2021 නොබෙල් සාම ත්‍යාගය හිමිවී ඇත්තේ භාෂණයේ නිදහස සුරැකීම උදෙසා සුවිශාල මෙහෙවරක් කළ මාධ්‍යවේදීන් දෙදෙනකු වන පිලිපීනයේ මරියා රේසා සහ රුසියාවේ දිමිත්‍රි මුරතොෆ්ටය. රුසියාවේ සහ පිලිපීනයේ පාලකයන්ගේ උදහසට ලක්ව ඇති මෙම මාධ්‍යවේදීන් දෙදෙනා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා වූ නිර්භීත අරගලයක කලක සිට නිරතව සිටි දෙපළකි. ඔවුන්ගේම රජයන් විසින් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා දෙදෙනාටම තම වෘත්තීය ජීවිතය තුළ නීතිමය හා ශාරීරික තර්ජනයන්ට මුහුණ දීමට සිදුවිය.
නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති බෙරිට් රෙයිස්-ඇන්ඩර්සන් කියා සිටියේ නිදහස්, ස්වාධීන සහ සත්‍ය කරුණු පදනම් කරගත් පුවත්පත් කලාව බලය අයුතු ලෙස භාවිතා කිරීම, ව්‍යාජය සහ යුද ප්‍රචාරයන්ගෙන් ආරක්ෂා වීමට උපකාරී වන බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍ය නිදහස නොමැතිව ජාතීන් අතර සහෝදරත්වය, නිරායුධකරණය සහ අපේ කාලය තුළ යහපත් ලෝකයක් නිර්මාණය කිරීම කිරීම දුෂ්කර වනු ඇති බවත්ය.
59 හැවිරිදි දිමිත්‍රි මුරතොෆ් 1993දී &නොවාය ගැසියෙටා* නම් වූ ස්වාධීන රුසියානු පුවත්පතේ නිර්මාතෘවරයෙකි. සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගෙන් පසු නොබෙල් සාම ත්‍යාගය දිනාගත් පළමු රුසියානු ජාතිකයා ඔහුය. ගොර්බචෝෆ් 1990දී නොබෙල් ත්‍යාගය සඳහා ලද මුදලින් ෙනාවාය ගැසියෙටා පිහිටුවීමට මුරතොෆ්ට උපකාර කළේය. 1995 සිට මුරතොෆ් එම පුවත්පතේ කර්තෘත්වය දරන අතර ගතවූ කාලය තුළ එම පුවත්පත වෙනුවෙන් සත්‍ය ගවේෂණයේ යෙදුණු මාධ්‍යවේදීන් සය දෙනකු ඝාතනය වී තිබේ.
නොවාය ගැසියෙටා පුවත්පත රුසියාවේ වඩාත්ම ස්වාධීන පුවත්පත වේ. මූලික වශයෙන් බල අධිකාරිය කෙරෙහි විවේචනාත්මක ආකල්පයකින් කටයුතු කරන පුවත්පතකි. රුසියානු සමාජයේ වාරණයට ලක්වන බොහෝ තොරතුරු හෙළිදරව් කිරීමට එය කටයුතු කරයි. නොවායා ගැසියෙටා පුවත්පත 1993දී ආරම්භ වූ දා සිට, දූෂණය, පොලිස් හිංසනය, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, මැතිවරණ වංචා, රුසියාව තුළ සහ ඉන් පිටත රුසියානු හමුදාමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ලිපි ප්‍රකාශයට පත් කළේය. ව්ලැදිමීර් පුටින් පාලන සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා දූෂණ ගැන ගැඹුරින් හා අනතුරුදායක විමර්ශන සිදු කරමින් වසර ගණනාවක් තිස්සේ පුටින් පාලනය විවේචනාත්මකව වාර්තා කළ නොවාය ගැසියෙටා පුවත්පතට 2007දී මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ ජාත්‍යන්තර නිදහස් සම්මානය හිමිවිය.
මුරතොෆ් සහ ඔහුගේ නොවායා ගැසියෙටා යනු රුසියානු නිදහස් මාධ්‍යයේ බලකොටුවක් ලෙස සැලකේ. එම පුවත්පත ආරම්භයේ සිටම එහි මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල විය. 2006 වසරේ පුටින්ගේ උපන්දිනය දා ඇනා පොලිට්කොව්ස්කායා නමැති එම පුවත්පතේ මාධ්‍යවේදිනියක ඇගේ මොස්කව්හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලේ සෝපානයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.
