මෙරට වංචාවට, දූෂණයට, කප්පමට සහ අල්ලසට කප් ගසා ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. රුපියලේ සිට බිලියන ගණනින් සිදුවන වංචා දූෂණ නිතර හෙළිදරව් වුවද, අත්අඩංගුවට ගැනුණද, කිසිදු දිනෙක එකී වංචා දූෂණවල අඩුවක් නැත. එපමණක් නොව මේ රටේ බලයට එන ආණ්ඩු පවා දස අතේ දිව්රමින් දූෂණ වංචා නවත්වන බව කීවද කිසිදු ආණ්ඩුවක් දූෂණයට වංචාවට තිත තැබුවේ නැත. ඒ දේශපාලන බලපෑම් නිසාය. මේ හේතුවෙන් බොහොමයක් වංචා දූෂණවල පරීක්ෂණ පමණක් නොව නඩු විභාග පවා සිදුවන්නේ ඉතාම ඉබි ගමනිනි. දැන් අල්ලස දූෂණය නැති ආණ්ඩුව හරියට පරිප්පු නැති හෝටලය ගාණට වැටෙන තැනට පත්ව සිටියි.
ඉහත කී අටුවා ටීකා ටිප්පනි සහතික කරමින් මේ කියන්නට යන්නේ මහා පරිමාණයෙන් සිදුවූ සුදු ලූනු වංචාවේ සැඟවුණු කතාවය. මේ මහ දවාලේ සිදුවුණු හොරකමකි. අමු අමුවේ සිදුවූ මංකොල්ලයකි.
මෙරට වරාය අධිකාරියේ ආඥා පනතට අනුව දවස් 21ක් තුළ මුදා නොගත් හදිසි පාරිභෝජන භාණ්ඩ වරාය අධිකාරිය විසින් ගෙන්වූ සමාගම්වලට දැනුම් දී විකිණීමට හෝ වෙන්දේසි කිරීමට හැකියාව පවතී. ඒ අදාළ භාණ්ඩ නරක් වීමට හෝ හානිවීමට පෙරය. ඒ අනුව වරාය අධිකාරියේ කැමැත්ත මත ඕනෑම සමාගමකට එකී භාණ්ඩ විකිණීමේ හැකියාව ඇත. එහෙත් වර්තමාන රජය පසුගිය කාලයේ ඇතිවුණු භාණ්ඩ හිඟයත් සමඟ විශේෂ ගැසට්ටුවක් මාර්ගයෙන් 2021 ජූනි 21 වැනිදා එම නීතියට සංශෝධනයක් එක් කළේය. ඒ අනුව ඕනෑම සමාගමකට විකිණිය හැකි භාණ්ඩ එම ගැසට්ටුව හරහා ලංකා සතොසට අනිවාර්යයෙන් විකිණීමට එහිදී තීරණය විය.
මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට ආනයනය කරන ලද සුදු ලූනු කන්ටේනර් දෙකක් වරායේ සිරවී තිබිණි. කිලෝ 56000ක් වූ එම කන්ටේනර් දෙක මෙරටට ආනයනය කර තිබුණේ පෞද්ගලික සමාගමක් වන එන්රිච් ඉන්වෙස්මන්ට් නැමති ආයතනය විසිනි. එම ආයතනයට එම කන්ටේනර් දෙක මුදාගැනීමට නොහැකි වී තිබුණේ ඩොලර් හිඟය නිසා බව ඔවුහු දැනුම් දුන්හ. ඒ අනුව අදාළ දින ගණන ඉක්මවා ගිය බැවින් එම කන්ටේනර් ඒ වන විට ගාල්කර තිබූ අදාළ ජැටිය භාර සමාගම හෙවත් සී.අයි.සී.අයි. සමාගම විසින් එම කන්ටේනර් මෙරටට ආනයනය කළ ෂිපින් සමාගමට අදාළ කන්ටේනර් දෙක විකුණන බවට දැනුම් දුන්නේය. ඒ සැප්තැම්බර් 1 වැනිදාය. ඒ අනුව ඒ සඳහා අදාළ සමාගම විසින් ඊට අනුමැතිය ලබාදුන් අතර සැප්තැම්බර් 07 වැනිදා සතොස ආයතනයේ පිරිසක් පැමිණ එම සුදු ලූනුවල තත්ත්වය පරීක්ෂා කළහ. ඒ අනුව සතොස ආයතනයේ සහතිකය වූයේ එම සුදු ලූනු පරිභෝජනය සඳහා සුදුසු බවය.
