2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

විසර්ජන පනතේ සංඥාව!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 48

2022 වසර සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අයවැය ලේඛනයට අදාළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 07දා පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි. 2022 වසරට අදාළ අයවැය ලේඛනය ලබන නොවැම්බර් මස 12දා පාර්ලිමේන්තුව ඉදිරියේ මුදල් ඇමැතිවරයා විසින් කියවනු ලැබීමට නියමිත අතර එදින සිට අයවැය විවාදය ආරම්භ වනවා ඇත. අයවැය විවාදයෙන් පසු කාරක සභා අවස්ථාව පැවැත්වේ.

අයවැය ලේඛනය සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට තෙවරක් ඉදිරිපත් කරන අතර එහි මුල් කියවීම වන්නේ විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කිරීමය. අනතුරුව සමස්ත අයවැය ලේඛනය දෙවැනි වර කියවන අතර, එහි කාරක සභා අවස්ථාව තෙවැනි වර කියවීම ලෙස සැලකේ. අයවැය විසර්ජන පනතෙන් දැක්වෙන්නේ ඒ ඒ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට වෙන් කරන මුදල් පිළිබඳ දළ සැලැස්මකි. එහි සමස්ත අපේක්ෂිත ආදායම හා වියදම දැක්වේ. එම ආදායම ලබාගන්නා ක්‍රමය සහ වැය කරන අන්දම අයවැය ලේඛනය දෙවැනි වර කියවන දිනයේදී ඉදිරිපත් කෙරේ. රටට හා ජනතාවට වැදගත් වන අයවැය යෝජනා ප්‍රකාශයට පත් කිරීම දෙවැනි වර කියවීමේදී සිදු කරන අතර නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ මංගල අයවැය තුළින් විශාල පිම්මක් පනිනු ඇති බවට මේ වන විට ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් අනාවැකි පළ කරනු ලැබ තිබේ.

එසේ වුවද අද රට වැටී ඇති අර්බුදය හමුවේ ඔහුට තමා බලාපොරොත්තු වන තරමට ශිල්ප දැක්වීම දුෂ්කර ක්‍රියාවක් වනු ඇති බවට මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ සැක පහළ කරති.

මෙවර අයවැය විසර්ජන කෙටුම්පත අනුව 2022 වසරේ රජයේ වියදම රුපියල් කෝටි 3300කින් පමණ අඩුව ඇති බව අයවැය විසර්ජන පනත අනුව සනාථ වේ. එලෙස වියදම අඩු කිරීම පිළිබඳ වසර මැද සිට මුදල් අමාත්‍යාංශය සැලසුම් කළ බව වාර්තා විය. එහිදී අලුත් ප්‍රාග්ධන ව්‍යාපාර ආරම්භ නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබිණි. එසේම දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘතිවලින් කොතරම් ප්‍රමාණයක වැය අඩුකරගත හැකිද යන්න පිළිබඳවද සොයා බලන ලෙස උපදෙස් දුන්නේය. අලුතින් සේවකයන් බඳවා ගැනීම නවත්වන ලෙස සහ සේවකයන්ගේ දීමනා අඩු කරන ලෙසද විශේෂයෙන් ඔවුන්ගේ අතිකාල දීමනා, ඉන්ධන දීමනා සහ වෙනත් අතිරේක ගෙවීම් හැකි තරම් දුරට අඩු කරන ලෙසද දන්වා සිටි අතර, ඒ පිළිබඳ විස්තර සති දෙකක් තුළ මුදල් අමාත්‍යාංශයට වාර්තා කරන හැටියටද නියෝග කර තිබිණි.

ඒ අනුව හෙළිවූයේ රාජ්‍ය අංශයේ වියදම් 2022 වසරේදී හැකි තරම් දුරට අවම කිරීමට කටයුතු කරන බවය. කොවිඩ් වසංගතය නිසා බලාපොරොත්තු වන රාජ්‍ය ආදායම අඩුවීම හේතුවෙන් සහ අනපේක්ෂිත අයුරු බදු සහන දීම නිසා රාජ්‍ය ආදායම අඩුවන බැවින් එයට සමානුපාතික ලෙසට වියදම අඩුකරගත යුතු බවට ආර්ථික විද්‍යාඥයන්ගෙන් රජයට උපදෙස් දී තිබිණි. රජය මේ වසරේ හිමිකර දී තිබූ බදු නිදහස් කිරීම් සහ සීමා කිරීම් 2022 වසර සඳහාද දීර්ඝ කිරීමට රජයට සිදුවන්නේ කොවිඩ් වසංගතය නිසා සිදුවූ ආර්ථික හානිය පරිපූර්ණය කිරීම ලබන වසර දක්වා ඇදී යාමට ඉඩ තිබීම නිසාය.

රාජ්‍ය වියදම් අඩු කිරීමට ආදර්ශයක් දෙමින් ලබන වසර සඳහා ජනාධිපතිට වෙන් කෙරෙන මුදල බිලියන 6.6කින් හෙවත් කෝටි 660කින් අඩුකර තිබේ. මෙම අඩු කිරීම 2019 වසර සමඟ සංසන්දනය කිරීමේදී කෝටි 1077කින් පහළ හෙළීමක් වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර ජනාධිපතිගේ වැය ශීර්ෂය කෝටි 1355ක් විය. එය 2022 විසර්ජන පනත අනුව කෝටි 278 දක්වා අඩුකර තිබිණි. 2021 දී ජනාධිපතිගේ වැය ශීර්ෂය 2020ට සාපේක්ෂව කෝටි 421කින් පහත හෙළා තිබිණි.
අයවැය විසර්ජන කෙටුම්පත අනුව ලබන වසරේ සමස්ත වියදම රුපියල් කෝටි 3000කින් පහළ දමා තිබේ. රජයේ මුළු වියදම රුපියල් කෝටි 250530ක් හෙවත් බිලියන 2505.3ක් වේ. මෙයින් බිලියන 1776ක්ම වෙන්කර ඇත්තේ පුනරාවර්තන වැය වෙනුවෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ලබන වසර වෙනුවෙන් වෙන්කර ඇති මුදල 2021 වසරට වඩා බිලියන 6කින් හෙවත් රුපියල් කෝටි 60කින් අඩුකර ඇත. 2021 වසරේදී බිලියන 159.5ක් හෙවත් කෝටි 1595ක් වෙන්කර තිබුණු අතර 2022ට රුපියල් බිලියන 153ක් වෙන්කර තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙලෙස අඩු මුදලක් වෙන්කර ඇත්තේ ලබන වසර වන විට කොවිඩ් වසංගතය යම් පමණකට හෝ අවම වේ යැයි උපකල්පනය කිරීම නිසා බව පැවසේ. එසේ වුවද මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ 2021 වසර පුරාවට විවිධ අවශ්‍යතා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපූරක ඇස්තමේන්තු අතුරු සම්මත ගිණුම් මගින් විටින් විට විශාල මුදලක් ලබාගන්නා බව පෙනෙන්නට ඇති බවය. මේ වසරේ මාස 6ක් තුළ රුපියල් බිලියන 10කට අධික මුදලක් ලබාගෙන ඇති අතර මෙම වසර අවසන් වන විට මෙම මුදල තවත් අධික වනු ඇති බව පැවසේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙවර වුවද වෙන් කරන මුදල ප්‍රමාණවත් නොවන බවට සැක පහළ කෙරේ. එයට හේතුව දැඩි පරිශ්‍රමයකින් රාජකාරි කරන සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා හා පහසුකම් වැඩි කිරීමට අනිවාර්යයෙන් සිදුවන නිසාය. වියදම් වෙන් කිරීමේදී 2022 වසරට වැඩිපුරම ඉහළ නංවා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි. 2021 වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 355ක් වූ අතර 2022 එම වියදම දැක්වෙන්නේ බිලියන 373ක් හැටියටය. ඒ අනුව බිලියන 18කින් ඉහළ නංවා තිබේ. එයට හේතුව වන්නට ඇත්තේ හමුදා හා පොලිස් නිලධාරීන් වැඩිපුර බඳවා ගැනීම සහ රටේ ආරක්ෂක කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ සැලසුමක් පිළිබඳව අදහසක් ප්‍රකාශ වී ඇති නිසා විය හැකිය.

