2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

මිල වැඩි කිරීමෙන් පතුරු ගැලවෙන පොඩි මිනිසා‌ගේ ආර්ථිකය

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 39

රජය ඇතැම් භාණ්ඩවලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමගම පසුගිය දිනවල සහල්, ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති ආදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ ගියේ බලාපොරොත්තු නොවූ මිල ගණන්වලිනි. මෙය පාරිභෝගිකයාට දැරිය නොහැකි තරම් බරපතළ වූ අතර රටේ ආර්ථික තත්ත්වය අයහපත් කිරීමටද හේතුසාධක විය. කි.ග්‍රැම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රැපියල් 1257කින් මිල ඉහළ ගිය අතර එය මෙරට ඉතිහාසයේ ගෑස් සිලින්ඩරයක මිල විශාල ලෙස වැඩිවූ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්විය. එසේම කිරිපිටි කිලෝව රුපියල් 250කින් සහ සිමෙන්ති කිලෝ 50 බැගය රැපියල් 100කින් ඉහළ යාමද ආර්ථිකයට ඉතාම ප්‍රබලව බලපෑ බවක් පෙනෙන්නට තිබිණ. පාන් පිටි කිලෝව රුපියල් 10කින් වැඩි කිරීම බැලූ බැල්මට සුළු ලෙස පෙනෙන නමුත් ඒ හේතුවෙන් සියලුම ආහාර ද්‍රව්‍යවල මිල අසීමිත ලෙස ඉහළ යාමට අවස්ථාව සැලසිණි. එසේම සහල් මෝල්කරැවන් සහල් වර්ගවල මිල සෑහෙන පරතරයකින් ඉහළ නැංවූයේ සෙසු භාණ්ඩවල මිල ඉහළ යාමට පෙරාතුවය. එලෙස මිල වැඩි කිරීමට එරෙහිව පියවර ගැනීමට රජය අපොහොසත් වූ අතර විකල්පයක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගැනීමෙන් මිලට බලපෑමක් ඇතිකළ නොහැකි වූයේ රටේ සහල් පාරිභෝජන ප්‍රමාණය අනුව මෙම ටොන් ලක්ෂය මසකටත් අඩු කාලයකට සෑහෙන බැවිනි.

සිදුවූ මිල වැඩි කිරීම් ගැන සලකා බැලීමේදී පෙනී යන කරුණක් වන්නේ රජය හා සැපයුම්කරුවන් සාකච්ඡා කර තීරණය කළ මිලට වඩා වැඩි මිලක් නියම කිරීමය. මෙහිදී වෙළෙඳුන් රජය යෝජනා කළ මිල නොසලකා හැර තනි මතයට කටයුතු කර ඇති බව පෙනී යයි. ගෑස් සිලින්ඩරය රුපියල් 550කින්ද, කිරිපිටි කිලෝව රුපියල් 200කින්ද සිමෙන්ති කිලෝ 50 කොට්ටය රුපියල් 50කින්ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය යෝජනා කර තිබුණද ව්‍යාපාරිකයන් එය නොතකා තමන්ට අවශ්‍ය පරිදි මිල වැඩිකර ඇති බව පෙනී යයි.

මේ නිසා පවතින භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම පාලනය කිරීමට රජය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ යුතු වන්නේ එයින් දේශපාලන කුණාටුවක් ඇතිවීමේ අවදානම පහකළ යුතු නිසාය.
ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසන්නේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සහ පසුගිය ආසන්නතම කාලයේ ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය විශාල ලෙස අවප්‍රමාණය වීම මෙලෙස ගෑස් මිල ඉහළ දැමීමට හේතුවූ බවයි. පසුගිය වසර එකහමාර තුළ ලෝක වෙළෙඳ පොළේ එල්.පී. ගැස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර 2020 වසරේ ජනවාරි මාසය වනවිට ඩොලර් 350ක පැවැති ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අද වනවිට ඩොලර් 850 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු කියයි.

පසුගිය මාසයේ පමණක් ලාෆ් සමාගමට රුපියල් බිලියන එකහමාරක පමණ අලාභයක් විඳින්න වුණා. රුපියල අවප්‍රමාණ වීම, කොවිඩ් අර්බුදය නිසා ප්‍රවාහන වියදම් ඉහළ යාමද මිල ඉහළයාමට බලපෑවා. ඉදිරියේදී ශීත ඍතුව ආරම්භ වූ විට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 1000ටත් වඩා මිල ඉහළ යනවා ඇති.