ඒ අනුව සැප්තැම්බර් 9 වැනිදා අදාළ සුදු ලූනු කන්ටේනර් දෙක සතොස විසින් මිලදී ගනු ලැබීය. ඒ වන විට සුදු ලූනු කිලෝවක වෙළෙඳපොළ සිල්ලර මිල රුපියල් 445ක් ලෙසද තොග මිල 335ක් ලෙසද සටහන්ව තිබුණද එම කන්ටේනර් දෙකේ සුදු ලූනු කිලෝවක් සතොස විසින් මිලදී ගැනුණේ රුපියල් 105ක මිලකටය. එය සැබැවින්ම පාරිභෝගික ජනතාවට හිමිවූ සහනදායී මිලදී ගැනීමකි. පසුගිය ජූනි 21 වැනිදා සතොසට වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගැසට්ටුවක් මාර්ගයෙන් බලය පවරා තිබුණේද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇතිවය.
මෙම වංචාව සිදුවන්නේ එම කන්ටේනර් දෙක මිලදී ගෙන පසුව සිදු කරන ක්‍රියාදාමය හරහාය. එනම් ඒ වන විට සුදු ලූනු සතොසට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පැවතියද සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) විසින් සිදු කරන්නේ එම කන්ටේනර් දෙක වැලිසර තොග ගබඩාවට රුගෙන එන අතරතුර ඒ සඳහා පෞද්ගලික ආයතන හරහා මිල කැඳවීම් ලබාගැනීමය. ඒ එම කන්ටේනර් දෙක පෞද්ගලික ආයතනයක් සඳහා විකුණා දැමීමටය. ඒ අනුව එම කන්ටේනර් දෙක සඳහා ගැනුම්කරුවන් තුන් දෙනකු විසින් මිල ගණන් ඉදිරිපත් කළ අතර එය සුදු ලූනු කිලෝවක් සඳහා රුපියල් 125, 128 සහ 135 ලෙස වශයෙනි. වැඩිම ඉල්ලුම් කර තිබූ රුපියල් 135ක මිල සඳහා සතොස විසින් අනුමැතිය ලබාදුන්නේ ඒ.එන්.එස්. එන්ටර්ප්‍රයිසස් නැමැති සමාගම වෙතය. පුදුමය නම් මෙකී සමාගම් තුනම එකම සමාගමකට අයත් වීමය.
