2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

මංගල සාද-උත්සව- බිස්නස් තාම කොටඋඩ

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 27

කොවිඩ් රටපුරා ව්‍යාප්ත වීමත් සමඟ විවාහ උත්සව ඇතුළු අනෙකුත් සම්භාෂණ උත්සව සියල්ලම නතර කිරීමට රජය තීරණය කර තිබුණි. මාස කිහිපයකට පසුව වරින්වර මෙම තීරණය කොවිඩ් රෝගීන්ගේ අඩුවැඩිවීම ඔස්සේ වෙනස්කම් සිදුකළ අතර මේ වනවිට විවාහ උත්සව සඳහා සහභාගි විය හැක්කේ පනස් දෙනෙකුගෙන් සමන්විත පිරිසකට බව රජය තීරණය කර තිබේ. මෙම තීරණයද නොබෝ දිනකින් වෙනස් කළ හැකි යැයි ඇතැම්හු අදහස් පළ කළහ. කෙසේ වෙතත් මේ වනවිටත් පවතින තත්ත්වය හමුවේ උත්සව ශාලා හා ආහාර සැලසුම් කර්මාන්තය විශාල වශයෙන් අර්බුදයකට මුහුණ පා ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැලසුම්කරුවන්ගේ සංගමය කියයි.

මේ ප්‍රශ්නය ඇතිවෙලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි. පාස්කු ප්‍රහාරයත් සමඟ මහජනතාව මානසිකව වැටුණා. පාස්කු ප්‍රහාරයත් සමඟ එලෙස මානසිකව ඇද වැටුණු ජනතාවට ගිය වසරේ අප්‍රේල් මාසයේදී කොවිඩ් වසංගතය ඇතිවීමත් සමග පුදුම විදිහට හිත් අවුල් වුණා. එතැන් සිට උත්සවවලට සහභාගි වන ජනතාවගේ සංඛ්‍යාව දිගින් දිගටම අඩුවුණා. මේ වනවිට කොවිඩ් වසංගතය ඇතිවී අවුරුද්දකුත් මාස හයකටත් වැඩියි. මේ කාලය තුළදීත් කොයි මොහොතේ මේ වසංගතය අඩුවෙයිද, වැඩිවෙයිද, රජයෙන් මොන වගේ සෞඛ්‍යාරක්ෂිත නීති රීති දමාවිද කියන බවයටත් බොහෝ දෙනා අවිනිශ්චිතවයි කාලය ගෙවුණේ. දුප්පත්, පෝසත් භේදයකින් තොරව බොහෝ දෙනා තමන්ගේ අතේ ඇති මුදලට සරිලන සේ උත්සව ශාලාවක, හෝටලයක තම විවාහ උත්සවය ගැනීමට සූදානමිනුයි හිටියේ.

සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැලසුම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල කළුආරච්චි මහතා දේශයට අදහස් දක්වමින් එසේ කීය.
විවාහ උත්සවයක් පවත්වද්දී පාර්ශ්ව හතරක ආරාධිතයෝ සහභාගි වෙති. මනාලයාගේ මවගේ පාර්ශ්වය, පියාගේ පාර්ශ්වය, මනාලියගේ මවගේ පාර්ශ්වය සහ පියාගේ පාර්ශ්වයේ ආරාධිතයෝ එලෙස සහභාගි වෙති. මීට අමතරව මනාලයාගේ මනාලියගේ වෙනත් ඥාතීන් සහ මිතුරෝද මෙම උත්සවයන්ට සහභාගි වෙති. කෙසේ වුවත් සංගමයක් ලෙසින් මොවුන් පවසන්නේ අවම සංඛ්‍යාවක් යටතේ හෝ උත්සවයක් ගැනීමේදී අඩුම වශයෙන් එකසිය පනස් දෙනෙකුගෙන් සමන්විත පිරිසකට මෙම උත්සව සඳහා සහභාගී වීමට අවසරය ලබාදිය යුතු බවය.