පිරිවැය වැඩිවීමට සාපේක්ෂව සිල්ලර මිල ඉහළ නැංවීමට අපට යම් බාධා මතුවුණා. පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ගෘහස්ථ ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට ගැසට් කර තිබුණු නිසා අපට රජයෙන් අවසර ගන්න සිදුවුණා. විවිධ හේතු ඉදිරිපත් කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අපට අවසර දුන්නේ නැහැ. මේ නිසා ගෑස් සමාගම් විශාල ලෙස අලාභ ලබන තත්ත්වයට පත්වුණා. පසුගිය වසර තුන තුළ සුළු වශයෙන් මිල වැඩි කිරීමට ඉල්ලුවද එම අවසරයවත් ලැබුණේ නැහැ. එහෙම ඉඩ ලැබුණා නම් මෙලෙස විශාල මුදලක් එකවර වැඩිකරන්න අවශ්‍ය නොවන්න ඉඩ තිබුණා.

2014 සිට 2018 දක්වා අට වතාවක් ගෑස් මිල අඩු කරලා තියෙනවා. මිල වැඩි කරන්න ලැබුණේ අවස්ථා තුනකදී පමණයි. ඇතැම් වෙලාවට පාරිභෝගිකයන් සිතනවා ඇති මේක අසාධාරණ මිල වැඩි කිරීමක් කියලා. එහෙත් එහෙම නැහැ. ඇත්තටම මෙම මිල වැඩිකිරීමෙන්ද අපට සිදුව ඇත්තේ ලාභත් අලාභත් දෙකම නැතුව ව්‍යාපාරය පවත්වාගෙන යාමටයි. ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව මින් ඉදිරියට සෑම මසකටම වරක් මිල වැඩි කිරීම හෝ අඩු කිරීම සිදුවෙනවා ඇති.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් පසුගිය 11දා සිට වැඩිවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙයට පෙර රුපියල් 1005ක්ව පැවැති සිමෙන්ති කොට්ටයක මිල 1098ක් දක්වා වැඩි වී ඇත. ප්‍රධාන සිමෙන්ති සමාගමක නිලධාරියකු කීවේ තම සමාගම මේ වසර මුලසිටම පාඩු ලබමින් පැවැති අතර මෙලෙස රුපියල් 98කින් ඉහළ යාමට ඉඩදිම නිසා කර්මාන්තය යම්තම් හෝ සහනයක් ඇතිව පවත්වාගෙන යාමට හැකිවන බවය. එහෙත් පාලන මිල ඉවත් කිරීමට පෙර පාරිභෝගික සේවා අධිකාරිය අවසර දී තිබුණේ සිමෙන්ති කොට්ටය රුපියල් 50කින් පමණ වැඩි කිරීමටය.

මේ අතර රජය නිවැරදි තීරණ නොගැනීම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ චෝදනා කරති. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසන්නේ රජය ගන්නා ඇතැම් තීරණ නිසා තම කර්මාන්ත පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවය.

රටේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 18ක දායකත්වයක් අපි ලබාදෙනවා. අපි නියාමනය වන්නේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය යටතේයි. පසුගිය කෙටිකාලය තුළ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉතාම අසාධාරණ ලෙස ඉහළ ගියා. මාසයක් තුළ යකඩවල මිල රුපියල් ලක්ෂයකින් එනම් සියයට 61කින් ඉහළ ගිහින්. මේවාට වගකියන්න කෙනෙක් නැහැ. පාරිභෝගික සේවා අධිකාරියට මේවායේ මිල පාලනය කරන්න බැරිවෙලා. දැන් සිමෙන්ති මිලත් ඉහළ ගොස් ඇති අතර නුදුරේදී ඉන්ධන මිලද ඉහළ යන බව සැල වී තිබෙනවා.

