2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ලංකාවේ කොවිඩ් සංහිඳියා මට්ටමක!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 18

ලංකාවේ මෙන්ම ලෝකයේද කොවිඩ් පිළිබඳ කතාබහ දැන් කිසියම් සංහිඳියා මට්ටමකට පත්ව තිබේ. ලෝකය පුරා පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංඛ්‍යාව බිලියන 3 (2.8) ට ආසන්නව ඇත. ලංකාවේද මේ වනවිට මිලියන 12.6ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබේ. මිලියන 27.3ක් එන්නත් මෙරට ප්‍රයෝජනය සඳහා ගෙන්වා තිබේ. මේ වනවිට ලෝකයේ රටවල් 40කට ආසන්න සංඛ්‍යාවත් තෙවැනි එන්නත ලබාදීම අරඹා හමාරය. ලංකාවද දැන් තුන්වැනි මාත්‍රාව සඳහා මුල්පියවර ගනිමින් සිටියි.

මේ වනවිට කොවිඩ් 19 පිළිබඳ මූලික භීතිකාව බොහෝ දුරට රටරාජ්ජවලින් ඉවත්ව ගොසිනි. ලෝක එන්නත්කරණ වැඩපිළිවෙළ අඩුතරමේ සල්ලිකාර රටවලට හෝ මූලික ආරක්ෂාව ලබාදිය හැකි මට්ටමට ව්‍යාප්ත වී හමාරය. නමුත් අඩු ආදායම් සහිත රටවල එන්නත්කරණ අවස්ථා තවමත් අවශ්‍ය මූලික මට්ටම සපුරා නැත. මේ ගැන පසුගියදා පැවැති ජී 20 වෙළඳ ඇමැතිවරුන්ගේ සමුළුවේදීද කතාබහට ලක්ව තිබුණි. ඒ අනුව අප වැනි රටවල් සඳහා තවදුරටත් සහන සහ ප්‍රමුඛතා ලබාදීමට එකඟතාවක් ඇතිවීම සහනදායී ආරංචියකි.

මේ වනවිට රටේ කොවිඩ් රෝගීන් වාර්තා වීම සහ මරණ වාර්තා වීම අවම වෙමින් පවති. නමුත් හදිසියේ මේ තත්ත්වය වැඩිවීමක්ද දක්නට ලැබුණි. රට අඩ වශයෙන් විවෘත වීමත් සමඟ සමාජයේ සංචරණයන් ඉහළ යාමත් සෞඛ්‍ය ආරක්ෂණ විධි පිළිබඳ මූලික උනන්දුව හීනව යාමත් හේතුවෙන් මෙබඳු තත්ත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍ය මතයයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් දේශයට කීවේ සමස්තයක් ලෙස ලංකාවේ කොවිඩ් තත්ත්වය කිසියම් පාලනයකට ලක්වූ මට්ටමකට ළඟාවී ඇති බවත් පසුගිය දිනවල වාර්තාවූ කොවිඩ් රෝගීන් සහ මරණ අඩු-වැඩි වීම නැවතත් රට වසා දැමීමේ තත්ත්වයක් කරා යාමට හේතුවක් කර නොගත යුතු බවත්ය. ඒ තත්ත්වය වඩාත් අරපරෙස්සම් වීමට සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ සැහැල්ලුවට නොගෙන දැඩිව පිලිපැදීමට අවධාරණය කරන තත්ත්වයක් ලෙස සලකා ක්‍රියාත්මක වීම වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර ලංකාව තුළද තුන්වැනි එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹීමට සියලුම පියවර ගෙන තිබේ. මේ රට පුද්ගලයන් සඳහා තුන්වැනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් ලබාදීම නොවැම්බර් මස මුලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අංශ කියයි.  එහිදී පළමුව අවුරුදු 60ට ඉහළ වැඩිහිටියන්, හෘද රෝග, වකුගඩු රෝග ඇතුළු නිධන්ගත රෝග ඇති පුද්ගලයන්ට බූස්ටර් එන්නත් ලබාදීමට නියමිතය. කුමන එන්නතක් ලබා ගත්තද, දෙවැනි එන්නත ලබාදුන් දිනට මාස 06 කට පසු බූස්ටර් එන්නත ලෙස “ෆයිසර්” එන්නත ලබාදෙනු ඇත. 2022 මාර්තු මාසයට පෙර, අවුරුදු 20ට වැඩි සියලුමදෙනාට එම බූස්ටර් එන්නත ලබා දී අවසන් කිරීමට සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වෙයි.
මෙවර උසස් පෙළ විභාගයට පළමුවර සහ දෙවැනිවර පෙනී සිටින අපේක්ෂකයන්  වන   කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහනද ආරම්භ විය. සරසවි සිසුන් සඳහා වූ කොවිඩ් එන්නත් කරන වැඩසටහනද සාර්ථකව නිමාවී හමාරය.

දැන් ලෝකයේම අවධානය යොමුව ඇත්තේ අමෙරිකානු නිෂ්පාදනයක් වන කොවිඩ් මර්දන කරල පිළිබඳවය. ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් වඳ කිරීමට සමත් මෙම කරල ආනයනය කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ. ලංකාවේ රජයේ අවධානයද මෙයට යොමුව හමාරය.

කොවිඩ් මර්දනය සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන මොල්නුපිරවියා (molnupiravir) නමැති ඖෂධීය කරල මෙරට භාවිතයට යොදාගැනීම සම්බන්ධයෙන් සලකා බැලෙමින් තිබෙන බවත් ඊට අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන කියා තිබුණි.      

මේ සම්බන්ධව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් දේශය හා කීවේ ලෝකයේ ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් ඖෂධය ලංකාවට ගෙන් වීමට පෙර අදාළ අංශවලින් මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවය. කොවිඩ් ඖෂධයක් ලෙස නොව පොදුවේ භාවිතයට පැමිණි නව ඖෂධයක් ලෙස  සලකා බැලුවත් එය ලංකාවට ගෙන්වීමට පෙර ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පළමුව ලැබිය යුතු බව ඔහු පෙන්වා දෙයි. එසේම කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා එය කෙතරම් ඵලදායීව ක්‍රියාත්මක වනවාද සහ එය ලංකාවේ භාවිතයට සුදුසුද යන්න ගැනද තවදුරටත් පුළුල්ව දත්ත විමර්ශනය කර බැලිය යුතු බව ඔහු කියයි.

කොවිඩ් කරල ගෙන්වූවද එන්නත්කරණය සම්බන්ධව ඇති ප්‍රමුඛතාව අත්හැරිය නොහැකි බව ජාත්‍යන්තර මට්ටමේ උපදේශකවරු පෙන්වා දෙති. කොවිඩ් කරල සහ  එන්නත්කරණය සම්බන්ධව උනන්දුවනවා මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනයට මුල්තැන දීමට අමතක නොකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු දැඩිව අවධාරණය කරති. නැවත වතාවක් කොවිඩ් රැල්ලක් පැතිර යාම පාලනය කර ගැනීමට නම් මුල් තැන දිය යුතුව ඇත්තේ මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය පුරුදු නොකඩවා පවත්වාගන යාමෙන් පමණක් බව ඔවුහු පෙන්වා දෙති.

 සුගත් පී. කුලතුංගආරච්චි