මුරතොෆ් තමන්ට හිමිවූ නොබෙල් ත්‍යාගය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා දූෂණ හෙළිදරව් කිරීම හේතුවෙන් ඝාතනයට ලක් වූ තම පුවත්පතේ ඊගෝර් ඩොම්නිකොව්, යූරි ෂ්චෙකොචිකින්, ඇනා පොලිට්කොව්ස්කායා, ස්ටාස් මාර්කෙලොව්, ඇනස්ටේෂියා බාබුරෝවා, නටාෂා එස්ටෙමිරෝවා යන මාධ්‍යවේදීන් සයදෙනා වෙනුවෙන් පුද කළේය.
පසුගිය කාලය තුළ රුසියානු මාධ්‍යවේදීන්ට ඉතා දුෂ්කර වාතාවරණයකට මුහුණ දීමට සිදු වූ අතර බොහෝ දෙනෙකුට රාජ්‍ය නියෝජිතයන් ලෙස ලියාපදිංචි වීමට බලකෙරිණි. &බලධාරීන් විසින් මර්දනය කිරීමට උත්සාහ කරන රුසියානු පුවත්පත් කලාවේ අවශ්‍යතා වෙනුවෙන් අපි මෙම ත්‍යාගය භාවිත කරන්නෙමු. බලහත්කාරයෙන් රාජ්‍ය නියෝජිතයන් බවට පත් කරගත්, බලධාරීන් විසින් කසල ගොඩට ඇද දැමූ සහ රටින් පිටුවහල් කළ මිනිසුන්ට උපකාර කිරීම අපගේ අරමුණ* යැයි මුරතොෆ් කියා තිබේ.
පිලිපීන මාධ්‍යවේදීනියක වන 58 හැවිරිදි මාරියා ඇන්ජලීටා රේසා 2012 දී ආරම්භ කළ පිලිපීන අන්තර්ජාල පුවත් වෙබ් අඩවියක් වන රුප්ලර්හි සම නිර්මාතෘවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඇය පිලිපීනයේ පළමු නොබෙල් ත්යාගලාභිනියයි. දශක දෙකකට ආසන්න කාලයක් ගිනිකොනදිග ආසියාවේ සී.එන්.එන්. නාලිකාවේ ප්රමුඛ විමර්ශන වාර්තාකාරිණියක් ලෙස ඇය සේවය කර තිබේ. ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමට සහ දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කිරීමට සමාජ මාධ්‍ය භාවිත කර ඇති ආකාරය ලේඛනගත කිරීම උදෙසා රේසා පිළිගැනීමට ලක්විය. 2018දී ටයිම් සඟරාව ව්‍යාජ ප්රවෘත්ති වලට එරෙහිව සටන් කරන ලොවපුරා සිටින මාධ්‍යවේදීන්ගෙන් එක් අයෙක් ලෙස ඇය නම් කරනු ලැබීය. පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විවේචනය කෙරෙන ලිපි පළ කිරීම හේතුවෙන් ඇය අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගැනිණි. එක්තරා ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් ඇය ව්‍යාජ පුවතක් පළ කළ බව ප්‍රකාශ කරමින් පිලිපීන බලධාරීන් ඇයව 2019දී අත්අඩංගුවට ගන්නා ලද අතර ඇය සයිබර් අපරාධයක් කළ බවට පවසමින් අධිකරණයෙන් වරදකරු කෙරිණි. මෙය මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍යවේදීන් විසින් මාධ්‍ය නිදහසට එල්ල කළ ප්‍රහාරයක් ලෙස හෙළා දකිනු ලැබීය. ඇය පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ පාලන තන්ත්රයේ මතභේදයට තුඩුදුන්, මිනීමරු මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය පිළිබඳව දැඩිව විවේචනය කළ අයකු වන හෙයින් ඇය අත්අඩංගුවට ගැනීම සහ වරදකරු කිරීම විපක්ෂයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ දෙනකු දුටුවේ ඩුටර්ටේගේ රජය විසින් දේශපාලන වශයෙන් ඇයගෙන් පළිගැනීම සඳහා කරන ලද ක්‍රියාවක් ලෙසය.