මේ තත්ත්වයත් එක්ක මේ වෙද්දී බොහෝ දෙනා විවාහ උත්සවය ගැනීමට බයක් දක්වනවා. ඇතැමුන් විවාහ උත්සවය ඉතාම චාම් අන්දමට නිවසේ පැවැත්වීමට තීරණය කරගෙන ඉන්නවා. උත්සව ශාලා හිමියන් විශාල වශයෙන් ණය ගෙන, විශාල වශයෙන් සේවකයන් පුහුණු කර සේවකයන්ට වැටුප් ලබාදෙමින් මේ කර්මාන්තය පවත්වාගෙන ගිය අයයි. මේ සඳහා ඉතා විශාල මුදලක් මූලික වශයෙන් ආයෝජනය කරන්නත් අපට සිදුවුණා. උත්සව ශාලා කරගෙන යන බොහෝදෙනා කුලියට ගත්තු ස්ථානවල තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. විශාල බඩුභාණ්ඩ මිලදී ගෙන පවත්වාගෙන යන මේ ව්‍යාපාරය විශාල ණය කන්දරාවකට හසුවුණා. මේ අවුරුදු එකහමාරට ණය ගොඩගැහිලයි තියෙන්නේ. රජයෙන් පොඩි සහනයක් මුල් කාලයේදී දුන්නත් ඒ සහන කාලයත් අවසන් වීම නිසා ඒ හැම ණයකටම පොලියත් එකතුවෙලා දැන් විශාල ණය මුදලක් ගෙවන්න අපිට සිදුවෙලා තිබෙනවා. මේ වනවිට අපි හැමෝම කබලෙන් ලිපට වැටුණ තත්ත්වයකට පත්වෙලයි තියෙන්නේ. ඇතැම් බැංකු අපිව මිරිකලා අපෙන් ඒ ණය මුදල ගන්න උත්සාහ කළා.

යැයි අතුල කළුආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

උත්සව ශාලා හිමිකරුවන් තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන වාහනවලින් බොහෝමයක් මිලදී ගෙන ඇත්තේ ෆිනෑන්ස් ක්‍රමය යටතේය. ඒ බොහෝ ගෙවීම් මොවුන්ගෙන් අතපසු වෙද්දී, ගෙවාගන්නට නොහැකි වෙද්දී මූල්‍ය ආයතන දිගින් දිගටම ලිපි සහ ඇමතුම් මඟින් ණය වාරික ගෙවා දමන්න යැයි මෙම ව්‍යාපාරිකයන්ට දන්වා ඇත.

රජයෙන් මේ සඳහා මුදල් වෙන්කළා යැයි කියනවා. නමුත් ඒ සඳහා ලබාදෙන ලේබල් ගහන ආයතන තිබෙනවා. උත්සව ශාලා හිමියන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වූවන් නෙමෙයි. අපේ උත්සව ශාලාවලට එන්නේ අපේ රටේ ජනතාවයි. සංචාරකයන් නෙමෙයි. ඒ නිසා එවැනි පහසුකම් පවා රජය විසින් ලබාදෙන්නේ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වූද සංචාරක හෝටල් අයට විතරයි. සංචාරක හෝටල්වලට ලබාදුන් දීමනා මේ රටේ දේශීය ආයතනවලට ලබාදුන්නේ නැහැ. රජය අපේ කර්මාන්තය ගැන දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලක්* කළුආරච්චි මහතා සඳහන් කරයි.