බැලූ බැල්මට ඕනෑම කෙනකුට සිතෙනුයේ සතොසට කිසිදු පාඩුවක් සිදුවී නැති බවයි. ඒ රුපියල් 105ට මිලදී ගත් සුදු ලූනු නැවත 135ට විකිණීම නිසාය. ඒ අනුව කිලෝවකින් රුපියල් 30ක ලාභයක් සතොසට හිමිවිය. එහෙත් මෙහි වංචාව වන්නේ ඒ වන විටත් වෙළෙඳපොළේ තොග වටිනාකම රුපියල් 335ක්ව තිබියදී ඒ මිල යම් ආකාරයකින් සංශෝධනය කර ජනතාවට අඩුවට සුදු ලූනු ලබාදීමට හැකියාව තිබියදී එම සුදු ලූනු විකුණා දැමීම හා වෙළෙඳපොළ තොග වටිනාකම රුපියල් 335 තිබියදී ඊට අඩුවෙන් 135ට විකිණීමය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙනුයේ නැවත එම සුදු ලූනු සතොස විසින් රුපියල් 335කට මිලදී ගැනීමට සූදානම් වන විටය. කෙසේ වෙතත් අදාළ වංචාව සඳහා අවශ්‍ය ලිපිගොනු සැකසීමේදී මේ සම්බන්ධයෙන් මුල්ම පැමිණිල්ල ලැබුණේ පසුගිය දිනෙක මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනටය. එහිදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් ඔහුට නිර්ණාමික දුරකථන ඇමතුමක් මාර්ගයෙන් දැනගන්නට ලැබුණු බවය. ඒ අනුව පාරිභෝගික අධිකාරියේ පිරිසක් ගොස් එම ස්ථානය වැටලූ බවද ඔහු සඳහන් කරයි. එසේම එම ස්ථානයේ පොත්පත්ද ඡායාරෑප ගත කළ බව ඒ මහතා පවසයි. එහෙත් රහස් පොලීසිය විසින් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූයේ තුෂාන් ඇතුළු කණ්ඩායමට කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බවය. එය තුෂාන් පවා රහස් පොලීසියේදී පිළිගෙන ඇතැයි දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මෙම සුදු ලූනු වංචාව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම බොහෝ දෙනාගේ ඇස් ඇරවීමට සමත් විය. එහිදී සතොස ආයතනයේ අභ්‍යන්තර ජ්‍යෙෂ්ඨ කළමනාකරු (විමර්ශන) විසින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් බස්නාහිර උතුර අපරාධ විශේෂ විමර්ශන ඒකකයට යොමු කර තිබිණි. ඒ අනුව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී හෙළිවූයේ මෙය ඉතාම සූක්ෂමව සිදු කළ වංචාවක් බවය. වහාම අදාළ වංචාව මෙහෙයවූ බව කියන ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මූල්‍ය) සුසිරි පෙරේරා සහ මෙම ගනුදෙනුව සිදු කිරීමට මැදිහත් වූ තැරුව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේ අත්අඩංගුවට ගත් තැරුව්කරුවන් ළඟ තිබී ලක්ෂ 21ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබූ අතර ඉන් ලක්ෂ 10ක් පහ බැගින් එම තැරුව්කරුවන් දෙදෙනා අතර බෙදී තිබිණි. ඉතිරි ලක්ෂ 11ක ප්‍රමාණය ඔවුන් තවත් අයකුට ලබාදීමට සැලසුම් කර තිබූ බවද දැනගන්නට ලැබිණි.
මේ සියල්ල සිදුවෙමින් පවතින අතරතුර මෙම සිදුවීම්වලට දේශපාලන බලපෑමක් ඇති බව හඟවමින් මාධ්‍ය විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ඒ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනගේ ප්‍රකාශ සඳහන් කරමිනි. මේ අතරතුර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉතාම දැඩි ලෙස ප්‍රකාශ ගණනාවක් සිදු කළේ තමන්ට එරෙහිව සිදු කරන මඩ ප්‍රචාර ගැන දැඩි කලකිරීමෙනි. ඔහු අවසානයේදී තමන්ගේ චරිතය දේශපාලන මෙහෙයුමක් මත විනාශ කරන්නට යන බවට මාධ්‍යයට චෝදනා එල්ල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කළේය. කෙසේ වෙතත් රටේ සාපරාධී අපහාස නීතිය ක්‍රියාත්මක නොවීම නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ අවසරයක් රහස් පොලීසියට නොමැත. එහෙත් රහස් පොලීසියේ නිලධාරීන් ඒ බව දැන දැනම මාධ්‍ය ආයතනවලින් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ඉල්ලමින් ලිපි නිකුත් කර තිබිණි. ඒ අතර උඩින්ම පැවතියේ අප සමාගමේ සහෝදර පුවත්පතක් වන ලංකාදීප පුවත්පතය. මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව අවි අමෝරන්නට පටන් ගත්තේ මේ සියල්ල කනපිට හරවමිනි. ඒ නිසා සුදු ලූනු වංචාව වෙනත් දිසාවකට යොමු විය.