මේ හැමදෙයටම හේතුව කොවිඩ්ම නෙමෙයි. රුපියල අවප්‍රමාණ වුණේ ඩොලරය වැඩිවුණේ කොවිඩ් නිසා නෙවෙයි. අද පවතින තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේ ඉදිකිරීම් කර්මාන්තය නැත්තටම නැතිවෙලා යයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලියාපදිංචි ආයතනවලට රුපියල් ලක්ෂ 50 දක්වා ඇති ඉදිකිරීම් කර්මාන්ත ලබාදෙන හැටියට පසුගිය සතියේ මුදල් අමාත්‍යංශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කළා. ග්‍රාමසේවා නිලධාරීන්ටද මිලියන දෙක බැගින් දෙන්න යනවා.
මෙහෙම රාජ්‍ය නිලධාරීන්ට මුදල් දෙන ක්‍රමයක් මීට පෙර අපි කවදාවත් දැකලා නැහැ. මෙලෙස කටයුතු කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැත්තටම නැතිවෙනවා. රාජ්‍ය ඉදිකිරීම් ආයතනයේ ලියාපදිංචි ඉදිකිරීම්කරුවන්ගෙන් 4265ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ද්‍රව්‍යවලින් දේශීයව නිපදවන්නේ සියයට 20යි. ඉතිරි සියයට 80 ආනයනය කරනවා. ඒ නිසා මේවාට මිල පාලනයක් තිබිය යුතුයි. ඉදිරියට මේ තත්ත්වය මත අපට ව්‍යාපාරවලින් සම්පූර්ණයෙන් ඉවත්වන්න සිදුවෙනවා. අද පවතින තත්ත්වයට රජය සම්පූර්ණයෙන් වගකිව යුතුය.

ශ්‍රී ලංකා තුනී ලෑලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ලක්මාල් පෙරේරා කියන්නේ චීන සමාගම් කිහිපයක් වසර දෙක තුනක සිට රබර් ගස් කපා ආනයනය කරන බවකි. දැන් අපට කර්මාන්තවලට අවශ්‍ය දැව ලබාගැනීමේ ප්‍රශ්නයක් මතුවෙලා. වගකිවයුත්තන් කියන්නේ මෙයින් ඩොලර් එනවා කියලයි. ඩොලර් එනවාට මේවාට ඉඩ දෙනවා නම් නුදුරේදී අපේ කර්මාන්තශාලා 25ම වහන්න වෙයි. දහස් ගණනක සේවකයන්ට සහ එයින් යැපෙන්නන්ගේ ජීවිත අවදානමට පාත්‍ර වෙයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුනිල් ශාන්ත පවසන්නේ අද උද්ගතව ඇති සියලු ගැටලුවලට හේතුව රජයේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය බවයි. අවුරුදු ගණනාවක් ඉදිරියට ගිය මෙම අඩුපාඩුව අද වනවිට උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බව ඔහු අවධාරණය කරයි.

අද ඇතිවෙලා තියෙන තත්ත්වයට මූලික හේතුව ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට මුලදී අනවශ්‍ය ලෙස ප්‍රායෝගික නොවන පාලන මිලක් නියම කිරීමයි. මෙයට රටේ කොවිඩ් වසංගතය හා විදේශ විනිමය අර්බුදයද ප්‍රධාන ලෙස හේතුවුණා. උදාහරණයක් ලෙස සහල් පිළිබඳ කතා කළොත් හාල්වලට නියම කළ සහතික මිල ගත හැකියි. මෙය ප්‍රායෝගික කරුණු මත පදනම් නොවූ අතාත්වික මිලක්. එම සහතික මිලට සහල් සැපයිය නොහැකි වීම යථාර්ථයයි. ඒ නිසා නිෂ්පාදනය අඩු වී සහල් හිඟයක් ඇතිවුණා. රජය එයට ප්‍රතිකර්මයක් ලෙස ගැටලුව ගැන සොයා නොබලා ආනයනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. ආනයනය කරන ඒවාද රසායනික ද්‍රව්‍ය යොදා තැනූ හාලුයි. සහල් නිෂ්පාදනය නිසා ගොවියා, මෝල් හිමියා, තොග වෙළෙන්දා මෙන්ම සිල්ලර වෙළෙන්දාද, ප්‍රවාහනයේ යෙදෙන අයද ආදී වශයෙන් විශාල පිරිසක් සඳහා ප්‍රතිලාභ ලැබෙනවා. එකවරම සහල් ගෙන්වීම නිසා මේ සියලුදෙනාගේම ජීවන වෘත්තිවලට පහර වැදෙනවා.

ආණ්ඩුව සහතික මිල නියම නොකර ඉල්ලුම සැපයුම අතර සමතුළිත මිලක් ඇතිවීමට අවස්ථාව දිය යුතුයි. මෙය බලහත්කාර මිලක් නියම කරලා කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සහල්වලට විදේශ විනිමය වැය වෙන්නේ නැහැ. රට තුළයි සියල්ල සිදුවෙන්නේ.