සුන්දර මනාලියන් වීම, කඩවසම් මනාලයෙක් වීම තරුණ පරපුරේ ඕනෑම කෙනෙකුගේ සිහිනයකි. බොහෝ රටවල්වල විවිධාකාර උත්සව පැවැත්වුවද අප රටට ආවේනික උත්සව ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. මේ නිසාම නෑදෑ පාර්ශ්වයන්ගේ බලාපොරොත්තුව වන්නේ තම පාර්ශ්වයේ ඇති විවාහ උත්සවයකදී ඒකාරාශි වී ඒ සතුට භුක්ති විඳීමටය. නමුත් මේ වනවිට රටේ පවතින මේ කොවිඩ් වසංගතයත් සමඟ එලෙස එක්රුස් වී සතුටු සාමීචිය පවත්වන්නට බැරිය. කොවිඩ් තවමත් අවසන් වී නැත. කොවිඩ් එක් රෝගියකුගෙන් මුළු නෑදෑ පරපුරකටම කොවිඩ් වැළඳීමට හැකිය. උත්සව අවස්ථාවලදී එලෙස කොවිඩ් වැළදුණු අවස්ථා කිහිපයක්ම පසුගිය කාලවලදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණි. නමුත් ලබාදෙනු ලබන අවසරයට අනුව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළහොත් මෙම රෝගයෙන් වළක්වාගත හැකිය.

මේ තත්ත්වය නිසා ඉදිරියේදී මෙම කර්මාන්තය නැත්තටම නැතිවෙලා යන්නත් ඉඩ තියෙනවා. මේ කර්මාන්තයෙන් ඍජුව හා වක්‍රව යැපෙන අය ලක්ෂ පහළොවක් පමණ ඉන්නවා. බිත්තර, එළවළු, මල්, පළතුරු, මස් මාළු සපයන්නන් වගේම මනාලියන් ඇන්දවීම, ජයමංගල ගාථා, අෂ්ඨක කියන්නන්, ඡායාරූප ශිල්පීන්, පෝරු නිර්මාණකරුවන්, කේක් නිෂ්පාදකයන් ඇතුළු බොහෝ පිරිසක් මේ වටා තම සේවයේ නිරත වෙනවා. මේක හොඳ කර්මාන්තයක්. පාසල් හැරයන දරුවන්ට හොඳ රුකියාවක් ලැබෙන මේ අවස්ථාවන් මේ ඉදිරියේදී නැතිවෙලා යන්න පුළුවන්. මුලින්ම උත්සව ශාලාවල සේවය කරන මේ සේවකයන් කුඩා පරිමාණ හෝටලයකට සේවයට බැඳී ඒ ලබාගත් සේවා පළපුරුද්ද තුළින් තරු පහේ හෝටල්වල සේවයට බැඳෙනවා. එයින් පසුව බොහෝ දරුවන් වැඩි වැටුපක් ලබාගැනීම සඳහා විදෙස් හෝටල්වල සේවයට එක්වෙනවා. මේ සියලු අවස්ථාවන් මේ උත්සව ශාලා කඩා වැටීමත් සමඟ ඇණ හිටිනවා.

කිසිම උදව්වක් ගන්නේ නැතිව අපි බදු නිසිපරිදි ලබාදුන්නා. එහෙම කරපු අපිට මේ මව් භූමියෙන් බිහිවන ව්‍යවසායකයන්ට ලබාදී ඇති නිසි පිළිගැනීමක් තවම ලැබුණේ නැහැ. තවම අපව රැක ගැනීමට කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. මේ වනවිට බොහෝ උත්සව ශාලා වැහිලා ගිහින්. උත්සව ශාලා හිමියන් තමන්ගේ රත්තරන් බඩු උගස් තියලා දේපළ උගස් තියලා, දේපළ විකුණා තමයි මේ උත්සව ශාලා ඉදිරියට කරගෙන යන්න සිදුවී තිබෙන්නේ. අපි කොයිම මොහොතකවත් සේවකයන්ට වැටුප් ලබාදීම නතර කළේ නැහැ. විදුලි බිල්, ජල බිල් ගෙව්වා. ඒ කිසිම දෙයක් නතර කරන්න බෑ. උත්සව ශාලා හිමියන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්වලට යටත්ව නිසි පරිදි තම කර්මාන්තය පවත්වාගෙන යන්න සූදානම්. ඒ නිසා ඒ සම්බන්ධව සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා.

  දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05