ආරක්ෂක අමාත්‍යාංශය හැර වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය සේවා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වන අතර එයට එක් හේතුවක් වන්නේ පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට රජය අදහස් කර ඇති නිසා වන අතර දැනට රුපියල් 20,000ක දීමනාවක් යටතේ බඳවාගෙන ඇති පුහුණු උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් පිරිනැමීමට ජනාධිපතිවරයා අදහස් කර තිබීමද නිසාවෙනි. එම අමාත්‍යාංශයට වෙන්කර ඇති රුපියල් බිලියන 286.7ක මුදලින් බිලියන 286ක්ම පුනරාවර්තන වැය වීමෙන් එය ප්‍රත්‍යක්ෂ වෙයි. පුනරාවර්තන යනු වැටුප් සහ දීමනා වියදම්ය.

ඊළඟට මහාමාර්ග අමාත්‍යාංශයට වැඩි මුදල වූ රුපියල් බිලියන 250.1ක් වෙන්කර ඇති අතර එයින් 250ක්ම ප්‍රාග්ධන වියදම් වේ. අධිවේගී මහාමාර්ග ඉදිකිරීම්වල ඉතිරි වී ඇති කොටස් සඳහා විශේෂයෙන් මෙම මුදල යොදාගැනීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1.1කින් ඉහළ නංවා ඇති අතර මෙම වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් අඩපණ වී තිබුණු අධ්‍යාපන කටයුතු 2022 වසරේ හෝ නිසි ලෙස පවත්වාගෙන යාම මෙහි අරමුණ වී ඇත. එසේම ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට යම් පමණක හෝ සහනයක් සැලසීමේ අවශ්‍යතාව මත මෙලෙස බිලියනයකට වැඩි මුදලක් වෙන් කිරීමට හේතු වී ඇත.

2022 අයවැය වර්ෂය සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගැනීමට අපේක්ෂිත ණය ප්‍රමාණය රුපියල් බිලියන 3184ක් බවද අයවැය විසර්ජන පනතේ සඳහන්ය. අයවැය සකස් කිරීමේදී රජය දැනට මුහුණ දී ඇති ආදායම් දුෂ්කරතා සහ ඒ හේතුවෙන් ඇතිවන මූල්‍ය සීමාද සලකා බලා ඒ ඒ අමාත්‍යාංශවල අයවැය ඇස්තමේන්තු සකස් කර තිබේ. රජයේ පොදු සේවා සඳහා වන වියදම රුපියල් බිලියන 2505ක් ලෙස මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ විවිධ නීති මගින් බලය දී ඇති ඒකාබද්ධ අරමුදලට වැඩි බරක් විය යුතු වියදම් ලෙස රුපියල් බිලියන 2623ක් ද දැක්වේ. අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා වන වියදම රුපියල් බිලියන 6ක් වශයෙන් සමස්ත වියදම රුපියල් බිලියන 5134ක් වෙයි.

මෙවර එළිදක්වා ඇති විසර්ජන පනත අනුව පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ මුදල් අමාත්‍යවරයා කෙසේ හෝ වැය පැත්ත අඩුකර පෙන්වා අයවැය පරතරය අඩු කිරීමට උත්සාහ ගෙන ඇති බවය. එයට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි ඔවුන් සතුටු කිරීමට අයවැය පරතරය අඩුකර පෙන්වීම වැදගත් නිසා බව අදහස් කෙරේ. අයවැය පරතරය අඩු කිරීම නිසා 2022 වසරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට යම් අන්දමක මූල්‍යමය සහනයක් ළඟා කර ගැනීම පරමාර්ථ කරගෙන තිබේ.

එසේ වුවද වර්ෂයේ මුල් හය මාසයෙන් පසු රටේ තත්ත්වය අනුව වැය පැත්ත මෙම තත්ත්වයෙන් පාලනය කිරීමට නොහැකි වන අතර අතුරු සම්මත ගිණුම් මගින් වියදම් පියවා ගැනීමට නිරතුරුව මුදල් ලබාගැනීම සිදුවනු ඇති බවට විශ්වාස කෙරේ. එසේ සිදුවන්නේ නම් අයවැය ලේඛනයේ වැදගත්කම පහව ගොස් එය හුදු ලියවිල්ලක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වෙයි.

 යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05