මේ අතර මහත් ආන්දෝලනය හමුවේ සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් පොලීසිය සිදු කළ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් රහස් පොලීසියට පවරනු ලැබීය. ඒ වැඩිදුර විමර්ශන සඳහාය. එහිදී හෙළිවුණේ මෙම වංචාව සුසිරි පෙරේරා සහ සතොස ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මෙහෙයුම්) සමඟ එක්ව සිදු කළ දෙයක් බවය. එනම් ඔහු විසින් සුසිරිගේ අනුදැනුම මත මෙම විකිණීම් සම්බන්ධයෙන් සතොස සභාපතිවරයා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවකින් ගත යුතු තීරණ මොවුන් දෙදෙනා විසින් ගෙන වංචාව සිදුකර ඇති බවය. එපමණක් නොව මෙම ගනුදෙනු දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු වුවද සුසිරි විසින් කළ බලපෑමක් මත එම ගනුදෙනු සඳහා බිල්පත් ලේඛනගත ක්‍රමයෙන් ලබාගෙන ඊට පසුදින පද්ධතිය වෙනස් කර තොරතුරු ඇතුළත් කර ඇති බවය. කෙසේ වෙතත් මෙහිදී හොඳම සිද්ධිය වන්නේ ඒ වන විට අදාළ කන්ටේනර් දෙක මෙරටට ගෙන ආ සමාගමේ හිමිකරු විසින් තමන්ට දැනුම් දීමකින් තොරව සුදු ලූනු කන්ටේනර් විකුණා ඇති බවටද පැමිණිලි කිරීමය. ඒ අනුව රහස් පොලීසියට පැමිණිලි තුනක් විභාග කිරීමට පැවරිණි.
මේ සියල්ල සිදුවන අතරවාරයේ මහා හෙළිදරව් රුසක් සිදු කළ තුෂාන් ගුණවර්ධන රහස් පොලීසියට කැඳවා ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම් සිදු කරනු ලැබීය. එහෙත් පෞද්ගලික කාරණා හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය නොහැකි බව ඔහු රහස් පොලීසියට සඳහන් කර ඇති බව දැනගන්නට ඇත. එහෙත් එසේ සිදු කළේ ඇයිද යන්න පිළිබඳ තවමත් තොරතුරක් නැත. මේ සියල්ල අතරවාරයේ ඔහු තවත් පැමිණිල්ලක් සිදු කළේ තමන්ගේ නිවෙස අසල සුදු වෑන් රථයක් කැරකෙන බව පවසමිනි. තමන්ගේ ජීවිතය අවදානම් සහගත බව දන්වමිනි. ඒ අනුව තුෂාන්ගේ කතාව වෙනත් පැත්තකට දැන් ඇදෙමින් පවතී.
අවසානයේ මෙම සුදු ලූනු වංචාවේ අනෙක් සැක පිරිසද පසුගියදා රහස් පොලීසිය විසින් කොටුකර ගැනුණි. ඒ අතර සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සැපයුම්), ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සැපයුම්), කළමනාකරු (සැපයුම්) සහ අලෙවිසල් කළමනාකරු යන සිව් දෙනා වෙති. පසුව ඔවුහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලැබූහ.
මෙම සිදුවීම ආරම්භයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවා වංචාවක් සිදු නොවූ බවට පිළිගත්තද අවසානයේ මේ සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනුව වංචාවක් සිදු වී ඇති බව පිළිගත්තේය. එසේම ඇමැතිවරයා එහිදී අපූරු කතාවක් කීවේය. එනම් මේ සතොස පළමු සහ අන්තිම වංචාව නොවන බවය. එය සහතික ඇත්තය. එනම් මෙය පළමු සහ අවසානය නොවනු ඇත. එහෙත් එය නතර කිරීමට හැකියාවක් ඇත. තුෂාන් ගුණවර්ධන වැනි නිලධාරීන් ඉවත්වන විට එය එසේ සිදුවෙයිද යන්න ප්‍රශ්නයක් සැමදා ඇතිවනු ඇත.
ගයාන් ගාල්ලගේ