රටවල් 91ක බලයේ සිටි සහ සිටින රාජ්‍ය නායකයන් 35 දෙනකුගේ, දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් 330 කට අධික පිරිසකගේ සහ ලෝකයේ ඉතා ධනවත් හා බලවත් පුද්ගලයන් රැසකගේ සැඟවුණු වත්කම් සහ රහස් ගනුදෙනු පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වීමත් සමඟ ලොව බොහෝ බලවත්තු තැතිගැන්වී සිටිති. එම ලේඛනය මගින් ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය ඇමැතිනියක වූ නිරෑපමා රාජපක්ෂගේ සහ ඇයගේ සැමියා වන තිරු කුමාර් නඩේසන්ගේ අක්වෙරළ වත්කම්ද හෙළිදරව් විය. ඒ සම්බන්ධයෙන් බොහෝ කතාබහ ඇතිවූ අතර පාර්ලිමේන්තුව තුළද සාකච්ඡාවට බඳුන් විය.
නිරෑපමා රාජපක්ෂ සහ තිරු කුමාර් නඩේසන් ඇමෙරිකාව, සැමෝවා, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හා නවසීලන්තයේ ෂෙල් සමාගම් 8ක් පිහිටුවා විවිධ ව්‍යාපාර සිදුකර ඇති බවත් ලන්ඩනයේ සහ සිඩ්නි නුවර සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට. ද කටයුතු කර තිබූ බවත් සඳහන්වේ. මෙම දේපල මෙම යුවලට අයත් බව මින් පෙර හෙළිදරව් වී නොතිබුණි. චැනල් දූපතේ පිහිටවූ අක්වෙරළ සමාගමක් හරහා එම දේපල මිලට ගැනීම මඟින් එහි රහස්‍යභාවය තහවුරු කර ගැනීමට පැන්ඩෝරා කණ්ඩායම සමත්ව තිබිණි.
නිරෑපමා රාජපක්ෂ 1994 සිට 2000 දක්වාද, 2005 සිට 2015 දක්වාද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරියක සහ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කර තිබේ. එම කාලය තුළ ඇය සහ ඇයගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් අයථා ලෙස වත්කම් රුස්කර ඇතැයි පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබේ. එහෙත් ඇය තමන් හා තම පවුල සතු වත්කම් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු විසින් ලබාදෙන වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශයන්හි ඇතුළත් කර නොමැති බවට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි ලැබී තිබේ.
විදේශයන්හි පිහිටි අක්වෙරළ සමාගම්වල දේපළ අයිතිය ලබා ගැනීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් නොවන නමුත්, ශ්‍රී ලාංකිකයන් තමන්ගේ සියලුම වත්කම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළි කළ යුතුය. එසේ නොකරන්නේ නම් එය වරදකි. වසර 2006 දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතක් සම්මත කළ අතර, 2021 බදු ගෙවීම පැහැර හරින ලද වත්කම් සහ හෙළිනොකළ ආදායම් හෙළි කිරීමට අවශ්‍ය පනතක් පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලදී. බදු ගෙවීම පැහැර හරින ලද වත්කම් නීත්‍යානුකූල කිරීම සදහා රජය ලබාදී ඇති සහනය පසුගිය මාසයේ සිට ක්‍රියාත්මක විය. ඒ අනුව මෙයට කලින් හෙළිනොකළ වත්කම් වල වටිනාකමින් 1ක් පමණක් ගෙවා එම වත්කම් නීත්‍යානුකූල කරගත හැකිය.
තිරු නඩේසන් තමා සතු ෂෙල් සමාගම් භාවිත කරමින් ශ්‍රී ලංකා රජය සමඟ ව්‍යාපාර කරන විදේශ සමාගම්වලට උපදේශන සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ කලා කෘති මිලදී ගැනීමට කටයුතු කළ බැව් පැන්ඩෝරා පේපර්ස්හි සඳහන්ය. 2018 පැසිෆික් කොමොඩිටීස් නමැති තවත් සමාගමක් මගින් සිතුවම් සහ දකුණු ආසියානු කලාකෘති 31ක් ජිනීවා ෆ්‍රී පෝර්ට් නමැති අාදායම් බදු හෝ වෙනත් බදුවලට යටත් නොවන අතිශය ආරක්‍ෂිත ගබඩාවක් වෙත යවා තිබේ.
පැසිෆික් ට්‍රස්ට් නම් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් වටිනා චිත්‍ර එකතුවක් පැවති බවද එම කලා කෘති, සමෝවාහි ලියාපදිංචි ෂෙල් සමාගමක් වන පැසිෆික් කොමොඩිටීස් ලිමිටඩ් නමැති සමාගමක් සතු බව සඳහන් වූ නමුදු ඒෂියාසිටි ට්‍රස්ට් වෙතින් කාන්දු වූ ලිපි ලේඛනවලට අනුව එය ශ්‍රී ලාංකිකයකු වන තිරු කුමාර් නඩේසන් විසින් රහසිගතව පාලනය කරන සමාගමක් බවද, එම කලා කෘති 31 සැබෑ හිමිකරු තිරු නඩේසන් බවද වාර්තාවෙන් අනාවරණ විය
සිංගප්පූරුව පදනම් කරගත් අක්වෙරළ සේවා සපයන්නකු හා නඩේසන්ගේ දිගු කාලීන උපදේශකයකු වන ඒෂියාසිටි භාරය වෙත ලද රහස්‍ය විද්‍යුත් තැපෑල මගින්, අනාවරණ වී ඇත්තේ 2011 වන විට ඔහුගේ සමස්ත ධනය ඩොලර් මිලියන 160 කට වඩා අධික බවයි.
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය නිරෑපමා රාජපක්ෂගෙන් මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසා ඇත්තේ 2021 සැප්තැම්බර් 3දාය. එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ මෙතරම් වත්කම් උපයා ගත්තේ කෙසේද, වර්තමාන පාලක පක්ෂය සමඟ ඔබට ඇති සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි පිළිතුරක් දෙන ලෙසටය. ඔවුන් එයට පිළිතුරු දීමෙන් වැළකී සිටි බවද පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් සිදු කළ වොෂින්ටනයේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කර තිබිණි.
තම රටේ දේශපාලකයන්ගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවේ අන්තර්ගත බව දැනගත් පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් වහාම ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කොට එම පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දුන්නේය.
නිරෑපමා රාජපක්ෂ හා තිරු නඩේසන් සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇතිවන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇති කරුණු පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.
තමන් නිර්දෝෂී බව පවසමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ තිරු කුමාර් නඩේසන් පැන්ඩෝරා පත්‍රිකාවල තමාගේ සහ තම බිරිඳගේ නම සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ස්වාධීන විමර්ශකයකු පත්කරන ලෙස ඉල්ලා .සිටියේය.. ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම වඩාත් සුදුසු බව ඔහු කියා තිබිණි.
පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව පාර්ලිමේන්තුවද උණුසුම් කළේය. ඇතැම් මන්ත්‍රිවරුන් පැවසුවේ පැන්ඩෝරා මාධ්‍යවේදීන් දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ වූවන් බවටය. තවත් පිරිසක් ප්‍රකාශ කළේ මෙම හෙළිදරව්වෙන් මතුවූ ගනුදෙනු 1990- 98 වැනි කාලයේ සිදුවූ ඒවා බවටය.
පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති තිරු කුමාර් නඩේසන් මහතා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඔක්තෝබර් 7දා පාර්ලිමේන්තුවේදී සිදුකළේය. එහිදී මරික්කාර් මහතා පෙන්වා දුන්නේ රාජපක්ෂ ආණ්ඩු සමයේ චීන සමාගම්වලින් බිලියන ගණන් මුදල් මෙම ගිණුම්වලට ගොස් ඇති බවකි. මෙම ගනුදෙනු 1994ට පෙර සිදුවූ ඒවා විනා රාජපක්ෂ පාලන සමයේ සිදු ඒවා නොවන බවට ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරමින් මෙම හෙළිදරව්ව යට ගැසීමේ කූඨ උත්සාහයක් දරන බව පෙනෙන්ට තිබෙනවා. මම වගකීමෙන් කියනවා තිරු කුමාර් නඩේසන් මහතා 1995 වන තෙක් ප්‍රබල පෞද්ගලික සමාගමක සේවකයෙක් පමණයි. ඒ කාලේ ඔහු එවැනි ව්‍යාපාර කළේ නැහැ. ඔහුගේ බිරිය ඇමැතිවරියක වුණේ 1994දී. හොංකොංහි එච්.එස්බීසි බැංකුවේ තිබූ රෙඩ්රෑට් කියන සමාගමේ මුදල්වලින් තිරුකුමාර් නඩේසන් මහතාගේ බැංකු ගිණුමකට 2010 -12-14 දා සිට 2014-11-28 දක්වා ඇමෙරිකානු ඩොලර් 24,13880ක් ලැබී තිබෙනවා. එමෙන්ම ඔහුගේ වෙනත් බැංකු ගිණුමකට 2014-01-22 දින සිට 2015-11-13 දක්වා ඇමෙරිකානු ඩොලර් 13,29543ක් ලැබී තිබෙනවා. ඔහුගේ ගිණුම්වලට මුදල් ආවේ කොහෙන්ද කියලා සොයා බලද්දි එම මුදල් චයිනා සිමෙන්ට් ඉංජිනියරිං කම්පැනි ලිමිටඩ් සහ චයිනා නැෂනල් මැෂිනරි කියන සමාගම් දෙකෙන් බව හෙළිදරව් වුණා. මේ මුදල් ආවේ රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ. තම බිරිඳ එම ආණ්ඩුවේ ඇමැතිවරියක ලෙස කටයුතු කළ කාලයේ. පසුගිය දිනවල කළුසල්ලි සුදු කිරීමේ පනතක් සම්මත කළා. ඒ අනුව මේ හම්බ කරපු කළු සල්ලි ටික මේ වන විට සුදු වෙලා ඇතැයි අපිට සැක කරන්න පුළුවන්. තිරු කුමාර් නඩේසන් මහතා අර්ථලාභී හිමිකරුවෙක් වුණු රෙඩ්රෑට් කියන සමාගමට චීන සමාගම්වලින් මුදල් දුන්නේ ඇයිද කියලා තව දුරටත් සොයාබලන විට 2015 ජනාධිපතිවරණයට දින කිහිපයකට කලින් අර ප්‍රශ්නගත නිල්වලා ගිංගඟ ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 4.1ක් ඉහත කී චීන සමාගම්වලට ගෙවා තිබෙන බව අනාවරණ වුණා. 2014 -12- 24 දින මිලියන 1000කුත් 2015-01-01 දින මිලියන 2009කුත් 2015-01-06 දින මැතිවරණයට දින දෙකකට පෙර තවත් මිලියන 1000ක් ගෙවා තිබෙනවා. මේවා කළේ රාජපක්ෂ රජය පැවැති කාලයේ . ඒ නිසා බොරුවට කොමිෂන් දාල ජනතාව රවට්ටන්න එපා. ඉදිරියට තව තොරතුරු හෙළිදරව් කරනවා. යනුවෙන් ඔහු සඳහන් කළේය.