හියුමන් රයිට්ස් වොච් පවසන පරිදි ඩුටර්ටේගේ මත්ද්‍රව්‍ය පිළිබඳ යුද්ධය ලේඛනගත කිරීමේදී ඇය ඉදිරියෙන්ම සිටි අතර පිලිපීන ජාතිකයන් 12,000 කට වැඩි සංඛ්‍යාවක් එම ක්‍රියාවලියේදී මියගිය අතර 2500ක් පමණ පොලිසිය විසින් මරා දමා තිබිණි.
ඇය ජනමාධ්‍ය ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්. 2018 දී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව රුප්ලර් වෙබ් අඩවියේ බලපත්‍රය අවලංගු කළේය. බොහෝ ජනමාධ්‍ය සංවිධාන සහ කමිටු මෙම ක්‍රියාව බිය ගැන්වීමක් සහ විපක්ෂය නිහඬ කිරීමට සහ මාධ්‍ය නිදහස පාලනය කිරීමට ගත් උත්සාහයක් ලෙස සැලකූහ.
2019දී නිව් යෝර්ක් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලෙබනන්-බ්‍රිතාන්‍ය මානව හිමිකම් නීතීඥ අමල් ක්ලූනි රේසා විස්තර කළේ “ඇය අඩි 5ක් 2ක් උස පිලිපීන මාධ්‍යවේදිනියක ලෙස ඔබට පෙනෙන නමුදු ඇය සතු ධෛර්යයෙන් අප සියල්ලන්ටම වඩා උසැති කාන්තාවකි. සත්‍යය උදෙසා ඇය ජිවිතයේ බොහෝ දේ කැපකර සිටින්නියකි යනුවෙනි.
මාධ්‍යවේදියකු පළමුවරට නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබුවේ 1907 දීය. ඒ ඉතාලි ජාතික මාධ්‍යවේදියකු වූ අර්නස්ටෝ තියඩොරෝ මොනෙටා විසිනි. සීමා මායිම් නොමැති වාර්තාකරුවන්ගේ සංවිධානය පවසන ආකාරයට මේ වනවිට රටවල් 73ක මාධ්‍ය නිදහස දැඩි ලෙස අවහිර කර හෝ බාධාකර ඇති අතර. තවත් රටවල් 59ක යම් යම් සීමා පනවා තිබේ.
නොබෙල් සාම ත්‍යාගය පිරිනමන 102 වැනි අවස්ථාව මෙයයි. මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් 329ක් ලැබී තිබිණි. ජයග්රාහකයාට ස්වීඩන ක්‍රෝන මිලියන 10ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14ක් හිමිවේ. එම මුදල රේසා සහ මුරතොෆ් අතර සමසේ බෙදී යනු ඇත.
මින් ඉහත සාම ත්‍යාග ජයග්‍රාහකයන් අතරට නෙල්සන් මැන්ඩෙලා, මාර්ටින් ලූතර් කිං, ලෙච් වවෙන්සා, සෝවියට් සංගමයේ අවසාන නායක මිහායිල් ගොර්බචෙව් සහ එක්සත් ජනපද ජනාධිපතිවරු සිව් දෙනෙක් ඇතුළත් වූහ. පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මෙම ත්‍යාගයට හිමිකම් කීවේය. නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙන්නේ නෝර්වේ ඔස්ලෝ නුවරදීය. සෙසු නොබෙල් ත්‍යාග ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදි පිරි නැමේ. මේ දක්වා, නොබෙල් සාම ත්‍යාගලාභී ලාබාලතමයා වන්නේ 2014 සාම ත්‍යාගය පිරිනමන විට 17 හැවිරිදි වියේ පසුවූ මලාලා යූසුෆ්සායිය. නොබෙල් සාම ත්‍යාගය දිනූ පුද්ගලයන් 107 දෙනාගෙන් කාන්තාවන් සිටින්නේ 17 දෙනකු පමණි. නොබෙල් සාම ත්‍යාගය ප්‍රතික්ෂේප කර ඇත්තේ එක් අයකු පමණි. ඒ වියට්නාමයේ ලෙ ඩක් තෝය. වියට්නාම සාම ගිවිසුම සම්බන්ධයෙන් ඔහුට හා 1973 ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ හෙන්රි කිසිංජර් හට සමව ත්‍යාගය බෙදී ගිය අවස්ථාවේ ලෙ ඩක් එය ප්‍රතික්ෂේප කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා