2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් බුරුමයෙන් ලංකාවට එන හාල්

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

ඉතිහාසයේදී මෙරට හැඳින්වීමට පෙරදිග ධාන්‍යාගාරය යන නාමය භාවිතා කළ බව අප ලොවට කියන්නේ සාඩම්බරයෙනි. වර්තමානයේද බත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරයයි. කෙත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවනෝපායයි. සහල් යනු මෙරට වෙළඳපොළේ ඉහළම ඉල්ලුම පවතින ආහාර ද්‍රව්‍යයයි. එහෙත් අද තත්ත්වය ශෝචනීයය. සහල් පිටරටින් ගෙන්වීමට පාලකයන්ට සිදුවී තිබේ. ඊට හේතුව වී ඇත්තේ පසුගිය දශක කිහිපය තුළ මෙරට දේශපාලකයන් සහ පරිපාලකයන් විසින් ගනු ලැබූ ඓතිහාසික වැරදි තීන්දුය. ඒ පිළිබඳ සංවාදයක් ආරම්භ කළහොත් එය නිමා කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් නොවනු ඇත. එමනිසාම මේ මොහොතේ සහල් ආනයනය පිළිබඳ සැකෙවින් සංවාද කිරීමට අපි තීරණය කළෙමු.

සහල් මිල අධික ලෙස ඉහළ යාම හේතු කොටගෙන මිල පාලනයක් ඇති කිරීමට වර්තමාන රජයට වුවමනා වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. ඒ උදෙසා දැරෑ උත්සාහයන් සියල්ල අප ඇස් ඉදිරිපිට ව්‍යර්ථව ගියේය. මිල පාලනයන් කිහිපයක්ද ආණ්ඩුව ඉදිරිපත් කළේය. නීති රීති දැඩි කරමින් අණපනත් පවා යාවත්කාලීන කිරීමට කටයුතු කළේය. ඒ කිසිවකින් අවශ්‍ය පරිමාණයට වෙළෙඳපොළ හැසිරවීමට පාලකයන්ට නොහැකි විය. මේ අතර දීර්ඝ සංවාදයක් නිර්මාණය වූයේ සහල් ආනයනය සම්බන්ධයෙනි. අගෝස්තු මාසයේදී ලැබුණු කැබිනට් අනුමැතියට අනුව කියවුනේ සහල් මෙට්‍රික් ටොන් හයදහසක් පකිස්තාන් ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කිරීමටයි.

පසුව තීරණවල යම් යම් වෙනස්කම් සිදුවූයේය. අවසානයේ ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යෑමට ප්‍රමුඛ අරමුණ කොටගෙන සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය විය. නාඩුවලට සමාන සහල් වර්ගයකින් මෙට්‍රික් ටොන් පනස් දහසක්ද සම්බාවලට ආදේශ වන සහල් මෙට්‍රික් ටොන් පනස් දහසක්ද ආනයනය කිරීමට එකඟතාව පළවුණි. මේ සඳහා තරගකාරී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවනු ලැබුවේය.

කෙසේ නමුත් අවසානයේදී සහල් ආනයනය සම්බන්ධව පත්කළ ප්‍රසම්පාදන කමිටුව විසින් සහල් මිලදී ගන්නා ආකාරය සහ ගැනුම්කරුවන් පිළිබඳ අවසාන නිගමනයක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව ඉන්දියාවෙන් සහ බුරුමයෙන් සහල් ආනයනය කිරීමට තීරණය විය. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත මෙම කටයුතු සංවිධාන වූයේය. ඇතැම් පාර්ශව සහල් ආනයන තීන්දුවට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අදහස වූයේ තරගකාරීව වී මිලදී ගැනීමක් හරහා සහල් මාෆියාව මර්දනය කිරීමයි.

තත්ත්වය එසේ වූ නමුත් රජය හමුවේ පැවැති ප්‍රධානම ගැටලුව නම් මෝල් හිමි ඒකාධිකාරියේ බලපෑම් මත සහල් මිල ඉහළ යන අවස්ථාවලදී අඩු මිලට සහල් තොග වෙළඳපොළට නිකුත් කොට මිල පාලනයක් ඇති කිරීමට ආරක්ෂිත සහල් තොග රජය සතුව නොමැති වීමයි. ආරක්ෂිත තොග ලෙස ගබඩාකර ගැනීමට දේශීය වෙළඳපොළින් සහල් ලබා ගැනීම යෝජනාවක් විය. එහෙත් එය සිදුවූයේ නම් එය වක්‍රාකාරයෙන් මෝල් හිමියන් එම තීරණය තම වාසියට පෙරළා ගැනීමට ඉඩ තිබුණි. මෝල් හිමියන් සමඟ තරග කොට වැඩි මිලට සහල් මිලදී ගැනීමට රජය ගත් උත්සාහයද අසාර්ථක විය. කෙසේ වෙතත් ගෙවුණු සති තුනක පමණ කාලය තුළ සහල් වෙළෙඳපොළ මුළුමනින්ම ව්‍යාකූල වී ගියේය. රජයට වී ලබාදීම ගොවීන් ප්‍රතික්ෂේප කළ අතර අවසානයේ රජය මිල පාලනයෙන් ඉවත් වීමටද තීරණය කළේය.

අගෝස්තුවේ පටන් සිදු වූ විවිධාකාර සංවාදවල අවසාන ප්‍රතිඵලය ලෙස ගෙවුණු සතියේදී පළමු ආනයනික සහල් තොගය මෙරටට ලැබුණි. එලෙස ලැබුණේ ඉන්දියාවෙන් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 5,000කි. ඒ අනුව මෙම සහල් තොගයෙන් කොටසක් සතොස හරහා මහජනතාව වෙත අලෙවි කිරීමටත් තවත් කොටසක් ආරක්ෂිත සහල් ලෙස ගබඩා කොට තැබීමටත් තීරණය විය. මිල පාලනය අතහැර තිබුණද ආරක්ෂිත සහ සහල් තොග ගබඩා කොට තබාගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බව රජය දිගින් දිගටම විශ්වාස කරන බව පෙනී ගියේය. මිල පාලනයෙන් ඉවත් වන්නේ නම් ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගැනීමටද ක්‍රමවේදයක් ආණ්ඩුවට තිබිය යුතු බව පසුගියදාක ජනාධිපතිවරයා පවසා තිබුණි.

පළමුව ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 5000ට අමතරව තවත් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් මෙම සතිඅන්තයේදී ලැබීමට නියමිත විය. පසුගිය සිකුරාදා වනවිට එම තොගෙ ශ්‍රී ලංකාවට රුගෙන එමින් තිබූ බවද අප හට දැනගන්නට ලැබුණි. කෙසේ වෙතත් සහල් ආනයනයේ තරමක ප්‍රමාදයක් ඇතිවී ඇතැයි කියැවුණි. එසේ වීමට හේතු වී ඇත්තේ එකවර වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බහාලුම් (containers) මේ දිනවලදී සොයා ගැනීමට පහසුවීමයි. කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍යාංශය ලැබී ඇති තොරතුරු අනුව ඔක්තෝබර් 21, 22 යන දිනවලදී තවත් නැව් කිහිපයකින් සහල් මෙරටට ලැබීමට නියමිතය. ඒ අනුව එක්වරකට මෙට්‍රික් ටොන් 10,000 බැගින් මෙරටට සහල් ආනයනය කෙරෙනු ඇත. මෙලෙස පළමු අදියරේදී ලැබෙන්නේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සහල්ය. බුරුමයෙන් ආනයනය කරනු ලබන සහල් තොග මේ රටට ලැබීමට තවත් සතියක දෙකක කාලයක් ගතවනු ඇතැයි කියැවේ.
පළමු අදියරේදී ලැබෙන ආනයනික සහල් තොග පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීම සිදුවන්නේ සතොස වෙළෙඳසල් හරහාය. අනතුරුව සමූපකාර ඔස්සේද මෙම සහල් පාරිභෝගිකයන් වෙත අලෙවි කෙරෙනු ඇත. වෙළෙඳ අමාත්‍යංශය පවසන පරිදි ඉදිරියේදී සුපිරි වෙළෙඳසල් හරහාද මෙම ආනයනික සහල් අලෙවි කිරීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ එක් සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර සහල් ආනයනය සම්බන්ධ තවත් විවිධාකාර ආරංචි ගෙවුණු සතියේදී අසන්නට ලැබුණි. මෙතෙක් තහවුරු කර නොමැති මුත් ඒවාට අනුව කියැවුණේ වෙළෙඳ පොළේ සහල් මිල ඉහළයාම වැළැක්වීම සඳහා සීමාවකින් තොරව සහල් ආනයනය කිරීමට රජය සූදානම් වන බවයි. මෙම පුවතට අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයට අමතරව තවත් පනස් දහසක් මෙරටට ගෙන ඒමට නියමිතය. වෙළෙඳපොළ සහල් මිල හැසිරවීමේ උපායක් ලෙස මෙම සහල් ආනයනය සිදුකෙරෙන බවද කියැවේ. කෙසේ වෙතත් මේ හා සම්බන්ධව රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත්කොට නොමැත.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වී, සහල් සම්බන්ධව පවතින ව්‍යාකූල තත්ත්වයට එකම විසඳුම සහල් ආනයනය නොවන බවයි. සහල් ආනයනය යනු යම් මොහොතක පවතින තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා යොදාගනු ලබන කෙටිකාලීන විසඳුමකි. ඇත්තෙන්ම මෙරටට සහල් ආනයනය කිරීමට පාලකයන්ට සිදුව ඇත්තේ මෙරට ප්‍රමාණවත් සහල් නොමැතිකම නිසා නොවේ. තවමත් මේ මහ පොළොව සරුසාරය. නිසරුවී සෝදාපාළුවට ලක් වී ඇත්තේ මෙරට කෘෂි කළමනාකරණයයි. එමනිසාම අප රටක් ලෙස තිරසාර කෘෂි සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තියට යොමුවීම වර්තමාන පාලකයන්ගේ පාලකයන්ගේ වගකීමයි. අනාගතයේ යම් දිනක නැවතත් මෙරටට සහල් ආනයනය කිරීමට සිදුවුවහොත් අතීත පාලකයන් සේම වර්තමාන පාලකයන්ද මවුබිමේ කෘෂිකර්මාන්තයට ද්‍රෝහිවූවන් ලෙස අපට සැලකීමට සිදුවනු ඇත.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05