රසායන පොහොර තහනම නිසා මෙම අර්බුදය තවදුරටත් තීව්‍ර වෙනවා. මේ නිසා වී වගාකරන ප්‍රමාණය ½ පමණ අඩුවේවි. නිෂ්පාදනය සියයට 30 පමණ පහළ යාවි. මාර්තු, අප්‍රේල්, මැයි මාස වනවිට මේ ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා ඇති.

රසායනික පොහොර තහනම නිසා තේ නිෂ්පාදනයද බිඳ වැටෙමින් පවතිනවා. කුඩා තේ වතු හිමියන් ලක්ෂ 6ක් පමණ සිටිනවා. ඍජු හා වක්‍ර වශයෙන් මෙම කර්මාන්තයෙන් මිලියන 4ක් පමණ ජීවත් වෙනවා. තේ වගාවට සාමාන්‍යයෙන් මාස දෙකෙන් දෙකට වසරකට 6 වරක් පොහොර යොදනවා. මාස 4කින් මේ වනවිට තේවලට පොහොර යොදා නැහැ. තේ දලු සතියකට වරක් නෙලන අතර අද තත්ත්වය මත තේ දලු නෙලන්න හැකිව ඇත්තේ මසකට දෙවරක් පමණයි. තේ පත්‍ර දෙක සමග ඒවා මැද එන &ගිරිය* තමයි නෙලන්නේ. මේ වනවිට ගිරිය නොඑන නිසා ප්‍රමිතිය පහතයි. කොහොමත් තේ නිෂ්පාදනය සියයට 30-40 අතර ප්‍රමාණයකින් අඩුවෙලා. තේ නිෂ්පාදනයෙන් අපට ලැබෙන සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 1400-1500 අතරයි. මෙයින් රසායනික පොහොර ආනයනයට වැයවෙන්නේ ඩොලර් මිලියන 800-900 අතර මුදලක්. මේ තහනම නිසා අපට ලැබෙන විදේශ විනිමය සියයට 25ක් පමණ අඩුවෙනවා. ඍජු සහ වක්‍ර රුකියා කරන ලක්ෂ 10කට පමණ (විශාල වතුවල සේවකයන්ද සමග) රුකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

අපට විදේශ ආදායම ලැබෙන අපනයන කෘෂිකර්ම ආදායම පහළ බසිනවා. තේ, රබර්, පොල් සහ සුළු අපනයන භෝග එයට ඇතුළත්. අපනයන ආදායම අඩු වූ විට ආනයනයට අවශ්‍ය ඩොලර් වියදම අහිමි වෙනවා. ආනයන අපනයන කළමනාකරණය කර ගැනීමට අපොහොසත්වීම නිසා ඩොලර් සංචිත හීනවීමෙන් රජය මේ වනවිට අර්බුදයකට වැටී තිබෙනවා. ඉන්දියාව හා බංගලිදේශය වුවද ආර්ථික කළමනාකරණයෙන් අපට වැඩිය ඉහළ මට්ටමකයි තියෙන්නේ. පහළම ආර්ථික මට්ටමක සිටි බංග්ලාදේශය දැන් ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ යහපත් ආර්ථික කළමනාකරණය නිසයි. රට තුළ නිෂ්පාදනය කළ හැකි දේවල් ආනයනය කිරීම නැවැත්විය යුතුයි. එහෙත් එකවරම නොව ක්‍රමානුකූල සැලසුමකට අනුව දේශීය නිෂ්පාදනය දිරිමත් කරලා පියවරෙන් පියවර මෙය කළයුතු වෙනවා.

කෙසේ වුවද රටක ආර්ථිකයට රජය මැදිහත් විය යුතුයි. එසේ වුවද සියල්ල පාලනය කරන්නට නොගොස් විවෘතව මිල තීරණය වීමට ඉඩදීම අවශ්‍ය වෙනවා. පෞද්ගලික අංශයේ කටයුතු පිළිබඳ විමසිලිමත්ව සිට නියාමනය කිරීම රජය සතු වගකීමක්. එහෙත් සියලුම වාණිජමය කටයුතු රජය අතට ගතයුතු නැහැ. විවෘත ආර්ථිකය ඇති රටක ඉල්ලුම සැපයුම මත මිල තීරණය විය යුතු නමුත් නිතර පසුවිපරම් කළයුතු වෙනවා.

 යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05