පසුගිය ඔක්තොබර් 6 වැනිදා ජාතික ජනබලවේගය මාධ්‍ය හමුවක් කැඳවමින් පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා කියා සිටියේ පැන්ඩෝරා පත්‍රිකා තුළින් චෝදනාවට ලක්වූ නිරෑපමා රාජපක්ෂගෙන් පැන්ඩෝරා මාධ්‍යවේදීන් ප්‍රශ්න 21ක් අසා තිබූ බවය. ඇය ඇමැතිවරියක ලෙස තම වත්කම් පාර්ලිමේන්තුවට හෙළිකර තිබුණාද? එමෙන්ම ඇමැතිවරියකව සිටිමින් ඇය අධ්‍යක්ෂ ධුරය දරන සමාගම් මගින් රජයේ කොන්ත්‍රාත් ලබා ගෙන ඇති අතර. ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබේද? යන්න ඔවුන් විමසා තිබේ.
ඇය අවභාවිත කර ඇත්තේ රාජ්‍ය දේපලයි. ඩොලර් මිලියන 160ක් හෙවත් රුපියල් කෝටි 3500ක ප්‍රකාශ කළ නොහැකි වත්කම් උපයා ගත්තේ කෙසේද? එම රාජ්‍ය දේපල වංචාව ගැන පරීක්ෂණයක් පැවැත්වෙනවාද? පැන්ඩෝරා තොරතුරුවලින් අනාවරණය වූ පුද්ගලයන්ගෙන් එම මාධවේදීන් ප්‍රශ්න කළ නිසා ඔවුන් මෙම හෙළිදරව්වට කලින් තම වංචා හෙළිදරව්වී ඇති බව දැන සිටියා. ඒ නිසා වෙන්න පුළුවන් පසුගිය දිනවල හදිසියේම කළු සල්ලි පනත සම්මත කර ගත්තේ. පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් වූ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි වේවිද කියන සැකය අපිට තිබෙනවා. නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරු නඩේසන්ගේ ඩොලර් මිලියන 12ක වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කලකට ඉහත පරීක්ෂණයක් කළා. ඒ සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්දැයි පැන්ඩෝරා මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබෙනවා.. 2015 පසු රාජ්‍ය මුදල් පිළිබඳ දූෂණවලට සම්බන්ධව ගොනු කළ කිසිම නඩුවකින් චූදිත පුද්ගලයන් නිදොස් කොට නිදහස් කළේ නැහැ. බොහෝ නඩු නීතිපතිවරයා ඉල්ලා අස්කර ගත්තා. එවැනි වාතාවරණයක් යටතේ මේ රාජ්‍ය මුදල් වංචා සම්බන්ධයෙන් සාධාරණයක් සිදුවනු ඇතැයි අපේ විශ්වාසයක් නැහැ. ඒ නිසා අල්ලස් කොමිෂන් මගින් ලොකු දූෂිතයන්ට එරෙහිව පියවර ගනු ඇතැයි යන්න කිසිදා සිදු නොවන්නක්. යැයි ඔහු ප්‍රකාශ කළේය.
තිරු කුමාර් නඩේසන් පසුගිය සතියේ අල්ලස් කොමිසමට කැඳවා තිබිණි. එහිදි ඔහු ප්‍රකාශ ලබාදීම සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව පසුගිය සිකුරාදා පැමිණෙන ලෙස කොමිසම ඔහුට දන්වා තිබේ.. ඔහුගේ ප්‍රකාශයේ තොරතුරුද පදනම් කරගනිමින් නිරූපමා රාජපක්ෂගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් හෝ දූෂණ කොමිසම තීරණය කර ඇත.. වත්කම් හෙළි නොකිරීම, බදු ගෙවීම පැහැර හැරීම, මුදල් විශුද්ධිකරණය යන චෝදනා සම්බන්ධයෙන් නිරූපමා රාජපක්ෂගෙන් හා තිරු කුමාර් නඩේසන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත වන අතර ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් 5ක් ඒ සඳහා පත් කර ඇති බවද වාර්තා විය. නිරෑපමා රාජපක්ෂ මේ වනවිට විදේශ ගතව සිටින බව පැවසේ. එහෙයින් ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ ඇයට සිතාසි ලබා දීමට පියවර ගන්නා බවද අල්ලස් හෝ දූෂණ කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා