවන් සේවය ලෙස ඇරඹුණු ටාටා ගුවන් සේවාව පසුව උදුරා ගනු ලැබ ණයබරින් ගිලී ගියේ ඉන් පසුකාලයකදීය.
දැන් මෙවර ගැලවුම්කාර ටාටා පුත්‍රයන්හට මෙය භාර වන්නේ කොන්දේසි රැසක් සමගිනි. මේ වනවිට සේවකයන් 12,085ක් සිටින සමාගමේ එයින් 8084ක්ම ස්ථිර සේවකයන්ය. ඉන් 4001ක්ම කොන්ත්‍රාත් පදනම යටතේය. ඉදිරි වසර 5 තුළදී මෙයින් 5000ක් පමණ විශ්‍රාම යෑමට නියමිතය. තමන් වෙත ආයතනය පවරා ගැනීමෙන් මාස 12 කට පසු සේවකයන්ට වන්දියක් ලබාගන සිය කැමැත්තෙන්ම ඉවත්ව යාමට ක්‍රමවේදයක් සකස්කර දීමට සමාගමට හැකිය. එහි බරපැන දැරිය යුත්තේ ටාටාවරුන්ය. මේ වසරේ දෙසැම්බර් 31 සිට ටාටාවරුන්ට හිමිවන ගුවන් සේවය සඳහා වූ ගිවිසුම වසර 3ක කාලයක් අඛණ්ඩව පවත්වාගන යා යුතුය. ඒ කාලය තුළ ආදායම් සියයට 51කට ඉහළ මට්ටමකින් වසර පුරා පවත්වා ගතයුතුව ඇත. මහා රාජා ලේබලය යටතේ අවම වසර 5ක්වත් පවත්වාගන යා යුතුය. එයින් පසුව වුවද සමාගම විදේශයකට විකුණා දැමිය නොහැකිය.
මෙවර ටාටාවරුන්ගේ ගලවා ගැනීම් මෙහෙයුමට ටාටාවරුන්ට අයිති සහ කොටස් හිමි සුප්‍රකට Vistara සහ AirAsia India සමාගම්ද අතහිත දීමට එක්ව සිටිති. මේ සමාගම් එකතුවෙන් ඉන්දීය මගීන් මෙන්ම මැදපෙරදිග පාරිභෝගිකයන්ද නැවත එක්කර ගනිමින් ඉපැරුණි සෞභාග්‍යය නැවත ළඟාකර ගැනීම ටාටාවරුන්ගේ සැලසුමයි.
මෝදිගේ ජාතිකවාදි ඉන්දියානු රජයේ නවතම හඳුන්වාදීමක් වූයේ තෝරාගත් රාජ්‍ය ආයතන පැවරීමේ ප්‍රතිපත්තියයි. ඒ අනුව ඉන්දීය ජාතික ගුවන් සේවය විකුණා දැමීමේ ආන්දෝලනාත්මක මෙහෙයුම පැවරුණේ ස්වදේශ කටයුතු ඇමැති අමීට් ෂා, වෙළඳ ඇමැතිනි නිර්මලා සීතාරාමන්, වාණිජ ඇමැති පියූෂ් ගොයාල් සහ ගුවන් සේවා ඇමැති ජ්‍යොතිර්යාදිත්‍ය ෂින්ඩියා යන සුවිශේෂි එයාර් ඉන්දියා විකල්ප යාන්ත්‍රණ කණ්ඩායමටය. මීට පෙරද ඉන්දීය ගුවන් සේවාව පැවරීමට උත්සාහයක් 2018දී ක්‍රියාත්මක වුවද එය සාර්ථක වූයේ නැත. නමුත් මෙවර ලංසුකරුවන් ලෙස සමාගම් 07ක් ඉදිරිපත්ව තිබුණි. එයින් මුල්තැනට ආවේ සමාගම් දෙකකි. ඒ පරම්පරාගත උරුමයක් හිමි ටාටා සමාගම සහ ව්‍යාපාරික අජේයි සිංගේ ස්පයිස් ජෙට් ආයතනයයි. මෝදි රජයේ හිතුවක්කාර සහ ජනතා ප්‍රකෝපකාරී තීන්දුවක් හැටියට පිටතට පෙනී ගියත් මේ පැවරීම ගැන රටේ මතුව ඇත්තේ අප්‍රසාදයක් නොව ප්‍රසාදයකි. මේ නිසාම ඉන්දියානු රජයේ නව ප්‍රතිපත්තිය සහ පෞද්ගලීකකරණ ව්‍යාපාරික මෙහෙයුම රටේ අනෙකුත් පාඩු ලබන දූෂිත රාජ්‍ය ව්‍යාපරයන්ට දැන් රතු එළියක් දල්වා තිබේ. %කරතොත් හරියට නැතිනම් එළියට^ හැටියටය. ශ්‍රී ලංකාවේ මෙන් ජනතා විරෝධයකින් තොරව ඉන්දියාවේ රජය සතු ජාතික ගුවන් සේවය පෞද්ගලිකකරණය වූ ආකාරය අපූරුය.
සුගත් පී. කුලතුංගආරච්චි